අරන්තලා භික්ෂූ ඝාතන පෙත්සමට විරෝධතා වලට දින දෙයි

1987 අම්පාර අරන්තලාවේදී හෑගොඩ ඉන්ද්‍රසාර නා හිමි ඇතුලුව බෞද්ධ භික්ෂූන්වහන්සේලා 31දෙනෙකු සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සිදු කල දැනට ජීවතුන් අතර සිටින ⁣කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් නඩු පැවරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිට නියෝග කරන්නැයි ඉල්ලා ආදාඋල්පත බුද්ධසාර හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වන සීමිත විරෝධතා සැප්තැම්බර් 30 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නීතිපතිවරයාට නියෝග කළේය.

ආදාඋල්පත බුද්ධසාර හිමියන් යනු 1987 ජූනි 2 වැනිදා අරන්තලාවේ සිදුවූ අමානුෂික ඝාතනයෙන් දිවි ගලවාගත් එකම භික්ෂූන්ව වන අතර එම හිමි නම සදාකාලික අබාධිත තත්ත්වයට පත්ව සිටියි.

පෙත්සම්කාර පාර්ශවයට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ මේ සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා ඔක්තෝබර් 9 වැනිදාට ගොනු කරන ලෙසය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අවන්ති පෙරේරා කියා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලැබුනේ ඊයේ දිනයේ බැවින් වැඩිදුර උපදෙස් ලබා ගැනීම සදහා තමන්ට කල් අවශ්‍ය බවය.

ඒ අනුව විනිසුරු මඩුල්ල පෙත්සම් සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඇත්නම් ඒවා මෙදිනට ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට නියෝග කළ අතර ලබන නොවැම්බර් 12 වැනිදා මෙම පෙත්සම සලකා බැලීමටද අධිකරණය අද තීන්දු ක⁣ළේය.

පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය , එස්.තුරෙයිරාජා සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම හමුවේ කැදවිණි.

Leave A Reply

Your email address will not be published.

12 − twelve =