ආගමන විගමන නීති කඩකිරීමෙන් ඇරඹුණු චීන-ඇමෙරිකා ගැටුම

ඇමෙරිකාව හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුධය මේ වන විට වඩාත් උත්සන්න වී තිබෙනවා.චීනයේ සිචුවාන් පළාතේ චෙන්ග්දු (Chengdu) නගරයේ පිහිටි ඇමෙරිකානු කොන්සල් කාර්යාලය වසා දැමීමට චීනය නියෝග කළේ ඇමෙරිකාවේ ක්‍රියාවන්ට එකට එක කිරීමක් වශයෙනුයි.
මීට කළින් ඇමෙරිකාවේ හුස්ටන් හි පිහිටි චීන කොන්සල් කාර්යාලය වසා දමන ලෙස ඇමෙරිකාව නියෝග කර තිබුණා. එම පියවර චීනය විසින් හඳුන්වා දෙනු ලැබුවේ “දේශපාලන කුපිත කිරීමක්” ලෙසයි.
චීනය විසින් ඇමෙරිකානු බුද්ධිමය දේපළ හා පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට කටයුතු කරන බවත් ඒ හේතුවෙන් හුස්ටන්හි චීන රජයේ කටයුතු අත්හිටවීමට තීරණය කළ බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා.
ඒ අතර සිය තීරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශය ද ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඇමෙරිකාව විසින් කරන ලද අහේතුක ක්‍රියාවට අවශ්‍යයෙන්ම පළකළ යුතු නීත්‍යානුකූල ප්‍රතිචාරය ලෙස චීනය ද තම තීරණය සාධාරණීකරනය කරනවා.
“චීනය හා ඇමෙරිකාව අතර දැනට පවත්නා තත්ත්වය චීනය දකින්නට කැමති දෙයක් නොවෙයි. එහි සියලු වගකීම් දැරිය යුත්තේ ඇමෙරිකාවයි”
යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
1985 වසරේදී චෙන්ග්දු හි ආරම්භ කරන ලද ඇමෙරිකානු කොන්සල් කාර්යාලය පිහිටා ඇත්තේ ටිබෙටයට ආසන්නවයි. එය උපක්‍රමයක වශයෙන් ඇමෙරිකාවට ඉතා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ වනවිට 200ට වැඩි පිරිසක් එහි සේවය කරන බව වාර්තා වෙනවා.
දෙරට අතර වෙළඳ අර්බුදය, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම, හොංකොං අර්බුදය යන කරුණු සම්බන්ධයෙන් මෑත කාලීනව වොෂින්ටනය හා බෙයිජිං පාලනයන් අතර දිගින් දිගටම මතවාදී ගැටුම් ඇතිවුණා.නමුත් කොන්සල් කාර්යාල වසා දැමීමට මුල් වී ඇත්තේ චීනය විසින් ඇමෙරිකාවේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධ සිදුවීමක්.
ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වී සිටින චීන විද්‍යාඥයන් සිව් දෙනෙකු තම වීසා අයදුම් කිරීමේදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර,ඇති බව ඇමෙරිකාව චෝදනා කරනවා.ඔවුන් සිව් දෙනා චීන මහජන හමුදාවට අයත් උපක්‍රමික ඔත්තුකරුවන් බවයි ඇමෙරිකාවේ මතය.
අදාල විද්‍යාඥයන්ගෙන් තිදෙනකු මීට කළින් ඇමෙරිකානු බලධාරීන් විසින් අත් අඩංගුවට ගත්තා.නමුත් ජුවාන් ටැන්ග් නැමැති නිලධාරිනිය අත් අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඇය සැන්ප්‍රැන්සිස්කෝ නුවර චීන කොන්සල් කාර්යාලය තුළ රැකවරණ ලැබීම හේතුවෙන්.නමුත් ඇයට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය හිමි නොවන බවත් වීසා අයදුම්පත්‍රයේ තම සැබෑ තත්ත්වය සැඟැවීමේ වරදට ඇය අත් අඩංගුවට ගත යුතු බවත් ඇමෙරිකාව දිගින් දිගටම පෙන්වා පවසා සිටියා.
කෙසේ නමුත් FBI ඒජන්සිය විසින් මේ වන විට ජුවාන් ටැන්ග් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.
-ශානක ලියනගම

Leave A Reply

Your email address will not be published.

one × 3 =