“විශේෂ ජනාධිපති කො: වැරදිකරුවන්ට නිර්දෝෂී වීමට මග පාදන ආයතයනයක්”

2008 වසරේ තම දරුවන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කළ බවට චෝදනා ලබන නාවික හමුදාවේ උසස්ම තනතුර දරන නිලධාරියා ඇතුළු සැකකරුවන් ගලවා ගැනීම සඳහා කොමිසමක් පිහිටුවා ඇතැයි චෝදනා කරන මව්වරු එම අපරාධකරුවන්ට සමාව දීමට ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් නැති බව අවධාරණය කරති.

ආණ්ඩු තුනකින් වසර 12 අධික කාලයක් යුක්තිය නොලද මෙම මව්වරුන් කොළඹදී මාධ්‍යවේදීන් හමුවී තම දුක යලිත් ලෝකයාට ප්‍රකාශකරමින් පැවසුවේ තම දරුවන් ආපසු ලබා දෙන තෙක් තම අරගලය නොනවත්වන බවයි.

ජනාධිපතිතුමාටත් පුතෙක් ඉන්නව

මෙහිදී අදහස් දැක්වූ අතුරුදහන් කළ දරුවෙකුගේ මව වූ ජෙනිෆර් වීරසිංහ පැවසුවේ, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පිහිටුවා ඇති විශේෂ ජනාධිපති කොමිසම වැරදිකරුවන්ට නිර්දෝෂී වීමට මග පාදන ආයතයනයක් බවයි. ” මේ අයගෙන් ජනාධිපතිතුමාට වරදක් වුනේ නැහැනේ. ජනාධිපතිතුමාටත් පුතෙක් ඉන්නවනේ. එයාට වරදක් වුනේ නැහැනේ. මට සහ මේ සමඟ ඉන්න අනිත් අම්මලට තමයි ඒ දේ වුනේ. මම තමයි සමාව දෙන්න ඕනේ,” යි ඇය පැවසුවේය.

අවුරුදු විසිහතරක් වයසැති ජෙනිෆර් වීරසිංහගේ පුතු ජමාල්ඩීන් ඩිලාන් ඇතුළු දරුවන් එකොළහක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කළේ යැයි හිටපු නාවික හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩි.කේ.පී දසනායකගේ නම සඳහන් කරමින් ජෙනිෆර් වීරසිංහ මාධ්‍ය ඉදිරියේ කියා සිටියේය.

එසේම ඇය ඉල්ලා සිටියේ “මට නාවික හමුදාවේම සමහර අය ෆෝන් කරලා කියනවා ළමයි දැන් නෑ, ළමයි මරලා කියලා කියනවා. එහෙම නම් ලමයින් ගේ ඇටකටු ටික හරි පෙන්වන්න. එතකොට ඩි එන් ඒ පරීක්ෂණයකින් මට මගේ පුතා අඳුනා ගන්න පුළුවන්” යනුවෙනි. “පුළුවන්නම් වින්දිතයන් වෙනුවෙන්ද ජනාධිපති කොමිසමක් දමන්නැයි” ඇය ජනාධිපතිවරයාට අභියෝග කළේය.
“ළමයි අරන්ගිය නාවික හමුදාව කියල ගහපු වාහන උසාවියේ තියනව නම්, නාවික හමුදාව ළමයි ගෙනිච්ච කියල කියනව නම් කෝ වගකිව යුත්තෝ. ”

2008 වසරේ දිනක කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් සිංහල, දෙමළ හා මුස්ලිම්, වැඩිහිටි හා තරුණ පිරිමි 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කදවුරේ භූගත කුටියක තබාගෙන වධ දී අතුරුදහන් කළේ යයි නාවික හමුදාවට එරෙහි පරීක්ෂණ ආරම්භ වුනේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම්ව සිටි 2008 වසරේදීය.

නාවික හමුදාවේ මෙන්ම ආණ්ඩුවේ ඉහළම තැන්වලින්ද සිදු කරන ලද විවිධ බාධා කිරීම් හා අවහිර කිරීම් මැද රහස් පොලිසිය විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් පදවිලාභී වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදාපති ඇතුළු 14 දෙනෙකුට චෝදනා 667 යටතේ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

තමන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා ඇත්තේ දේශපාලන වශයෙන් පලිගැනීමට යැයි වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පී. දසනායක ජනාධිපති විසින් කරන ලද පැමිණිලි කොමිසම හමුවේ විභාග වෙමින් පවතී.

නාවික හමුදාවේ ලොක්කන් ආරක්ෂා කිරීම

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු චෝදනා ලත් නාවික හමුදාවේ ලොක්කන් ආරක්ෂා කිරීමේ හා චෝදනා වලින් නිදහස් කිරීමේ වෑයමක නිරත වන්නේයැයි මාධ්‍ය හමුවට එක්ව සිටි අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු චෝදනා කළේය.

“මේ නඩුවේ විත්තිකාරයෙක්වන වසන්ත කරන්නාගොඩට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දීල තිබියදීත් එයට විරුද්ධව ඇපීල් උසාවි යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අභියෝගයට ලක් කරනවානම් එතැන යුක්තියක් සාධාරණයක් තිබිය හැකිදැ,” යි නීතිඥ බ්‍රිටෝ ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රශ්න කරයි.

චුදිතයන් රාජ්‍ය යාන්ත්‍රණයේම කොටස්කරුවන් බැවින් නීතියේ යුක්තිය, හා සාධාරණත්වය පිලිබඳ දෙගිඩියාවෙන් පසුවන මෙම මව්වරුන් තම දරුවන් අතුරුදහන් කළවුන්ගේ පරම්පරාවන්ට පවා සාප ඉල්ලමින්, වසර දොළහක් තිස්සේ හඬයි. තම දරුවන් ජිවතුන් අතරද නැතිද යන්න නොදැනගෙනම මෙම දෙමාපියන්ට ජිවිතය හමාර කරන්නට සිදුවී තිබේ. මේ වන විටත් මේ වෙනුවෙන් රට පුරා තම දරුවා සොයා දුව ඇවිදපු එක් මවක් ද මියගොස් ඇත.

2008 වසරේ මෙම  අපරාධයට ගොදුරු වූයේ කස්තුරිආරච්චිලාගේ ජෝන් රීඩ් හෙවත් ජෝන්, රජීව් නාගනාදන් හෙවත් මල්ලි, ප්‍රදීප් විශ්වනාදන්, මොහොමඩ් සාජිත්, තිලකේශ්වරම් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන්, අමලන් ලියෝන්, රෝෂාන් ලියෝන්, ඇන්ටනි කස්තුරිආරච්චි, කනගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් හෙවත් හාජ්ජියාර් යන විවිධ වයස් කාණ්ඩයන්ට අයත් එකොලොස් දෙනා ය. මේ අතර පිය පුතු සිව් දෙනෙක්ද වෙති.

Leave A Reply

Your email address will not be published.

12 − 10 =