80-83 ජූලිය ඇවිළුෑ කලාව සහ සාහිත්‍යය

මේ ජූලි මාසයයි. ‘කළු’ යනුවෙන් විශේෂණයක් එක් වූ ජූලි මාසයයි. ‘ශ්‍රී පතුල’ චිත්‍රපටය හැදූ කේ. වෙන්කට් දෙහිවල ප්‍රදේශයේ දී ඔහු ගමන් කරමින් සිටි කාර් රථයට ම දමා පෙට්‍රල් වත්කර පණපිටින් පුළුස්සා ඝාතනය කළ ජූලි මාසයයි.

විධායක ජනාධිපති ධුරය ඇතුළු චෞරයන්ගේ අනුහසින් රජ කළ ඝාතකයන් විසින් දෙමළ භාෂාව කතා කරන මිනිසුන් 3,000ක් පමණ සමූලඝාතනය කළ ජූලි මාසයයි. දෙමළ භාෂාව කතා කරන මිනිසුන්ගේ දේපළ කොල්ලකා තවත් අප්‍රමාණ නිශ්චල දේපළ ප්‍රමාණයක් ගිනි තබා හළු කළ ජූලි මාසයයි. සිංහල සිනමාවට ගිනි තැබූ ජූලි මාසයයි. ප්‍රේමසිරි කේමදාස, සනත් ගුණතිලක වැනි අය මූලික වී රොක්සාමි වැනි කලාකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අය මෙන් ම නන්නාඳුනන සිංහල භාෂාව කතා කරන මිනිසුන් සුවිශාල පිරිසක් ඉදිරිපත් වී දෙමළ භාෂාව කතා කරන මිනිසුන් සුවිශාල පිරිසක් බේරා ගත් ජූලි මාසයයි.

රොක්සාමි මාස්ටර්ගේ වයලීනයේ තත් රිදුම් දී ‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ ස්වර නින්නාද වුව ද, ඒ පතුලේ තිබෙන අපමණ වේදනාවේ කම්පනය උපදින තැන දැන් පැහැදිලි ය. එදා ‘83 කළු ජූලියේ’ දී ලේ ගංගා ගලා ගොසින් අවසන් සුසුම් වා තලයට හෙළුෑ දෙමළ භාෂාව කතා කරන මිනිසුන්ගේ, වේදනාව මේ තත් තුළින් පීරි ගෑවී එන බව පැහැදිලි ය.

 

රොක්සාමි මාස්ටර්ගේ වයලීනයේ තත් රිදුම් දී ‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ ස්වර නින්නාද වුව ද, ඒ පතුලේ තිබෙන අපමණ වේදනාවේ කම්පනය උපදින තැන දැන් පැහැදිලි ය. එදා ‘83 කළු ජූලියේ’ දී ලේ ගංගා ගලා ගොසින් අවසන් සුසුම් වා තලයට හෙළුෑ දෙමළ භාෂාව කතා කරන මිනිසුන්ගේ, වේදනාව මේ තත් තුළින් පීරි ගෑවී එන බව පැහැදිලි ය.

කළු ජූලියෙන් වසර තුනක් අතීතයට හිත ඇදී යයි. ඒ 1980 ජූලියයි. දිනකට රුපියල් 10.00ක් වැටුපට වැඩි කර දෙන ලෙස ඉල්ලා රජයේ සේවකයන් ද ඇතුළුව සමස්ත සේවක ප්‍රජාව වැඩ වර්ජනය කිරීම ය. එය ‘80 ජූලි වර්ජනය’ යනුවෙන් ඉතිහාසයට එක් වී ඇත.

පඩි වැඩි වීමක් ලබා දීම වෙනුවට සේවකයන් 86,000ක් පමණ නිර්දය ලෙස සේවයෙන් එළියට දමනු ලැබී ය. එයින් ද නොනැවැතී ජේ. ආර්.ට නොදෙවැනි වූ ඇමති, ඇතුළත්මුදලි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ “වර්ජකයන් කනත්තට යවන” බව ය. මේ වර්ජකයන් අතිබහුතරය සිංහලයන් ය. 80දී කනත්තට යවන බව සිංහලයන්ට තර්ජනය කොට 83දී දෙමළ ජනතාව 3,000ක් පමණ කනත්තට යවනු ලැබී  ය.

මේ ජූලි දෙක අතර ප්‍රබල අන්තර් සම්බන්ධයක් තිබෙන බව දැනේ. ඒ කලා සහ සාහිත්‍ය ක්ෂේත්‍රවල ය. 83 කළු ජූලිය කලාවට කළ බලපෑම පිළිබඳව මේ වන විට ද කිසියම් ප්‍රමාණයක ප්‍රවේශයක් සටහන තුළ ලැබී ඇත. දැන් මේ දෙකම එකට ගෙන කෙරෙන සාකච්ඡාවට අවතීර්ණ වෙමු.

බොහෝ දෙනකු 80 ජූලි වර්ජනය කලාවට සහ සාහිත්‍යයට බලපාන්නේ කෙසේ දැයි කල්පනා කරනු නො අනුමාන ය. ඇත්තට ම මේ දක්වා විශ්ලේෂකයන්ගෙන් මඟහැරී තිබූ පැත්තක් ය මේ. පාසල් විෂය නිර්දේශවලින් ඉතිහාසය සහ සාහිත්‍යය ඉවත් කිරීම මේ රටේ කලාවට, සාහිත්‍යයට එල්ල කළ මරු පහරක් බව ජනප්‍රිය මතය වේ. නමුත්, ලියුම්කරු ඒ ගැන එම බර තැබීම කරන්නේ නැත. අද තිබෙන අධ්‍යාපන ක්‍රමය තුළ විභාගයක දී තම මවු භාෂාව අසමත් වන සංඛ්‍යාව බොහෝය. කියැවීමෙන් හෝ ශ්‍රවණය කිරීමෙන් යමක් අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබෙන්නේ මවු භාෂාව සමත් වන්නන්ගෙන් කීයෙන් කී දෙනකුට දැයි කල්පනා කිරීම ප්‍රමාණවත් ය. එවන් අධ්‍යාපනයක් තුළ සාහිත්‍යය මිනිස් ජීවිතයෙන් ඉවත් කොට විභාගයේ විෂය නිර්දේශයක් වූ පමණින් සිදු වන කෙංගෙඩියක් නැති තරම් සුළු ය.

මේ හා සමානව ම ජනප්‍රිය මතයක් වන්නේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති කළ කතාවක් ය.

“සාහිත්‍යය කන්න ද?” යනුවෙන් ඇසීම කලාව, සාහිත්‍යය සම්බන්ධයෙන් මරු පහරක් වූ බව කියවේ. ඇත්තට ම මේ කියන බරින් මේ දෙක ම ගත හැකි ද යන්න නැවත සලකා බැලිය යුතු ය. මෙම දේශපාලන ක්‍රියාමාර්ග දෙක විසින් සාහිත්‍ය, කලා ක්ෂේත්‍රවලට එල්ල කරන ලද දෘෂ්ටිවාදී ප්‍රහාරය පිළිබඳ අවතක්සේරුවක් මෙයින් කිසිසේත් ම නොකෙරේ. නමුත්, කියන තරම් මරු පහරක් එයින් සිදු නොවූ බව ද ඒ සමඟ ම කියවේ. මෙම අවස්ථා දෙක ම දේශපාලන මතවාදී තලයේ කඩඉම් දෙකක් පමණි. නැවත අවධාරණය කරන්නේ, පවතින අධ්‍යාපන ආකෘතිය තුළ සාහිත්‍යයට, කලාවට මේ දේශපාලන ප්‍රහාරවලින් මොන කෙංගෙඩියක්වත් කළ නොහැකි බව ය.

කලාව, සාහිත්‍යය තම ජීවිත තුළ ජීවත් වන්නේ නම්, ගුරුවරුන්ට හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේවා විෂය නිර්දේශයෙන් ඉවත් කළද, මහා විනාශයක් අත් නොවේ. න්‍යායික වට්ටෝරුගත ඉගැන්වීම නතර වනවා පමණි. රාජ්‍ය නායකයා “සාහිත්‍යය කන්න ද?” කියා ප්‍රහාර එල්ල කළ පමණින්, සමාජයේ රසඥතාව නැතිභංග වී නොයන්නේ ය. අදාළ දේශපාලනයේ අභිලාෂ පළ කිරීම් සහ අභිලාෂ ක්‍රියාමාර්ග බවට පත් කරවූවා පමණක් වන්නේ ය.

නමුත්, එය එසේ නොවූ ප්‍රහාරය සිදු කෙරෙන්නේ 80 ජූලි වර්ජනයේ දී ය. ඒ කුමක් ද යන්න සීරුමාරුවට තේරුම් ගත යුතු ය. නවකතාවක්, කෙටිකතා සංග්‍රහයක්, කවි කෘතියක් රසවිඳීමට නම්, පොතක් මිල දී ගැනීමේ හැකියාව ජනතාවට තිබිය යුතු ය. චිත්‍රපටයක් බැලීමට නම්, ඒ සඳහා ටිකට් පතක් මිල දී ගැනීමට මුදලක් තිබිය යුතු ය. වේදිකා නාට්‍යයක් සම්බන්ධයෙන් ද එසේ ම ය. කුමන කලා කෘතියක් හෝ ඇසුරු කිරීමට ඒ වෙනුවෙන් මිලක් ගෙවීමට සිදු වේ. ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි කදිම යෙදුමක් මෙයට හඳුන්වා දී තිබෙන්නේ ය. ‘සංස්කෘතික ක්‍රයශක්තිය’ යන්න ය.

‘ක්‍රයශක්තිය’ යන වචනය හමුවන්නේ ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රයේ ය. එයින් අදහස් කෙරෙන සරල තේරුම ‘මිල දී ගැනීමේ හැකියාව’ යන්න ය. කලාව, සාහිත්‍යය අයත් වන්නේ මිනිසාගේ සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීමේ හෘදයාංගම අස්පෘශ්‍ය වත්කම් ක්ෂේත්‍රයට ය. මේ නිසා සංස්කෘතික ජීවිතය අයත් කලාව සහ සාහිත්‍යය ඇසුරු කිරීම සඳහා මුදලක් කැප කිරීමේ හැකියාව යන්න මෙයින් අදහස් වේ.

සංස්කෘතික ක්‍රයශක්තිය සහ 80 ජූලි වර්ජනය එකට හමු වන්නේ මෙන්න මෙතන දී ය. 80 ජූලි වර්ජනයෙන් 86,000ක් පමණ රැකියාවලින් එළියට ඇද දැමීම රසවිඳීමට එනම්, සංස්කෘතික ජීවිතය වෙනුවෙන් මාසික පඩිපතෙන් කිසියම් මුදලක් අනිවාර්යයෙන් ම කැප කළ පිරිසක් ය. පොතක් පතක් මිල දී ගන්න, චිත්‍රපටයක් බලන්න, කැසට් පටයක් මිල දී ගන්න ආදී වශයෙන් ය. දවසකට රුපියල් 10.00ක වැඩි පඩි ඉල්ලා වර්ජනය කිරීම තුළ කියවෙන්නේ, සංස්කෘතික ජීවිතය නඩත්තු කරගෙන ඉදිරියට ගෙන යාමේ අභිලාෂයේ ද පිළිබිඹුවක් ය. ඒ වන විට වේගයෙන් ඉහළ යමින් තිබූ ජීවන වියදම හමුවේ සංස්කෘතික ජීවිතය බිලි නොදීමේ අභිලාෂය මේ තුළ කියවිණි.

ජූලි වර්ජකයන් කනත්තට යැවීමේ වහසි බස් දෙඩීම හා සමගාමීව රැකියාවලින් එළියට ඇද දැමීම යනු කලාව සහ සාහිත්‍යය ද කනත්තට යැවීමක් වූයේ ය. ‘සංස්කෘතික ක්‍රයශක්තිය’ ඝාතනය කිරීමක් ය. ‘සාහිත්‍යය සහ ඉතිහාසය අධ්‍යාපන විෂය මාලාවලින් ඉවත් කිරීම’, ‘සාහිත්‍යය කන්න ද’ යන දේශපාලන ප්‍රහාර එන විට අත්තිවාරමට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළේ 80 ජූලි වර්ජකයන් 86,000ක් එළියට දැමීමෙන් ය. ඔවුන්ගේ සංස්කෘතික ජීවිත මෙම වර්ජකයන් 86,000 දෙනාගේ ජීවිතවලට පමණක් සීමා නොවී ය. ඒ වන විට රටේ සිටි එක්කෝටි පනස්ලක්ෂයක් පමණ වූ මුළු ජනගහනයේ ම සංස්කෘතික ජීවිත අත්තිවාරම බිඳදැමීමක් වූයේ ය. ලාංකීය සමාජයෙන් සාහිත්‍යය, කලාව රසවිඳීම උගුලා දැමීම සිදු කෙරුණේ, 80 ජූලි වර්ජකයන් දොට්ට දැමීමෙන් ය.

එය එතනින් නතර නොවී ය. සංස්කෘතික ජීවිතයේ අත්තිවාරම උගුලා දැමූ තැන්වල රික්තය පිරවීම ද සිදු කෙරිණ. ඒ බහුවිධ ස්වරූපවලින්ය.

■             අපේ මවු පරපුර මැදපෙරදිග රටවලට පටවා ලබා ගත් විදේශ විනිමය සමඟ ගලා ආ ඇස් නිලංකාර වන බහුභාණ්ඩ පරිභෝජන සංස්කෘතිය.

■             ඒ තුළින් ගෙන් වූ විනෝදාස්වාද උපකරණ.

■             නිදහස් වෙළෙඳ කලාපවලට තරුණියන් සහ තරුණයන් ගාල් කිරීම හා ඒ හා ආශ්‍රිත නිත්‍ය ‘මියුසිකල් ෂෝ’ සංස්කෘතිය.

■             රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් කරන ලද ‘ගම් උදාව’, ‘මහපොළ’ සහ ප්‍රාදේශීය වශයෙන් වූ විවිධ ‘කානිවල්’ සංස්කෘතිය.

■             ගුවන්විදුලිය පරදා රූපවාහිනිය ප්‍රවේශ වීම.

■             ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් ලද පන්සියපනස් ජාතකය මත පදනම් වූ බෞද්ධ සාහිත්‍යය ඇසුර වෙනුවට පානදුරේ අරියධම්ම හිමි ආරම්භ කළ ‘ජනප්‍රිය බුද්ධාගම’ වැනි බහුවිධ ස්වරූපවලින් රික්තය පිරවී ය.

මෙහි දී ඉතා පැහැදිලිව අවධාරණය කරනු ලබන්නේ, ලාංකීය සමාජයේ ම ‘සංස්කෘතික ක්‍රය ශක්තිය’ 80 ජූලි වර්ජකයන් එළියට දැමීමෙන් අහිමි කළ රික්තය ඉහත දැක් වූ බහුවිධ ආකාරවලින් පිරවූ බව ය. මෙම පිරවීමේ ක්‍රියාවලිය හරියට ජේ. ආර්.ගේ හයෙන් පහේ බලය කිසිදු බාධාවකින් තොරව ගලා ගියා සේ 80 ජූලි වර්ජකයන් 86,000ක් මතින් මුළුමහත් සමාජයේ සංස්කෘතික ක්‍රයශක්තිය ගලවා දැමුවේ ය. එය එසේ නොවූයේ නම්, ඉහත දැක් වූ බහුවිධ ක්‍රියාමාර්ග සමඟ ද්විඝටනයක් ඇති වන්නේ ය. ආණ්ඩුව සමඟ ගැටීමට විපක්ෂයක් නොතබා සමතලා කළ පරිදි ම මෙරට සංස්කෘතික දේහයේ සමතලා කිරීමක් සිදු වූයේ වර්ජකයන් එළියට ඇද දැමීමෙන් ය.

හරියට ම වසර තුනක ඇවෑමෙන් 83 කළු ජූලිය ඇති කරන විට වසර තුනක් පුරා මෙම බහුවිධ ක්ෂේත්‍රවල සංස්කෘතික ක්‍රියාකාරකම් මෝරා වැඩී තිබිණි. නව ලිබරල් ආර්ථික උපායමාර්ගවලට අනුගත සංස්කෘතියක් බිහි වන්නේ මෙලෙස ය. රසවින්දනයක්, තෙතමනයක් නැති ජීවිතයේ විඳීම ගැන කවරක් හෝ නොදන්නා සල්ලි ගණන් කිරීම පමණක් ම දන්නා පිරිසක් සමාජ අත්තිවාරම බවට පත් වන්නේ මෙසේ ය.

නමුත්, මෙයට ව්‍යාතිරේඛව යම් පමණකට මෙරට සිනමා සංස්කෘතිය ආරක්ෂා වී තිබුණු බව පෙනේ. බැරිමරගාතේ හරි සිනමා ශාලාවල විශිෂ්ට කෘති පෙන් වූ අතර, ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටවලට සැලකිය යුතු ඉහළ රසික පිරිසක් සිටියහ. ධර්මසේන පතිරාජගේ ‘පාර දිගේ’, ‘සොල්දාදු උන්නැහේ’ වැනි කෘති, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්’ වැනි චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන්නේ මේ කාලයේ ය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ

‘බැද්දේගම’, ‘කලියුගය’, ‘යුගාන්තය’ වැනි සිනමා කෘති තිරගත විය.

එසේ ම මැද මාවතේ සිනමා කෘති වාගේ ම ජනප්‍රිය ධාරාවේ කෘති පවා ඉහළ ආදායම් ලබමින් තිරගත විය. 80 ජූලි වර්ජනය සිනමාවට මරු පහරක් නොවූ බව මෙයින් පෙනේ. එයට හේතුව සිනමා රසිකයන්ගේ න්‍යෂ්ටිය මෙම වර්ජකයන් නොවූ බව ය. සිනමාව කේන්ද්‍රගත වී තිබුණේ දෛනික ආදායම් ලබන කම්කරුවන්ගෙන් බව ය. සිනමා ශාලාවල ගැලරි පිරී ගියේ ඔවුන්ගෙන් ය. රිදී තිරයේ ප්‍රේමවන්තයාට විසිල් ගැසුවෝ ඔවුහු ය. වීරයාට හුරේ දැම්මෝ ඔවුහු ය. අහිංසක සුරූපී ප්‍රේමවන්තිය සමඟ හඬවැටුණෝ ඔවුහු ය.

එහෙත්, 83 කළු ජූලියේ දී මෙවන් වූ රසිකයන්ගේ කෙම්බිම් වූ සිනමා ශාලා සිය ගණනක් ගිනි තබා විනාශ කරනු ලැබී ය. මේ සිනමාව බුදු බැතියෙන් සැරැසූ ‘ශ්‍රී පතුල’ චිත්‍රපටය හැදූ කේ.වෙන්කට් පණපිටින් පුළුස්සා මරා දමනු ලැබූ අතර, බුදු බැති ගී හැදූ එම්.කේ. රොක්සාමිලාගේ, කේ. රාණිලාගේ ජීවිත යාන්තමින් බේරා ගත හැකි විය. නමුත්, සිනමා ශාලා පමණක් නොව මෙරට සිනමා නිධානයක් බඳු වූ කේ. නායගම් ආරම්භ කළ ‘සිලෝන් තියටර්ස්’ සමාගම ගිනි තබා විනාශ කෙරිණි. චිත්‍රාගාර සහ මෙරට තිබූ රසායනාගාර ගිනි තබා විනාශ කෙරිණි. ඒ දෙමළ භාෂාව කතා කරන මිනිසුන් ඒවායේ අයිතිකාරයන් වීම නිසා ය.

මේ මොහොත අතිශය වැදගත් දේශපාලන වටාපිටාවකින් යුක්ත වේ. පාස්කු ප්‍රහාරයෙන් ඇති කළ දේශපාලන උන්මාදයක් තුළින් බලයට පැමිණ බුවනෙකබා රජුට මුස්ලිම් බිරිඳක් සිටි බව කියන පාලකයන්ගේ දේශපාලන ඇඟවීම තේරුම් ගත යුතුය. 83 කළු ජූලියෙන් තීව්‍රවූ බෙදුම්වාදී යුද්ධය  2009 නිමාවට පත් කළ පසු මුස්ලිම් අන්තවාදී සතුරෙක් නිර්මාණය කර ගැනීමට රාජ්‍ය බලය යෙදූ දේශපාලනයේ කූටප්‍රාප්තිය මේ වන විට සිදුවී අවසන්ය. ඒ පසුබිම තුළ බුවනෙකබා රජුට මුස්ලිම් බිරිඳක් සිටීම පිළිබඳ සමාජගත කරන දේශපාලන අනතුර නැවත කියවා ගත යුතුය.

1980 ජූලි වර්ජනයෙන් අත්තිවාරම් දමන ලද අසූතුනේ කළු ජූලියෙන් තවදුරටත් එම අත්තිවාරම තහවුරු කළ නව ලිබරල් පාදඩ සංස්කෘතිය තුළ පවා මෙරට සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ ප්‍රදීපස්ථම්භ තවමත් ශේෂ වී තිබේ. ‘ශ්‍රී පතුල’ චිත්‍රපටය හැදූ කේ. වෙන්කට් එහි අපූරු ගීත රචනාවලට තෝරා ගත්තේ, කරුණාරත්න අබේසේකරය. එම ගී පදවැල් සංගීතවත් කළේ එම්.කේ. රොක්සාමිය. අල්හාජ් මොහිදීන් බෙග්ගේ ගායනයෙන් මධුර මනෝහර වී තිබේ.

“මිනිසාමයි ලොව දෙවියන් වන්නේ

මිනිසාමයි ලොව තිරිසන් වන්නේ”

ගීතයෙන් කියවෙන දෙවියන් බඳු වූ

සුසංවේදී මානව සමාජයක් උදෙසා කවුරු කවුරුත්

පෙළගැසීමේ අවශ්‍යතාව අසූතුනේ කළු ජූලියෙන් වසර 37කට පසුව හඬ ගා කියන

මොහොතක්ය මේ.

ප්‍රියදර්ශන දයාරත්න

Leave A Reply

Your email address will not be published.

four + five =