අද ගූගල් සෙවුම් යන්ත්‍රය වැනි එදා තාත්තාගේ පොත් අල්මාරිය

වෘත්තියෙන් චිත්ර ගුරුවරයෙකු වූ මගේ තාත්තා දශක ගණනක්.තිස්⁣සේ එක්රැස් කර ඇති වටිනා පොත්පත් සහිත අල්මාරිය මට අපේ නිවෙසේ ඇති වැදගත්ම ගෘහභාණ්ඩයයි. දේශීය හා විදේශීය චිත්ර කලාව පිළිබඳ ඉතා වටිනා පොත් රැසක්ද, සාහිත්යය සහ කලාව පිලිබඳ පොත් රැසක්ද මේ අල්මාරියෙහි තිබේ. පරණ පෙනුමැති, අබලන් තත්ත්වයට ඉතා ආසන්න, නිවෙසේ නොවැදගත් මුල්ලක තබා ඇති එහි ඇතුළත හැමදාම තිබුණේ ලෝකය පුරා දැනුම එක්තැන්කළ ගබඩාවකි. අන්තර්ජාල පහසුකම් පිළිබඳ සිහිනෙන් වත් නොසිතූ අසූ ගණන්වල මා ලෝකය වෙත කැඳවාගෙන ගියේ මේ දුප්පත් අලමාරියේ තිබූ පතපොත විසිනි.
ජීවිතය සහ ලෝකය පිළිබඳ මගේ දැක්ම පෝෂණය කරන්නට වඩාත් ම බලපෑ⁣වේ කුමක්දැයි කිසිවකු ඇසුවහොත් ඊට මට දෙන්නට ඇති උත්තරය වන්නේ තාත්තාගේ පොත් අල්මාරිය යන්නයි.
ලෝකය පමණක් නොව මා ඉපදුණු ගමෙන් එහා ලංකාවද මා මුලින්ම දකින්නට පටන් ගත්තේ ඔහුගේ පොත් අල්මාරියෙනි. මහගමසේකරගේ කවි පොත්ද, සරච්චන්ද්ර, මාටින් වික්රමසිංහ, කේ.ජයතිලක, සෝමවීර සේනානායක වැනි ලේඛකයන්ගේ පොත්ද, මනමේ, සිංහබාහු, නරිබෑනා ආදී නාට්ය පොත්ද, චිත්ර කලාව, ඉතිහාසය, පුරාවිද්යාව, ආදී ක්ෂේත්ර ගණනාවක සිංහල සහ ඉංග්රීසි බසින් ලියැවණු දැනුම් සම්භාරයක් ඒ පොත් අල්මාරිය ඇතුළට ගිය අපට සොයා ගන්නට හැකි විය.
තාත්තා මෙන් චිත්ර අඳින්නට දස්කමක් නැතත් සෞන්දර්යය විෂයය සඳහා මා චිත්ර විෂයය තෝරා ගත්තේ මේ පොත් අල්මාරියේ තිබූ පොත්පත්වල පින්තූර බැලීමෙන් ඇති වූ ආස්වාදය නිසා බව සිතමි. ඇතැම් ප්රකට යුරෝපීය මෙන්ම දේශීය සිත්තරුන්ගේ සිතුවම් සහ චිත්ර සම්ප්රදායන් මගේ කුඩා සිතට මුලින්ම කාවැදෙන්නේ මෙකී පොත් පෙරළ පෙරළා බැලීමෙනි. ඒ හරහා මගේ කල්පනා ලෝකය විචිත්ර ලෙස අවදි විය. වැඩිපුර කතාබස් නොකරන නිහඬ මිනිසකු වු තාත්තා කැමති මාතෘකා මොනවාදැයි මා හඳුනා ගන්නේ ඔහුගේ පොත් අල්මාරිය නිසාය. කොටින්ම ඒ පොත් අල්මාරිය තාත්තාගේ අධ්යාත්මය පිළිඹිබු කරන කැඩපතක් වැනිය.
කලාව, ඉතිහාසය, පුරා විද්යාව වැනි විෂය දැනුමක් සොයන්නට වූ ඕනෑම විටෙක මාත් මල්ලීත්,අද අපි ගූගල් සෙවුම් යන්ත්රයේ පිහිට පතන්නාක් මෙන් එකල තාත්තාගේ පොත් අල්මාරියට පිවිස එහි පොත් ඇද ඇද කියවන්නට පුරුදුව සිටියෙමු. අප විසින් එහෙ මෙහෙ ඇද දමන ලද පොත් පත් තාත්තා විසින් ආපසු සකස් කළද කිසිදා අපට දොස් පැවරීමක් කළ බවට මතකයක් නැත.
කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය පටන් ගත් දා සිට ඔහු ඒ ප්රදර්ශනයට යයි. එහි ගොස් චිත්ර කලාව, පුරා විද්යාව හෝ ඉතිහාසය පිලිබඳ වටිනා පොතක් රැගෙන විත් මේ පොත් අල්මාරියට දමයි. හැම අවුරුද්දකම අප සමග එහි යන ඔහු ප්රධාන පිවිසුමෙන් ඇතුළු වූ විගස ” මං තනියෙන් යන්නම්, ඉවර වෙලා අහවල් තැනට එන්නම්” කියා අතුරුදන් වෙයි. සමහර විටෙක, මාද මට වුවමනා පොත්පත් ගන්නට මහ සෙනඟ අස්සේ තෙරපෙන විට තාත්තා ද ඔහුගේ ප්රියතම විෂයයන් පිළිබඳ දැනුම සපයන පොත් පෙරළමින් කොහේ හෝ සිටිනු මට හමුවෙයි.
මෙවරද පොත් පුදර්ශනය පැවැත්වුණොත් ඔහු එහි යනු අත . තවත් පොතක් දෙකක් උස්සාගෙන එනු ඇත. දැන් ඒ අල්මාරියේ ඉඩ නැත. එහෙයින් සමහර පොත් තිබෙන්නේ මගේ පොත් රාක්කවලය.
උප ගුරුවරයෙකු වූ මගේ තාත්තාට අප වෙනුවෙන් ඉඩකඩම් ගෙවල් දොරවල් රැස් කරන්නට මුදල් තිබුණේ නැත. එහෙත් තරුණ අවධියේ සිට ඔහු ලැබූ දුප්පත් පඩියෙන් කීය කීය හෝ ඉතිරි කරමින් මිලදී ගත් පොත්පත්වලින් මේ පොත් අල්මාරිය පිරවූයේය. ඒ වස්තු සම්භාරය මට එදාට වඩා වටින්නේ අද ය.
මෙය ලියන්නට සිත් වුණේ ඊයේ පෙරේදා මගේ මිතුරියක් සිංහබාහු නාටකයේ නාට්ය පිටපත සහිත පොතෙහි පිදුම ෆේස්බුක් අවකාශයේ පළ කිරීම සමගය. “සුනේත්රාට” නමින් වූ ඒ කව මා බාල වියේදී කියැවූයේ තාත්තාගේ පොත් අල්මාරිය නිසාය. එහි තේරුම වඩ වඩාත් අලුත් වෙමින් තේරෙන්නේ දැන්ය. මම 1968 වස⁣⁣රේ මුද්රිත තාත්තාගේ සිංහබාහු නාට්ය පොතේ පින්තූරයක් මිතුරියගේ පෝස්ටුව යටින් පළ කළෙමි.
ඊළග දවසේ චිත්ර කලාව පිලීබඳ යම් කාරණයක් මා තාත්තාගෙන් විමසද්දී ඔහු අල්මාරියෙන් විශාල පොත් දෙකක් ගෙනැවිත් මා අත තැබුවේය. එය පෙරළා බලන විට, බාල වියෙහි එකී පින්තූර පෙරළ පෙරළා බැලූ මතක සැණෙකින් අවදි විය. තරුණ වියට පත් වූ පසු ද කියවන්නට පොතක් නොමැති ඕනෑම විටක මා කළේ තාත්තාගේ පොත් අල්මාරිය ඇර දමා ඒ පොත් එළියට ගෙන කියවීමය.
තාත්තා අපට ඉතිරි කළ ඒ බූදලයෙන් කොටසක් පහත ඡායාරූපවල අැත. සමහර පොත් මිලට ගෙන අැත්තේ ඔහු විවාහ වෙන්නටත් කලිනි. කිසිදු ලස්සනක් නැති, තාත්තාගේ වෙනත් ලියකියවිලිද අපිළිවෙළ සහිතව පිරවූ ඒ අල්මාරියේ පින්තුරයක්ද මෙහි පළ කරමි.
ගෙදර අනෙක් පරණ, අබලන්, ගෘහභාණ්ඩ ඉවතට විසි කොට අලුත් ඒවා මිලට නොගන්නේ මන්දැයි අම්මා සමග නො⁣යෙක් විට වාද කර ඇති මා මේ අල්මාරිය නම් කැඩී බිමට පාත් වුවත්, ගෙදරින් ඉවතට දමන්නට ඉඩ නොදෙනු අැත.
එයත්, දශක ගණනාවක් තිස්සේ එය දරා ගත් දැනුමත් තාත්තාගේ හදවත වැනි යැයි මට සිතෙන නිසාය.! දැන් ඒ හදවත මගේ හදවතේ ද කොටසකි.!

(ඒ ආදරණිය තාත්තා සරත්චන්ද්‍ර අමරසිංහ )
-කත්‍යානා අමරසිංහ

Leave A Reply

Your email address will not be published.

seventeen + fourteen =