නොගිලිහෙනු පිණිස පොත් සුවඳ බෙදන මරදානේ පරණ පොත් කඩ

අද හවසත් මරදාන හුරුපුරුදු විදිහමයි, කලබලයි.
මිනිස්සු හැමෝම එකිනෙකා පහුකරගෙන තමන්ගෙ ජීවිත ගමන යනවා. මේ දේවල් බලාගෙන, දරාගෙන ස්ටේෂම ළඟ ඉඳන්
එකම එක සිංදුවක් මිමිණෙන දුරකින් මැයි මාර හෙවණ යටින් එලූණු ඞී. ආර්. විජේවර්ධන මාවත. එතන හැමදාටම මතක මාවතක් වෙලා තියේවි.
මීට අවුරුදු හතලිහකට විතර කලින් ඉඳන් තිබුණ වගේම,
ඒ හරියටම ගාමිණී හෝල් එක තිබුණ දවස්.
මේ සිතුවිලිත් එක්ක නානාප‍්‍රකාර කඩ වීදිත්,
මිනිස්සුත් මුණගැහීගෙන වෛරස් කාර්තුවකුත් පහුකරගෙන
මම මේ යන්නෙ පුරුදු රස්තියාදුවක්.

පේ‍්‍රමදාස වීරරත්න

1952 – 1953 අතර දවස්වල එක මනුස්සයෙක් මරදාන ස්ටේෂම ඉස්සරහ ලෑලි තට්ටුවක් තියාගෙන පරණ ඉංගී‍්‍රසි පොත් විකුණන්න පටන් ගන්නවා. ඔහු නමින් පේ‍්‍රමදාස වීරරත්න. කොග්ගල ප‍්‍රදේශයේ උපත ලබමින්, එම ප‍්‍රදේශයේම අධ්‍යාපනය ලබමින් හැදීවැඩෙන ඔහු පසු කාලෙක නාවුක හමුදාවට ඇතුළත් වෙනවා. ඒ එවකට පැවති බි‍්‍රතාන්‍ය රජය යටතේයි. හමුදාවේ දී සිද්ධ වෙන අනතුරකින් අතකුත්, පාදයකුත් ඔහුට අහිමි වෙනවා. ඉන් පස්සෙ තමයි ඔහු මේ විදියට පොත් විකුණන්න පෙළඹෙන්නේ, ඒ මරදාන ස්ටේෂම ඉදිරිපිට. එවකට සමාජයේ සාහිත්‍යයට පැවති නැඹුරුව මේ වෙනුවෙන් ඔහු පොළඹවන මූලික කරුණ වෙන අතරම මුල් කාලෙ ඉඳලම පොත් සොයා ගැනීමටත් ඔහුට මේ කරුණම පහසුවක් වෙනවා. මේ විදිහට මිනිස්සුන්ට පොත් මුණගස්වමින් ඉන්න ඔහුට 1976දී නොබැඳි සමුළුව තිබුණු අවස්ථාවේ මේ දැන් පවතින ස්ථානයේ කඩ හිමි වෙනවා. එදා ‘පේ‍්‍රමදාස බුක් ෂොප්’ සහ ‘වර්ණසූරිය බුක් ෂොප්’ විදියට කඩ දෙකකින් තමයි අද වෙන කොට පොත් කඩ හය හතක්ම තියෙන මරදාන පොත් කඩ පේළිය ආරම්භ වෙන්නේ.

සරත් හැන්නැදිගේ

පේ‍්‍රමදාස වීරරත්න විසින් මේ විදියට ආරම්භ කරන වෙළෙඳාම එකල සමාජයට නැවුම් අත්දැකීමක් මෙන්ම බලපෑමක් ද වෙනවා. ඒ අනුව ඔහුගේ සොහොයුරන් වන ශාන්ත බම්බලපිටියෙත්, ධර්මදාස වැල්ලවත්තෙත් පොත් කඩ පටන් ගන්නවා. පසුකාලීනව බම්බලපිටියේ පොත් කඩය වැහිල ගියත්, වැල්ලවත්තෙ පොත් කඩය නම් තැන මාරුවෙලා අදටත් ගල්කිස්සේ තියෙනවා. ඒ වගේම ඒ අතීතයට සාක්ෂි දරන්න ඉන්න පැරණිම පුද්ගලයා විදියට ධර්මදාස වීරරත්නත් ජීවතුන් අතර ඉන්නවා.
මරදානට පොත් හුරු කරපු මනුස්සය නික්ම ගිහින් අවුරුදු තිහකට විතර පස්සෙ අද මම මෙතන පොත් අතර ඇඟිලි තුඩු එහා මෙහා යවනවා. එදා වගෙම අදත් පොත් කඳු ගැහිල මිනිස්සුන්ව කියවනවා. මම මේ ගොඩවෙන්න යන්නෙ ඒ ආරම්භයේම වර්තමාන දිගුව විදියට අදටත් විජේවර්ධන මාවත දිහා බලන් ඉන්න සරත් බුක් ෂොප් එකට. සරත් හැන්නැදිගේ තමයි අද මෙතන ඉන්නේ.

සංජය නිශාන්ත

”හැම ක්ෂේත‍්‍රයකම මිනිස්සු මෙතන දී මුණගැහෙනවා. මේ යන්නෙ එහෙම මුණගැහුණ මිනිස්සුන්ගෙත් තුන්වැනි පරම්පරාව. මට මතකයි අසූ ගණන්වල දවසක ප්‍රෙෆෙසර් රැල්ෆ් බුල්ජන්ස්ට තෑගි දෙන්න පොතක් හොයාගෙන ආනන්ද චිත්තම්පලම් මහත්තය මෙතනට ආවා. පොතේ නම Twentieth Century Impressions of Ceylon. ඒ පොත මම එදා රුපියල් විසි දෙදාහකට වික්කා. අද බැලූවොත්, රුපියල් ලක්ෂයක් වගේ. ඒ දවස්වල මෙතන හරි ලස්සනට තිබුණා. ගාමිණී හෝල් එක, එතකොට ටවර් හෝල් එක වගේ ඒවත් එක්ක මිනිස්සු මෙතනටත් නිකමට හරි යන්න එන්න පුරුදු වෙලා හිටියා. මට මතකයි ඒ දවස්වල ටවර් හෝල් එකේ පෙන්නන්නෙ කව්බෝයි ෆිල්ම්ස්. අපි කඩ වහල රෑට ෆිල්ම් එකක් බලල පැරිස් හෝටලෙන් කෑම කාලා කාමරේට ගිහින් නිදාගන්නවා. එතකොට කොලූ කාලෙ නේ පුතා.”

මේ විස්තර කියද්දි හරි ලෙංගතු හිනාවක් මූණ පුරාම ඇඳන එක තමයි තව තවත් මතක අවුස්සන්න මාව උනන්දු කළේ. මෙතනට එන පාඨකයින්ගෙ වගේම පොත් කඩවල හිමිකාරයින්ගෙත් මේ යන්නෙ තුන්වෙනි පරම්පරාව. ඒ තුන්වෙනි පරම්පරාවෙ කෙනෙක් තමයි සංජය නිශාන්ත. ඔහු සරත් හැන්නඳිගේ ගේ පුතා.

පුෂ්පකුමාර කුරුප්පුආරච්චි

”අවුරුදු දොලහක්ම වෙන ජොබ් එකක් කරල තමයි මමත් මෙතනට ආවෙ මල්ලි. ඒ පොත් එක්ක තියෙන බැදීම නිසා මං හිතන්නෙ. මොකද මටත් ඕනෙ උනා මේ තැන ඉස්සරහටත් තියෙනව දකින්න. බිස්නස් එකත් හොඳයි. මේ කොරෝනා වගේ ප‍්‍රශ්න ආවෙ නැත්තම්, තරුණ අයගෙ පොත් කියවීමේ වර්ධනයක් වුනා පහුගිය කාලෙ. මේ දවස් නම් පොඩි ප‍්‍රශ්නයක් එක්ක තමයි ගෙවෙන්නෙ මල්ලි. මොනෝ රේල් ප්‍රොජෙක්ට් එක නිසා අපේ කඩේ කැඩෙන තත්වයක් තමයි තියෙන්නෙ.”

ඒක නම් හිතට ටිකක් අමාරු විදිහෙ ආරංචියක්. මොකද මම දැකල තියෙනව මෙතනදි මිනිස්සු පුදුම වෙන විදිහ, එයාල පොත් වලට ආදරේ කරන විදිහ. ඉඳල හිටල දවසක මට ඒක විඳින්න ලැබුනත් එහෙම අත්දැකීම් එක්ක දවස පුරාම ඉන්න මනුස්සයෙක් එක්ක තමයි ඊළඟට කතා කලේ. ඒ අද පීටර්ස් බුක් ශොප් එක කරගෙන යන පුශ්පකුමාර කුරුප්පුආරච්චි.

”අපිට ලැබෙන සෙකන්ඞ් හෑන්ඞ් පොත්වලින් වැඩිහරියක්ම ඉංග‍්‍රීසි ඒවනෙ පුතා. ඒ නිසා තමයි, වැඩිපුරම ඉංග‍්‍රීසි පොත් තියෙන්නෙ. මුලින්ම මෙතන සම්පූර්ණයෙන්ම ඉංග‍්‍රීසි පොත් තමයි තිබුණේ. පස්සෙ අවුරුදු දහයක් පහළොවක් ඇතුළත වගේ තමයි සිංහල පොත් එකතු වුණේ. කොහොමත් හුඟක් වෙලාවට සිංහල පොත් සෙකන්ඞ් හෑන්ඞ් ලැබෙනවත් අඩුයි. මිනිස්සු අතරෙ මතයකුත් හැදිල තියෙනවනෙ මෙතන පරණ ඉංග‍්‍රීසි පොත් තමයි තියෙන්නෙ කියල. ඉස්සර නෝනල, මහත්තුරු ඇවිත් නවල්ස් තෝරල බලල ගන්නවා. ඒත් පුතා දැන් එහෙම පොත් තෝරන්න කවුරුවත් එන්නෙ නෑ. තරුණ ළමයෙක් පොතක් ගන්න ආවත්, නෙට් එකෙන් බලල, කමෙන්ට්ස් කියවල, පින්තූරෙ ෆෝන් එකේ දාගෙන ඇවිත් ඒ පොත විතරක් අරගෙන යනවා. මෙතනට ඇවිත් කතාබහ කරල පොතක් තෝරගෙන යන මිනිස්සු හිටියා පුතා, නැත්තෙ නෑ. ඒත් සමහරු යුද්ධ කාලෙ, ගොඩක්ම දෙමළ මහත්තුරු එහෙම හිටපු අය රට අතෑරල ගියා. ඒ කාලෙ ඉඳන් කියවපු සමහරු දැන් වයසයි, තවත් සමහරු මැරිලා. මට මතකයි හැත්තෑ ගණන්වල දී හවසට මෙතන වහන්න බෑ. වාහන මේ පාර දිගටම නවත්තගෙන. ලාම්පුත් නෑ පැට්ට‍්‍රල් මැක්ස් පත්තු කරගෙන. ඒ කාලෙ රෑ අට හමාර, නවය වෙන කොට මහත්තුරුන්ව එළියට දාලා දොරවල් වහන්නේ.”

අදටත් පොත් කඬේ ගාවට ගියාම
”ආ පුතා කොහොම ද, අද තනියම ද” කියල ඉස්සෙල්ලම අහන මනුස්සය තමයි ඒ. එහෙම අහන අතරතුර එතනට ඊයෙ පෙරේදා හම්බ වුණු පොත් ටික මට පෙන්නන්නත් අමතක කරන්නෙ නෑ. ලස්සනම දේ තමයි ඔහු මේ ඉන්නෙ අවුරුදු ගාණකට කලින් ඒ ලෙවල් සෙකන්ඞ් ශයි කරන්න සල්ලි හොයාගන්න මෙතනට ආපු ගමන් කියන එක. දැන් අවුරුදු විස්සක විතර ඉඳන් මේ අංකල් තාමත් මෙතන ඉන්නවා. එහෙම බැඳීමක් මිනිස්සුන්ට පොත් එක්ක තියෙනවා කියල හිතෙන කොටත් හරි සුන්දරයි.

මේ අතරෙ සමහර මිනිස්සු ඉන්නවා පරණ පොත් එකතු කරන. ඒ කියන්නෙ සෙකන්ඞ් හෑන්ඞ් කියන අර්ථයෙන්ම නෙවෙයි. ඒ අය නිතරම හොයන්නෙ පොත්වල මුල්ම මුද්‍රණ, සමහර විට පළමුවැනිම මුද්‍රණය. එයාල විනෝදාංශයක් විදියට තමයි ඒක කරන්නේ. කොහොම වුණත් මෙතන දී සැලකෙන්නෙ අදාළ පොතේ විකුණුම් මිල නම් නෙවෙයි, ඒ පොතේ පෞරාණික වටිනාකම. ඉතින්, ඒ පෞරාණික වටිනාකම අනුව තමයි එතන දී මිල තීරණය වෙන්නෙත්.

මිනිස්සු දවස තිස්සෙම එකා දෙන්න සැරෙන් සැරේට මෙතනට එන්නෙ පොත් ගන්න වගේම පොත් බලන්නත් එක්කමයි. ඒ මිනිස්සුයි, පොතුයි අතරේ ගතකරද්දි මට නොදැනීම හවසක්ව තිබුණු දවස
රැයක් වේගෙන එනවා. ඉතින් මම දැන් හදන්නේ මෙතෙනට ගිහින් එන්නම් කියන්න. දවසක ඔයාලත් එන්න. පොතක් අරගෙන යන්නම නෙවෙයි. පොත් තෝරන්න.

– වරුණ උදේශ් ජයසිංහ
සේයා – රවීන්ද්‍ර පුෂ්පකුමාර

Leave A Reply

Your email address will not be published.

1 + twelve =