“ගෝඨාභය දැන් රටේ අවනීතිය රජ වෙන්න ඉඩ ඇරලා”

එක නීතියක් කියාගෙන බලයට ආපු ගෝඨාභය දැන් රටේ අවනීතිය රජ වෙන්න ඉඩ ඇරලා යැයිද ආණ්ඩුවේ ප්‍රජාන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව ජාතික ජන බලවේගයේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන ලෙස ජාතික ජන බලවේගයේ ජාතික කමිටු සාමාජික ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් පවසයි.
චන්ද්‍රසේකරම් මේ බව පැවසූවේ ඊයේ (22) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

“එක නීතියක් කියාගෙන බලයට ආපු ගෝඨාභය දැන් රටේ අවනීතිය රජ වෙන්න ඉඩ ඇරලා. ඒකට උදාහරණ මේ ටික කාලය තුළ අපි හොඳින්ම දැක්කා. යම් සිදුවීමක් වූ ගමන් බොරු කමිටු අටවලා, බොරු පොරොන්දු දීලා ඇඟ බේරගන්න මේ ආණ්ඩුවේ උදවිය ඉතා දක්‍ෂයි.”

“2/3 බලයක් ඕනෑ කරලා තියෙන්නේ විශේෂයෙන් රාජපක්‍ෂවරු තුන් දෙනෙකුට. ගෝඨාභය රාජපක්‍ෂට 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පූර්ණ විධායක බලයක් නැහැ. ඔහුට දැන් ඕනැ කරලා තියෙනවා, එහෙම බලයක් තමන්ගේ අතට ගන්න. දැනට ඔහුට ඇමතිධුරයක්වත් දරන්න බැහැ. බලය තිබෙන්නේ අගමැතිටත්, කැබිනට් මණ්ඩලයටත්.
නීතිය ගැන දැනුමක් මේ ජනාධිපතිට කොහොමත් නැහැ. වැලි පර්මිටි ඉවත් කරපු සිද්ධියෙන්ම ඒක රටට ඔප්පු වුණා. ඒ වගේම ඔහු ලබාදෙන පොරොන්දුවලිනුත් ඒක පෙනෙනවා.”

“මහින්දට 2/3ක් ඕනෑ කරල තියෙන්නේ ඔහුගේ බලතල තව තවත් වැඩිකරගන්නයි. ඒකට ගෝඨාභය කැමැත්ත දෙයිද කියන එක අපිට ප්‍රශ්නයක්. අනෙක් පැත්තෙන් බැසිල්ට 2/3 වුවමනා එය පාවිච්චි කරලා තම ද්විත්ව පුරවැසිභාවය රැකෙන නීති සම්මත කර ගන්නයි. අද නීති කඩන අය ඉන්නේ මේ ආණ්ඩුව සමගයි. මේ අයගේ උද්දච්ඡකම ගැන ජනතාව අද ඉන්නේ කලකිරීමෙන් හා පිළිකුළෙන්. ආණ්ඩුවේ සමහර ඇමතිවරු කියනවා, පොදුජන පෙරමුණෙන් පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා කියලා. මේ අපහාස කරන්නෙ මේ රටේ ඡන්දදායකයින් වන ඔබටයි.”

“අනෙක් පැත්තෙන් එජාපය හෝ සමගි ජන බලවේගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔවුන් නීතිය කඩපු හැටිත් දැන් ඔවුන්ගේ භාවිතයත් මුළු රටටම ප්‍රදර්ශනය වෙලා ඉවරයි. ඔය කණ්ඩායම් දෙක අනිවාර්යයෙන්ම මේ ඡන්දයෙන් පස්සේ රාජපක්‍ෂවරුන් සමග එකතු වෙනවා නිසැකයි. මේ ගොල්ලෝ 2/3 බලයක් ඉල්ලන්නේ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් යන්නයි. ඊට එරෙහිව පාර්ලිමේන්තුව තුළ සටන් කිරීමට නම් ජාතික ජන බලවේගයේ වැඩි පිරිසක් ඊට යැවිය යුතුයි. උදාවෙන මර්දනකාරී පාලනයට එරෙහිව සටන් වැදිය හැකි ඒ සඳහා ශක්තිය තිබෙන එකම බලවේගය ජාතික ජන බලවේගයයි.” යනුවෙන් ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් පැවසීය.

Leave A Reply

Your email address will not be published.

nineteen + 2 =