දිවයින පුවත පට්ටපල් බොරුවක්

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර ඇති බවට අද (23) දිවයින පුවත්පත මුල්පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පොල්ගෙඩි අකුරින් සටහන් කර තිබුණු රචනාව අමූලික බොරුවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) තහවුරු කරයි.

මෙම වෛද්‍යවරයා පිළිබඳ තොරතුරු හෙළිවූයේ තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රබල සාමාජිකයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී බව එම පුවතේ සඳහන් කර තිබිණි. තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ සියලුම සැකකරුවන් රඳවාගෙන සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි සහ ත්‍රස්ත විමර්ශන ඒකකයෙහි භාරයේය. එම ආයතන දෙකේ ඉහළ නිලධාරීන් ස්ථිරවම පවසන්නේ මවුවරුන් වඳකිරීමේ සිද්ධියක් හෝ එවැන්නක් කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් කිසිදු සැකකරුවකු වෙතින් ලැබී නොමැති බවයි.

එවන් වෛද්‍යවරයකු අත් අඩංගුවට ගැනීම සඳහා සතියකට වැඩි කාලයක් තිස්සේ පුළුල් විමර්ශනයක් සිදු කෙරෙන බව දිවයින පුවතේ සඳහන්ව තිබුණත් මෙවැන්නක් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බවත් ඔවුහු තහවුරු පවසයි.

එසේම මෙම පුවත සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍යවරුන් ගණනාවක් ද පවසා සිටියේ පුවතේ සඳහන් වඳ කිරීම තබා එක් වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම් 6000ක් කර තිබීම ද සිදුවිය නොහැක්කක් බවයි.

කෙසේවෙතත් තමන් විසින් පොල්ගෙඩි අකුරින් පළ කළ පුවත වැඩිබර සාක්ෂි සහිතව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකිරීමේ භාරය දැන් දිවයින පුවත්පතේ “ප්‍රවීණ මාධ්‍යවේදී” හේමන්ත රන්දුණු මහතාට පැවරී ඇත. එසේ නොවුණහොත් එයම යළි අපරාධ චෝදනාවක් වනු ඇත.

Leave A Reply

Your email address will not be published.

eleven − seven =