කරුණාට එරෙහි පෙත්සම ඉවතට

උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී කරුණා අම්මාන් මාධ්‍යයට කර ඇති ප්‍රකාශ වලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් , ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් , එම ප්‍රකාශ වලින් සිදු වූ හානියට වන්දියක් ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවයට නොතීසි නිකුත් නොකරම පෙත්සම ප්‍රතික්ෂේප කෙරිණි.

ඉදිරි මහමැතිවරණය සඳහා තරඟවදින අපේක්ෂකයින් කැඳවා විමර්ශන සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත දැනුම්දීමක් සිදුකර ඇති බවට මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා වී ඇතැයි පෙන්වා දුන් සභාපති විනිසුරු නවාස් මහතා මෙම සිද්ධියට අදාළ පොලිස් විමර්ශන කටයුතු මූලික අදියරේ පවතින බව පෙනී යන හෙයින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තරම් සාධාරණ කරුණු කිසිවක් අනාවරණය නොවන බව පෙන්වා දුන්නේය.

ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.

eleven + fourteen =