PHI ප‍්‍රශ්නයෙන් මැතිවරණය අර්බුදයක

මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් පත්‍රයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ලබා නොදීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය උත්සන්න කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මහා මැතිවරණය පැවැත්වීමේ කටයුතු අර්බුදයකට පත්ව ඇතැයි මැතිවරණ ආරංචිමාර්ග සඳහන් කරයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සම්බන්ධ්යෙන් බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති අතර, මැතිවරණයට අදාළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ජනතාව පිළිපදිනවා ද යන්න සොයා නොබලන බව ද ඔවුන් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත. ඒ ඉකුත් බදාදා කොමිසම සමඟ පැවැති සාකච්ඡාවේ දී ය.
මේ සමඟ කොවිඞ් 19 වෛරස පාලනය ගිලිහීයාම මඟින් ඇති විය හැකි අනතුරුදායක තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කනස්සල්ල පළ වී තිබේ.
මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී මෙන්ම මැතිවරණ දිනයේ දී ද ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි දක්වා තිබෙන අතර, ඒවා නිසි පරිදි ඉටු කරන්නේ දැයි බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
මැතිවරණ දිනයේ දී ඡන්දපොළ තුළ පැවැතිය යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම, ජන්දදායකයන් ඡන්දපොළට පැමිණෙද්දී පිළිපැදිය යුතු ආරක්ෂිත ක්‍රම පිළිපදින්නේදැයි සොයාබැලීමට ඒ අනුව කෙනකු නොමැති වේ. එය මහජන සෞඛ්‍යයට සෘජුව බලපාන ගැටලුවකි.
එම කාරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයන් තිදෙනා සමඟ පැවැති සාකච්ඡාවේ දී ආණ්ඩුවේ සෞඛ්‍ය බලධාරීන් යෝජනා කර ඇත්තේ, ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග සොයමින් සිටින බවය. නමුත්, මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නැති අතර, ඉදිරියේ දී මැතිවරණ කොමිසම රැස් වී මේ පිළිබඳ තීරණයකට පැමිණීමට නියමිත ය.
-ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

20 − 9 =