වරාය කලුපටි සතියෙන් පසු යළි වර්ජනයට !

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නැයි රජයට බල කරමින් ඊයේ (ජූලි 22) යළිත් විරෝධතාවක් ආරම්භ කළේය.

විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට අදාළ ක්‍රියාවලිය රජය තවම හකුළාගෙන නොමැති බව වරාය වෘත්තීය සමිති පවසයි.

ඊයේ පැවති විරෝධතාවය සමඟම ඉන් අනතුරුව සතියක් කලුපටි බැඳගෙන වැඩ කිරීමට තීරණය කළ අතර එම කාලය තුළ යහපත් ප්‍රතිචාරයක් නොමැති වුවහොත් යළි වර්ජනයකට පිවිසෙන බව ඔවුන්යැ පවසයි.

වරාය වෘත්තීය සමිතිවල ඉල්ලීම මත පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ ද විරෝධතාව පැවති ස්ථානයට වැඩම කළ අතර එහිදී අදහස් දක්වමින් ,

”වරාය කියන්නේ අපේ ජාතියේ හදවත බඳු සම්පතක්. ඒ සම්පත් ගැන මම පහුගිය කාලේ දිගටම කතා කළා. ඒ කතා කරලා තමයි සීයට හැට ගාණකින් ඡන්ද අරන් දුන්නේ. ඒ අරං දීලා ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙමෙයි. අපි කැමති නෑ බොහොම දුක් විදලා හදපු ආණ්ඩුවක් යටතේ මේ තත්ත්වය වෙනවට” යනුවෙන් පැවසීය.

කොළඹ වරායේ සේවකයෝ වරාය පරිශ්‍රයේ සිට විරෝධතා පෙළපාලියකින් වරාය වෛත්‍යය අසළට පැමිණි අතර එහිදී රැස්වීමක් පවත්වා කලුපටි පැළඳුහ.

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ
”නැගෙනහිර පර්යන්තයේ 49% ක් ඉන්දියාවටත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට 51%කුත් හිමිවන පරිදි 2020 ජුනි 09 වැනිදා ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. මේ අය දැන් හදන්නේ යහපාලන ආණ්ඩුව අත්සන් කරපු MOC එක MOU එකක් බවට පත් කරන්න. දැන් ගැන්ට්‍රි දොඹකර තුනක් නැගෙනහිර පර්යන්තයේ හයි කළාට අද වෙනතුරු වැඩ ගන්නේ නෑ. ඒ කියන්නේ ඉන්දියාවට දෙන ප්‍රයත්නය රජය විසින් සිදු කරමින් පවතිනවා” කියා සිටියේය.

පොදු ජන පෙරමුණට අනුබද්ධ වාණිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති හා නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම පැවසුවේ.

”දැන් ගැන්ට්‍රි දොඹකර හයිකරලා ඉවරයි. ඒවායින් වැඩ ගන්න නම් UCT එකේ ඉඳලා, ඒ කියන්නේ සමගි බහලු පර්යන්තයේ ඉඳලා ජංගම දොඹකර ටික ගෙනත් ස්ථාපිත කරන්න ඕනා. ඒ අතර වරාය ඇතුළෙන් යන පොර්ට් සිටියේ පාළමේ ෆයිල් ගහනවා පාර මැද. මේ ෆයිල් ගැහුවහම අර UCT එකේ තියෙන ජංගම දොඹකර ටික ගේන්න බෑ.” යනුවෙනි.

වෘත්තීය සමිති හෙට (24) සන්දේශයක් බාරදීම සඳහා දහවල් කෑම පැයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට සැලසුම් කර තිබේ.

 

Leave A Reply

Your email address will not be published.

4 × 3 =