ඡන්දයේ අවිඥාණය

ලෝකයේ කොහේ ඡන්දයක් තිබුණත් හැම රටකම කියන දෙයක් තමයි ‘බුද්ධිමත් ලෙස ඡන්දය පාවිච්චි කරන්න’ (vote intellectually) කියන එක. අපේක්ෂකයෝ වගේම ඒ ඒ පක්ෂ වලට සහයෝගය දෙන අනුගාමිකයෝ උනත් නිතරම කියන්නේ හොඳට කලපනා කරල ඡන්දෙ දෙන්න කියන එක. මාධ්‍යවේදීන්, මැතිවරණ විශ්ලේෂකයින් වගේම බුද්ධිමතුන් පවා ඔබගේ බුද්ධිමත් ඡන්දය අසවල් කෙනාට, අසවල් පක්ෂයට, එහෙමත් නැත්නම් අසවල් ප්‍රතිපත්ති වලට දෙන්න කියල තමයි කියන්නේ. එයාල එහෙම කියන්නේ බොරුවට නෙවෙයි. ඇත්තටම. හොඳට හිතල මතල යම් ‘හොඳ’ ප්‍රතිපත්ති ගරුක කෙනෙක් ට තමන්ගේ වටිනා ඡන්දය දෙන එක හැම පැත්තෙන් ම ගත්තම ‘සබුද්ධික’ දෙයක්.

ඡන්දෙකදී වැදගත් වෙන්නේ බහුතරය

ඒ උනාට ප්‍රායෝගික තලයේ ඇත්තටම ගත්තම වෙන්නේ මීට වෙනස් දෙයක්. මිනිස්සු බහුතරයක් (චන්දෙකදී වැදගත් වෙන්නේ මේ බහුතරය) මෙයාල මේ කියන ප්‍රතිපත්ති ප්‍රකාශන හෝ මැනිෆෙස්ටෝ හෝ පතරංග ජාතක කතා එක එක කියවලා, ඒවා සංසන්දනය කරලා, කිරල මැනලා, මාසයක් දෙකක් මානසික අරගලයක නියැලිලා ඡන්ද පොළට එන්නේ නැහැ. දියෙන් කිර වෙන් කරනවා වගේ සත්‍යයෙන් දෘෂ්ටිවාදය වෙනස් වෙන්නේ කොහොමද කියල තම තමන් එක්කම ගැඹුරු ලෙස තර්ක කරන්නෙත් නැහැ. අධ්‍යාපනය, සෞඛ්‍යය, සුබ සාධනය, වැටුප්, ජාතික සංවර්ධනය මේ සියල්ල ඇත්ත තමයි. නමුත් ඡන්ද දායකයා ඡන්ද පොලට ඇවිල්ලා මේ සියලු ‘කරුණු’ වලින් හීන්සීරුවේ ලුහුටලා ගිහිල්ල (sway) වෙනත් විශ්වයකට මාරු වෙනවා. ඒ කියන්නේ ‘කරුණු මත පදනම් වූ තර්කනය’ (fact-based thinking) වෙනුවට වෙනත් ‘සංවේදී හේතු වෙත’ (emotional reasons) ඔහු හෝ ඇය අවසන් මොහොතේ නතු වෙනවා.

කොන්සර්වේටිව් ලක්ෂණ?

ඒ කියන්නේ ඡන්දය කියන එක අවිඥාණික දෙයක් බව‍ට පත් වෙනවා. මේ අවිඥාණික කරුණු ගොඩක් ඒවා කොන්සවේටිව් ගති ලක්ෂණ (conservative features) සහිත ආකර්ෂණයන්. අපි දැන ගත යුතු දෙය තමයි මිනිස් අවිඥාණය ගොඩක් කොන්සවේටිව් ලක්ෂණ සහිතයි කියන එක. ඒ නිසා බහුතරයක් මිනිස්සු අවසාන මොහොතේ තීරණය ගන්නේ එයාලගේ අවිඥාණික පෙළඹුම ඔස්සේ. ඒ අවිඥානික ලක්ෂණ ගොඩක් දරා සිටින පක්ෂ හෝ අපේක්ෂකයින් ඡන්දෙන් ‘ගොඩ යන්න’ නියමිතයි. ඉතින් මොනවද මේ කොන්සර්වේටිව් ලක්ෂණ?
ඡන්ද අපේක්ෂකයා හොඳ පවුලකින් පැවත එන්නෙක් ද? ආර්ථික ස්ථාවරත්වක් තිබේද? ඒ වගේම ඔහු හෝ ඇය සාම්ප්‍රදායික පවුල ඇතුලේ ජීවත් වෙන කෙනෙක් ද? ඔහුගේ අධ්‍යාපනය කුමක් ද? පාසැල කුමක් ද? ඔහුගේ හෝ ඇයගේ ආගම කුමක් ද? ඔහුගේ හෝ ඇයගේ ජාතිය කුමක් ද? ජනවර්ගය කුමක් ද? ඇඳුම් පැළදුම් පිළිවෙලට අඳිනවා ද? කොතරම් ඔහු හෝ ඇය ආකර්ශනීය ද? වැනි බුර්ෂුවා ලක්ෂණ වෙත ඡන්ද දායකයින් පහසුවෙන් ආකර්ෂණය වනවා යන්න ඡන්දදායක චර්යාව (voting behavior) අධ්‍යනනය කරන අය සොයාගෙන තිබෙනවා. මෙහි නිශේධනාත්මක ලක්ෂණ සහිත නිර්-බුර්ෂුවා අපේක්ෂකයින් (de-bourgeoisie candidates) බොහෝ විට ඡන්ද දායකයින් ගේ ඇස තමා වෙත රඳවා ගන්න සමත් වෙන්නේ නැහැ. සමත් වන්නේ නම් ඔහු හෝ ඇය වෙනත් කුශලතා සහිත අයෙක් විය යුතුයි (නළුවෙක්, ගායකයෙක් හෝ ක්‍රීඩකයෙක් වැනි අයෙක්).

දේශපාලනයට කිසිදු සම්බන්දයක් නැති එහෙත් තම තමන්ගේ පුද්ගලික හැඟීම පවා චන්දයේ දී වැදගත් වන අවස්ථා ලෝක මැතිවරණ ඉතිහාසයේ තිබිල තියනවා. උදාහරණ වශයෙන් උස කෙනෙක් ගේ ශරීරයට කැමති කෙනෙක් මිටි කෙනෙක්ට ඡන්දය දෙන්නේ නැහැ මොනතරම් හොඳ ප්‍රතිපත්ති තිබුනත්. කටහඬ, ඇස් වල පාට, කොණ්ඩ මෝස්‌තර, ශරීර වර්ණය උනත් මේ ඡන්ද කෙරුවාවෙදි නොවැදගත් දේ නෙවෙයි. ඒ වගේම තමයි අනන්‍යතා සාධක (identity factors). තමන්ගේ ජාතියේ කෙනෙක් නම්, ජන වර්ගයේ කෙනෙක් නම්, කුලයේ කෙනෙක් නම්, ප්‍රදේශයේ කෙනෙක් නම්, ඒ අයට වැඩි ඉඩක් ඡන්ද දායකයි දෙනවා.
විශේෂයෙන් අනෙක් පැත්තේ ඉන්න කෙනා තමන් කැමති නැති කෙනෙක් නම් එතකොට ගොඩක් ඡන්ද දායකයෝ ඡන්ද පොළට එනවා අර කැමති නැති කෙනා ගෙදර යවන්න. මේකට කියන්නේ නිශේධනාත්මක හේතු කියල (negative influences). චන්දෙ දෙන කෙනාට ගොඩක් කැමති නැති වුනත් ‘සතුරා’ ගෙදර යවන්න සතුරාගේ සතුරාට ඡන්දය දෙනවා.

ඉතින් මේ කොන්සවෙටිව් හේතු අතර තියන තවත් දෙයක් තමයි පුද්ගලයෙක් හැටියට යම් අපේක්ෂකයෙක් දක්වන දක්ෂතාව (competence) ඡන්ද දායකයින් අගය කිරීම. වෘත්තිය කුශලතාව වගේම පුද්ගලික ජීවිතයේ සාර්ථක බව. ඒවා වැදගත් ඡන්ද උත්තේජකයන් (voting stimulation) වනවා. පුද්ගල ජීවිතය සාර්ථක කර ගත්ත කෙනෙක් ට (personal success) තමයි දේශපාලනය උනත් සාර්ථක කර ගන්න පුළුවන් කියල ඡන්ද දායකයෝ සිතනවා.

අවිඥානික මෙවලම්

මිනිස්සුන්ට තමන්ගේ අපේක්ෂකයාගේ හිත අස්සට රිංගල ඇත්තම ඇත්ත හොයන්න බැරි නිසා ඔවුන් පාවිච්චි කරන්න පෙළඹෙනවා මානසික කෙටි මාර්ග (psychological short-cuts). ඉතින් හිත මනින්නේ මුහුණින්. මූණෙන් හිත පරාවර්තනය වෙනවා කියනවා නේ. මිනිස් ඥානය සම්බන්ද පර්යේෂණ වලින් (cognitive research) කියවෙන්නේ පැහැපත්, ප්‍රියමනාප, සිනහමුසු අපේක්ෂකයින් වැඩි වාසි අත්කර ගන්නවා කියල.
කොහොම උනත් වගකීම් සහිත ඡන්ද දායකයින් (responsible voters) ගොඩක් දුර බලල තමයි ඡන්දෙ දෙන්නේ. නමුත් එහෙම අය ඉන්නේ සුළු වශයෙන් නිසා බහුතරයට කතා කරන්න අර අවිඥානික මෙවලම් (unconscious tools) අපේක්ෂකයින් ට පාවිච්චි කරන්න වෙනවා.

ඡන්දය කියන්නෙම ආත්මමූලික (subjective) දෙයක්

බිය ඇවිස්සීම (fear) වගේම කුමන්ත්‍රණ න්‍යාය (conspiracy theory) වුනත් යම් යම් තීරණාත්මක බලපෑම් කරපු අවස්ථා මැතිවරණ ඉතිහාසයේ තියනවා. යම් සතුරෙක් විසින් අපේ ජීවිතය අසමතුලිත කරන්න නියමිත බව වගේ දෙයක් උනත් යම් දෙන ලද අවස්ථාවක නැගල යන්න පුළුවන්. ඊට අදාල කටකතා (gossips) උනත් යම් බලපෑමක් කරන්න පුළුවන්. ‘අහවලා නම් සිංහල ජාතිය පාවා දෙන්නේ නැහැ’ වගේ ද්‍රෝහී නොවීම ඇතැම් අවස්ථාවල වැදගත් සාධකයක් වී තිබෙනවා.
කෙසේ උනත් වැදගත් ම කරුණ නම් අපේක්ෂකයෝ කියන දේ සහ ඡන්ද දායකයෝ දෙන ඡන්දය අතර එකට එකේ සබුද්ධික සම්බන්දයක් ගොඩනැගුණු අවස්තා තියෙන්නේ මැතිවරණ ඉතිහාසයේ ගොඩක් අඩුවෙන් කියන එක. ඡන්දය කියන්නෙම ආත්මමූලික (subjective) දෙයක්. ඉතින් ඡන්දයේ තියන ආත්මමුලික ගතිය සම්පුර්ණයෙන් සබුද්ධික කරන්න ගියොත් ඒකෙ තියෙන අර පුරෝකතනය කරන්න බැරි ‘මහ නිකම් අමුතු ගතිය’ (නොසිතූ කම්පනයක් ගෙන දීම) නැතිවෙලා යන්න පුළුවන් කියල මට හිතෙනවා.
ඒ නිසා ඔයාලට කැමති විදියට ඡන්දෙ දාන්න. ගොඩක් හිතන්න යන්න එපා.
-මහේෂ් හපුගොඩ

Leave A Reply

Your email address will not be published.

15 + 12 =