FinTech Hive වෙතින් Moneta Lifestyle App

නවක දේශීය මූල්‍ය තාක්ෂණ සමාගමක් වන FinTech Hive සමාගම මෑතක දී Moneta නමින් නවතම ජංගම දුරකථන යෙදුමක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු කළේ ය. නවීනතම තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය කර ඇති මෙය, කාලීන අවශ්‍යතාවලට මෙන්ම අනාගත ප්‍රවණතාවලට ද ගැළපෙන, සුරක්ෂිත මූල්‍ය සේවා පදනමකි. PickMe නවක ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහන යටතේ ආරම්භ කරන ලද FinTech Hive සමාගම, පරිශීලකයන්ට තම ඉතුරුම් සහ වියදම් වැනි මූල්‍ය අවශ්‍යතා සම්බන්ධ නිවැරදි තීරණවලට එළඹීමට පහසු වන ආකාරයට, ඔවුන්ට අවශ්‍ය පරිදි මූල්‍ය තාක්ෂණික සේවාවන් සපයන ‘Lifestyle App’ වර්ගයේ ජංගම දුරකථන යෙදුමක් ලෙස Moneta හඳුන්වා දී තිබේ.

Moneta යෙදුම යනු, ඕනෑම අවස්ථාවක තම පාරිභෝගිකයන්ගේ හදිසි මූල්‍ය සේවා ඉල්ලීම් ඉක්මනින්, විශ්වාසනීය හා සුරක්ෂිත ලෙස සපුරාලීම සඳහා මෙරට ප්‍රධාන බැංකු සමග සමීපව කටයුතු කරන සේවාවකි. Google Playstore වෙතින් Moneta App බාගත (Download) කර ගත හැක.

”Moneta ප්‍රධාන සාධක තුනක් මත ක්‍රියාත්මක වන සේවාවක්. වේගය, නවෝත්පාදනය සහ යහපත් සමාජ බලපෑම යනු එම සාධක තුනයි. අප පිරිනමන මෙම නිර්මාණශීලී විසඳුම නිසා ගනුදෙනුකරුවන්ට තම අවශ්‍යතාවන්ට හොඳින් ගැළපෙන සේවාවන් එකතුවක් පහසුවෙන් හා ඉක්මනින් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා.”  Moneta හි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාන්තන් කනගනායගම් මහතා පැවසී ය.

තම නම සහ ජංගම දුරකථන අංකය ලබා දී Moneta සමඟ ලියාපදිංචි වූ සැණින් ගනුදෙනුකරුවන්ට Moneta Lifestyle සේවාවන් ලබා ගත හැකි වේ. ඕනෑ ම කෙනකුට Moneta Lifestyle සේවාවන් භාවිත කළ හැකි අතර, දැනට Moneta Premium සේවාවන් ලබා ගත හැකි වන්නේ වැටුප් ලබන රැකියාවල නියුතු පුද්ගලයන්ට පමණි.

වැටුප් ලබන ස්ථිර රැකියාවල නියුතු ගනුදෙනුකරුවන්ට Moneta Premium තුළින්, ණය ගැනීම සඳහා ඇති සුදුසුකම් අනුව MoCredit සහ MoEMI (Equally divided Monthly Installment) හරහා රු. 1,00,000ක් දක්වා ණය පහසුකම් ලබා ගත හැකි වේ.

Moneta Premium සක්‍රිය කර ගත් පසු බිල්පත් ගෙවීම් මෙන්ම ක්ෂණික පෞද්ගලික ණය සඳහා ද MoCredit පහසුකම භාවිත කළ හැකි වේ. එමෙන්ම MoEMI ක්‍රමයට ගෘහෝපකරණ, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ඇඳුම් පැළඳුම් වැනි භාණ්ඩ මිල දී ගැනීමට ද අවස්ථාව හිමි වනු ඇත. මෙම මිල දී ගැනීම් සඳහා වන ගෙවීම් තමන්ට පහසු පරිදි සැලසුම් කළ හැකි වීම විශේෂත්වයකි.

Leave A Reply

Your email address will not be published.

twelve + 3 =