වට්ටක්ක ඇට දෙකේ කට්ටිය සහ අපේ “බිමේ වැඩ හැදීම”

වට්ටක්ක ඇට දෙකක් විසි කරලා ගෙඩි ආවම ඒක විකුණ ගන්න හැටි ජනාධිපතිගෙන් අහන එක වැරදියි කියලා බැසිල් කියන එක හරි. ජනාධිපතිවරයාගෙන් එහෙම ඉල්ලීම් කරන්නෙ එතුමා එවෙලෙම හමුදාපතිට කෝල් කරලා වට්ටක්ක ටික විකුණල දෙයි කියලා ජනතාවට හිතෙන හින්දා. ඊට වඩා තීරණාත්මක වූද ව්‍යූහමය වූද වෙනසක් මගින් ගොවිජනතාව ගලවා ගන්නා පරිවර්තනයක් කරන්නට ජනාධිපතිවරයාට හෝ ඔහුගේ අය්යලා මල්ලිලාට බැරි බව ගොවි ජනතාව ඉවෙන් මෙන් දන්නවා. “මුන් ලව්ව මේ කන්නෙ වට්ටක්ක ටිකවත් විකුණව ගන්න ඕනෙ” කියලා ජනතාව හිතන්නෙ ඒකයි.

හෙලෝ …ෂවේන්ද්‍ර
ජනාධිපතිතුමාගෙ කෝල් එක ආවම හමුදාපතිතුමාට පුළුවන් වට්ටක්කා ටිකක් අරන් සොල්ලාදුවන්ට වේලක් දෙකක් කන්න දෙන්න. සොල්දාදුවො නොනැවතී වට්ටක්ක කෑවත් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ. සමහරුන්ට ඕනෙ නම් පුළුවන් වට්ටක්කා කමින් ජාතිය බේරාගන්න “වට්ටක්කා රණවිරුවන්ට” බෝධි පූජා එහෙම තියන්න. ඒත් ඒක මේ වගේ ආණ්ඩු ඕනැම ප්‍රශ්නයක් විසඳන එකම වූද ව්‍යාජ වූද ක්‍රමේ මිසක් වෙන මොකවත් නෙමේ.
වට්ටක්ක ටිකයි තක්කලි ටිකයි පැහුණම “අනේ සර්” කියාගෙන රටේ කිසිම ප්‍රශ්නයක් ගැන ගැඹුරු අවබෝධයක් නැති මිනිහෙක් හෝ පවුලක් පිටිපස්සෙ නොයන ආර්ථික ක්‍රමයක ජීවත් වෙන්නට ලැබෙන සමාජ ක්‍රමයක් කියන්නෙ නිදහස, අභිමානය සහ මානව ගරුත්වය සහිත ක්‍රමයක් කියලා ජනතාවට කියල දෙන එක තමයි ජාතික ජනබලවේගයේ අභියෝගය. ලාල්, අනුර, සමන්ත, නලින්ද, නලින්, නාමල් වගේ අය ඒ සංවාදය හොඳින් ආරම්භ කරල තියෙනවා.

පුත්තුන්ගෙ අනාගතය හදන මහලු අගමැතිවරයෙක්

එක එක ආයතනවල පොඩි මිනිස්සු වැඩ කරන තැන්වලට සැරෙන් සැරේ ගිහින් පයිල් ඇදල බලන ජනාධිතිවරයෙක්, තමන්ගෙ ජීවිතේ අන්තිම අවුරුදු කීපය පාවිච්චි කරල තම පුත්තුන්ගෙ අනාගතය සහතික කරන්න තැත් කරන කායික වශයෙනුත් දුර්වල, මහලු අගමැතිවරයෙක්, මේ ආණ්ඩු කාලෙ ඉවර වූ විට ආයෙත් මල්ල කරේ තියාගෙන රට පනින්න බලාගෙන ඉන්න ආර්ථික ඝාතකයෙක් සහිත විකට ආණ්ඩුවකට ජාතික කොඩි සහ චීචර කොපමණ ප්‍රමාණයකට මුවා වුවත් කළ හැකි කිසිවක් නැති බව ජනතාවට කියා දීමේ අවස්ථාව දැනටත් ඇවිත් තියෙනවා.
අර පවුලේ සියලු දෙනා තරමටම නොවේ නම්, ඊටත් වඩා හිස් ප්‍රේමදාස පුතාණෝටත් මේ රටේ කිසිම තීරණාත්මක ව්‍යූහමය පරිවර්තනයක් කරන්න බෑ කියන එක පැහැදිලි කරන්නට දෙයක් නැති තරමට පැහැදිලියි. . මේ රටේ ඊනියා දේශපාලන ප්‍රභූ පවුල් එකකටත් ඒ අයට හුරුපුරුදු නවලිබරල් පරිභෝජන ධනවාදය ඉදිරියට ගෙනයන්නටවත් ප්‍රඥාවන්ත දරුවෙක් බිහි කරගන්නට බැරිවීම ජාතික ජනබලවේගයට ඇති තවත් වාසියක්.

ජවිපෙ භාෂාවෙන් “බිමේ වැඩ හදනවා”

යුක්තිය, සමසාධාරණය, ආර්ථික ප්‍රජාතන්තවාදය සහිත පරිවර්තිත රටක් ගොඩනැගීමේ කාර්ය කිරීමේ සංවාදය අරඹමු. අපි දැනටමත් ඒක ආරම්භ කර තියෙනවා.
මේ සැරේ ඡන්දෙ ඉල්ලන අයගෙන් ලංකාවේ ගොවියාගේ ප්‍රශ්නය පිළිබඳ සැබැවින්ම කල්පවත්නා පිළිතුරු පරිකල්පනය කරලා තියෙන්නෙ ජාතික ජනබලවේගෙ ප්‍රතිපත්ති ලේඛනවල විතරයි. අනුර කුමාර දිසානායක ඒ ප්‍රතිපත්ති ඉතා ආකර්ෂණීය ලෙස ජනාධිපතිවරණ සටනේ සිට ඉදිරිපත් කරමින් ඉන්නවා. ඒ කරුණු ඔහු තරම් හොඳින් සන්නිවේදනය කරන්න පුළුවන් කෙනෙක් මෑත කාලෙ ඉඳලා නෑ.
ඔහුත් සමග ඒ සන්නිවේදන කාර්ය ගමින් ගම යමින් කළ හැකි තවත් මන්ත්‍රීවරු හය හත් දෙනෙක්වත් අපි මෙවර පත් කරන්න ඕනෙ. ජාතික ජනබලවේගෙට මෙවර මන්ත්‍රීවරු දහදෙනෙක් ආවොත් එයාල සිරසෙ, ස්වරණවාහිනියෙ, කොළඹ මාධ්‍ය සන්දර්ශනයෙ අඩුවෙනුත්, ගමින් ගම ජනතාව අතර වැඩියෙනුත් ගත කරන්න ඕනෙ. ජවිපෙ භාෂාවෙන් ඒකට කියන්නෙ “බිමේ වැඩ හදනවා” කියලා. එහෙම කියමන් තිබුණට වැඩ වෙනවා මදි.

-ලියනගේ අමරකීර්ති

Leave A Reply

Your email address will not be published.

thirteen + nineteen =