කැබලි වන යේමනයේ ඇටගැහෙන ජීවිත

මානව හිමිකම් සංවිධාන විසින් යේමනයේ නිල නොවන රැඳවුම් මධ්‍යස්ථානවල සහ බන්ධනාගාරවල නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම, පහර දීම, නියපොතු ගැලවීම සහ විදුලි කම්පන යොදා ගැනීම ඇතුළු වධ බන්ධන පැමිණවීම් ගැන වාර්තා කර ඇති අතර, යුද්ධයේ දී සියලු පාර්ශ්වයන් විසින් සිදු කරන ලද අපයෝජනයන් සමඟ ඒවා පැතිර ගොස් ඇත.

මැදපෙරදිග දුප්පත්ම රට වන යේමනය තුළ දැවැන්ත පරිමාණයේ ව්‍යසනයක් නිර්මාණය වී ඇත. ඒ මේ වන විටත් දිග්ගැස්සෙමින් පවතින යුදමය වටපිටාව හේතුවෙනි. මැයි මාසයේ රටේ වයඹ ප්‍රදේශයේ හජ්ජා නුවරට එල්ල වූ ප්‍රහාරයකින් කුඩා දරුවකු ඇතුළු සිවිල් වැසියන් සිව්දෙනකු ඝාතනය වීම සහ ආහාර, ඖෂධ වර්ග ඇතුළු මූලික වෙළෙඳ භාණ්ඩ යේමනයේ ජනතාව වෙත ළඟා වීම වළක්වන හෝඩෙයිඩා වරායේ නාවික අවහිර කිරීම මේ වන විට සිදුව තිබේ.

යේමනයේ මිලියන 28ක ජනගහනයෙන් මිලියන 14ක් පමණ සාගතයට ගොදුරුවී ඇති අතර, සියයට 80ක් ආහාර ආධාර මත යැපේ. මිලියන 3.6ක් අවතැන් වී ඇත. 2,57,000ක් සෞදි ගුවන් ප්‍රහාර සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නාවික අවහිරය හේතුවෙන් ද සාගින්න හා රෝග පැතිර යාම නිසා සෘජුව හා වක්‍රව, සිවිල් වැසියන් 2,30,000ක් පමණ ද මිය ගොස් ඇති අතර, යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා අවම වශයෙන් වයස අවුරුදු පහට අඩු ළමයින් 75,000ක් කුසගින්නෙන් මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ. මේ අතර කොලරා වසංගතය මිලියන 1.2ක ජනතාවකට ආසාදනය වී අවම වශයෙන් 2,500ක් පමණ මිය ගොස් ඇති අතර, මෑතක දී ඇති වූ ගංවතුර හේතුවෙන් හද්රමාව්ට් හි ඩෙංගු උණ’ද ශීඝ්‍ර ලෙස පැතිර ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වසරේ දී කොලරාව හා පාචනය රෝගීන් 1,37,000ක් හඳුනාගෙන ඇති බව වාර්තා කළ අතර, ඉන් හතරෙන් එකක් පමණ වයස අවුරුදු පහට අඩු ළමයින් ය.

කොරෝනා ව්‍යසනයට අමතරව තවත් මෙවැනි අභියෝග රැසක් යේමනය වෙත එල්ලවී තිබිය දී, පසුගිය සතියේ සෞදි අරාබිය, හවුති කැරැලිකරුවන්ගේ පාලනය යටතේ පවතින සානා අගනුවර අවට සාඩා සහ උතුරේ අනෙකුත් නගරවලට ගුවන් ප්‍රහාර ගණනාවක් දියත් කළේ ය. සෞදි අගනුවර වන රියාද් හා ජිසාන්, නජ්රාන්, ඛාමිස් මුෂයිට් අභාහි හමුදා මධ්‍යස්ථාන වෙත හවුති මිසයිල හා ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කිරීමෙන්  පසුව මෙම ප්‍රහාර එල්ල විය.

මේ නිසා රෝහල්වල සහ පාසල්වල මූලික අවශ්‍යතා නොමැති තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, සෞදි නායකත්වයෙන් යුත් සන්ධානයේ ගුවන් ප්‍රහාර හේතුවෙන් ජල සැපයුම්, විදුලි සන්දේශ, විදුලි උත්පාදනය සහ මාර්ග පද්ධතිය බිඳවැටී හෝ නැත්නම් ක්‍රියාත්මක වන්නේ යාන්තමින්ය.

මානව හිමිකම් සංවිධාන විසින් යේමනයේ නිල නොවන රැඳවුම් මධ්‍යස්ථානවල සහ බන්ධනාගාරවල නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම, පහර දීම, නියපොතු ගැලවීම සහ විදුලි කම්පන යොදා ගැනීම ඇතුළු වධ බන්ධන පැමිණවීම් ගැන වාර්තා කර ඇති අතර, යුද්ධයේ දී සියලු පාර්ශ්වයන් විසින් සිදු කරන ලද අපයෝජනයන් සමඟ ඒවා පැතිර ගොස් ඇත. මෙය නිල බන්ධනාගාරවල සහ රැඳවුම් මධ්‍යස්ථානවල ඇති කුරිරු තත්ත්වයන්ට අමතරව ය.

මේ යුද්ධයට පදනම වැටී ඇත්තේ,  2011 වසරේ සිදු වූ අරාබි වසන්තය තුළ ය. එක්සත් ජනපදයේ හා සෞදියේ ආශීර්වාදය ලැබූ ජනාධිපති අලි අබ්දුල්ලා සාලේගේ 32 වසරක ඒකාධිපති පාලනයට එරෙහිව මහජන විරෝධතා පැනනැඟුණ අතර සාලේ විරෝධතාකරුවන්ට පහර දීම සඳහා හමුදාව යෙදැවී ය. එහෙත්, ඔහුගේ උප ජනාධිපති අබ්දුල් රබ්බු මන්සූර් හාඩිට බලය පවරමින් ඔහුට ඉල්ලා අස්වීමට සිදු විය. ඒ නිසා 2012 පෙබරවාරි මාසයේ මැතිවරණයක් කැඳ වූ අතර, අන්තර්වාර ආණ්ඩුව මෙහෙයැ වූ එක ම මැතිවරණ අපේක්ෂකයා හාඩි විය. මේ අතර හවුති කැරැලිකරුවෝ හාඩිගේ ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කළ අතර, හිටපු ඒකාධිපතියාගේ සහාය ඇතිව ඔවුන් සානා අගනුවර අල්ලා ගත්හ. මේ නිසා හාඩිට සෞදි අරාබියේ රැකවරණය ලබා ගැනීමට බල කෙරිණි.

2015 මාර්තු මාසයේ දී හවුති කැරැලිකරුවන් මර්දනය කර හාඩිව යළි ප්‍රාණවත් කිරීම සඳහා සෞදිය සන්නද්ධ මෙහෙයුමක් දියත් කළේ ය. එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අනෙකුත් අරාබි රටවල් සමඟ යුද සන්ධානයක් ගොඩනඟා ගන්නා තෙක් වර්ධනය විය. ඒ අනුව සෞදිය  ගුවන් ප්‍රහාර එල්ල කරද්දී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යේමනයේ ප්‍රධාන රතු මුහුදේ වරාය වන හොඩෙයිඩා අවහිර කළේ ය. එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් ප්‍රධාන බලවත්තු සෞදි නායකත්වයෙන් යුත් මෙම යුද සන්ධානයට නොනිල වශයෙන් උපරිම සහයෝගය දක්වමින් සිටිති. ඔවුන් ප්‍රහාරක ජෙට් යානා, නවීන ආයුධ, ද්‍රව්‍ය, හමුදා බුද්ධි අංශ, ඉන්ධන පිරවීමේ පහසුකම් සහ භූමියේ රහසිගත මිලිටරි බලවේග පවා සන්ධානයට සපයා ඇත. ඔවුන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී එයට රාජ්‍ය තාන්ත්‍රික ආවරණය සපයනවා පමණක් නොව, හවුතිවරුන්ට සහ හිටපු ජනාධිපති සාලේගේ පාලනය යටතේ පැවැති කණ්ඩායම්වලට ආයුධ සැපයුම් මාර්ග පවා අවහිර කළේය.

පස් අවුරුදු යුද්ධය ගැටුම් ගණනාවක් නිර්මාණය කරමින්, රට ප්‍රදේශ කිහිපයකට කඩාදැමී ය. උතුරේ අන්සාර් අල්ලාහ් ලෙස හැඳින්වෙන පළමුවැන්න හවුතිවරු පාලනය කරති. දෙවැන්න පාලනය කරනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ලබන කණ්ඩායමක් විසිනි. හිටපු ජනාධිපති සාලේගේ බෑනණුවන් විසින් අල්ලා ගන්නා ලද බටහිර කොටස  රිපබ්ලිකන් ගාඞ්ස් විසින් පාලනය කරනු ලබයි. නැඟෙනහිර තවත් කොටසක් පාලනය කරනු ලබන්නේ, හාඩිගේ පිරිහෙමින් පවතින කණ්ඩායමක් විසිනි.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

four × 4 =