ලොව පුරා මිලියන ගණනකට යළි අගුලු වැටෙන සේයාවක්

ආසියා ශාන්තිකර කලාපයේ ඇතැම් රටවල් වෛරසය පාලනය කිරීමට සමත් වී සිටියද, එම රටවලින් ද නැවත වරක් වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබේ.

මේ වන විට දෛනිකව වාර්තා වන කොවිඞ් 19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වීමත් සමඟ ලොවපුරා මිලියන ගණනක් ජනතාවට නැවත වරක් දැඩි සීමාවලට යටත් වීමට සිදුව තිබේ.

ලොවපුරා කොවිඞ් 19 වෛරස ආසාදිතයන්ගේ ගණන මේ වන විට (ජුලි 19දා) මිලියන 14 ඉක්මවා ගොස් තිබෙන අතර, ලොවපුරා කොවිඞ් 19 වෛරස ආසාදිත මරණ ගණන 6,00,000 පසු කර ඇත.

කෙසේ වෙතත්, එන්නතක් සම්බන්ධයෙන් නව බලාපොරොත්තුවක් ඇමෙරිකාවෙන් මතු වෙමින් තිබේ. මේ වන විටත් එය  මනුෂ්‍යයන් යොදා ගනිමින් අත්හදා බලන බව ඇමෙරිකානු සමාගමක් පවසා ඇත.

කෙසේ වෙතත්, ආසියා ශාන්තිකර කලාපයේ ඇතැම් රටවල් වෛරසය පාලනය කිරීමට සමත් වී සිටියද, එම රටවලින් ද නැවත වරක් වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබේ.

හොංකොං පාලන ප්‍රදේශය මේ වන විට බීම හල්, අවන් හල්, ආපන ශාලා, කායවර්ධන මධ්‍යස්ථාන, රූපලාවන්‍යාගාර සහ කොණ්ඩා කපන ස්ථාන වසා දැමීමට පියවර ගෙන ඇත. හොංකොං පරිපාලන ප්‍රදේශය මාස ගණනක් කොවිඞ් 19 වෛරසය සාර්ථකව පාලනය කිරීමට සමත්ව සිටියේ ය.

කොවිඞ් 19 වෛරසය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ව්‍යාප්ත වීමට පටන් ගත් මුල් අවස්ථාවේ සිට හොංකොං නුවර බොහෝ දෙනා ස්වේච්ඡාවෙන්ම මුඛ ආවරණ පැළැඳූහ. කෙසේ නමුත්, හොංකොං ආණ්ඩුව මේ වන විට මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කර ඇති අතර, එසේ නොකරන්නන් හට ඇමෙරිකානු ඩොලර් 650ක දඩයක් නියම කිරීමට ද කටයුතු කර ඇත.

ජපානය තුළ මේ වන විට දිනකට තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් කොවිඞ් 19 වෛරසය හේතුවෙන් මිය යති. මේ හේතුවෙන් බොහෝ ආයතන සතියේ දින කිහිපයක් පමණක් සේවයට පැමිණෙන ලෙස සිය සේවකයන් හට දන්වා ඇත. ජපානයේ ඔකිනාවාහි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හන්සෙන් හමුදා කඳවුරේ තවත් වෛරස ආසාදිතයන් 36 දෙනකු ජුලි 15 වැනිදා අලු‍තින් හඳුනාගෙන ඇත. මේ වනවිට ජපානයේ ඔකිනාවා දූපතේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හන්සෙන් කඳවුරෙන් වාර්තා වන නව කොවිඞ් 19 වෛරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 136ක් වෙයි.

මේ අතර අසල්වැසි ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය අගුලු‍ දමා ඇත. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මිලියන 125කට ආසන්න පිරිසක් ජීවත් වන අතර, ජූලි 15 සිට දින 15ක කාලයක් සඳහා ප්‍රාන්තයට අගුලු දමන බව එම ප්‍රාන්ත බලධාරීහු නිවේදනය කළහ. බැංගලෝරය ද මේ වන විට සතියක කාලයක් සඳහා වසා දමා තිබේ.

එසේ ම  ඕස්ටේ්‍රලියානු බලධාරීහු ද නැවත වරක් සමාජ දුරස්ථභාවයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීමට ජූලි 15 සිට පියවර ගෙන ඇත. මෙල්බර්න් නුවර මිලියන පහකට ආසන්න පිරිසක් පසුගිය සතියේ සිට ‘ලොක්ඩවුන්’ සීමාවලට යටත්ව ජීවත් වෙති.

රජයේ උපදෙස් නොතකමින් කටයුතු කරන ඕස්ටේ්‍රලියාවේ ජනතාවට ඕස්ටේ්‍රලියානු ඩොලර් දහස් ගණන් දඩ නියම කිරීමට ද කටයුතු කර ඇත.

 

රවින්ද්‍ර පුෂ්පකුමාර

Leave A Reply

Your email address will not be published.

13 − 1 =