පාර්ලිමේන්තුවට අවශ්‍ය නඩු නැති, භය නැති අවංක පිරිසක්

ජාතික ජන බලවේගයේ රත්නපුර කණ්ඩායම් නායක ශාන්ත පද්මකුමාර සුභසිංහ

■    කොවිඞ් 19 වසංගතය පැතිරී යාම මෙන්ම මැතිවරණ ක්‍රියාවලියත් වේගවත්  වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට තිබෙන දේශපාලන පැහැදිලි කිරීම කුමක් ද?

මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වී තිබෙනවා. මැතිවරණයක දී දේශපාලන පක්‍ෂවලට සහ අපේක්‍ෂකයන්ට තම පක්‍ෂයේ වැඩපිළිවෙළ හා ප්‍රතිපත්ති ජනතාවට සම්ප්‍රේක්‍ෂණය කිරීමට සිදු වෙනවා. ඒ සමඟ ම ජනතාව හමුවට යාම, පත්‍රිකා බෙදීම, ජන හමු පැවැත්වීම යනාදිය මඟින් අපට ජනතාවට කරුණු පැහැදිලි කර දීමට අවශ්‍යයි. කොවිඞ් දහනවය ප්‍රශ්නය නැවත වර්ධනය වීමත් සමඟ මේ ජන හමු පැවැත්වීමට එය බාධාවක් වී තිබෙනවා. මැතිවරණ ව්‍යාපාරයක දී එයට ඉදිරිපත් වන කණ්ඩායම්වලට එම මැතිවරණ කටයුතු සඳහා සම අවස්ථා තිබිය යුතුයි. අප වැනි දේශපාලන පක්‍ෂවලට මූල්‍යමය හැකියාව ඉතා අඩුයි. අපේ මතය, ප්‍රතිපත්ති ජනතාව හමුවට ගෙන යාමට සිදු වන්නේ ගෙන් ගෙට යාම, පත්‍රිකා බෙදීම, ජනතාව අභිමුවට ගොස් ඔවුන් ඇමතීම ආදිය මඟිනුයි. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවලින් ද අපට ලැබෙන ඉඩකඩ බොහෝ අඩුයි.

මැතිවරණ ක්‍රියාවලියේ දී කොවිඞ් වසංගත තත්ත්වය පැවැතීම ඉතාමත් අනතුරුදායකයි. හේතුව රබර් බෝලයක් දිය යට දමා තද කරගෙන සිටිනවා සේ ආණ්ඩුව මෙහි සැබෑ බරපතළ තත්ත්වය වසන් කරගෙන සිටීම අතිභයානකයි. තැනින් තැන රෝගීන් මතු වෙමින්, මෙම රෝගය නැවත සමාජගත වී ඇත්තේත්, ආණ්ඩුවේ මේ අදූර්දර්ශී ක්‍රියාමාර්ග නිසයි.

■   මේ හේතු නිසා නැවත මැතිවරණය කල් දැමීමට සිදු වේවි ද?

ආණ්ඩුව පැත්තෙන් උත්සාහ කරන්නේ ම මාධ්‍ය තුළ යම් වාරණයක් කරගෙන කොවිඞ් වසංගත තත්ත්වය පවතිද් දී ම එහි සැබෑ තත්ත්වය රටේ ජනතාවට නොකියා ඔවුන්ගේ පාර්ලිමේන්තු බලය තහවුරු කර ගැනීම සඳහා ඉක්මනින් මැතිවරණය පැවැත්වීමයි.

■   මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ තත්ත්වය කොහොම ද?

රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව දසලක්‍ෂ අසූඅට දාහක් ඉන්නවා. එයින් අටලක්‍ෂ හැත්තෑහත් දාහක් ඡන්දදායකයන්. ඔවුන්ගේ ජන ජීවිතය ඉතා දුඃඛිතයි. ඉන් ගම්‍ය වන්නේ මේ දිස්ත්‍රික්කයේ අවුරුදු හැත්තෑදෙකක් තිස්සේ මන්ත්‍රීකම්, ඇමතිකම් දැරූ අය මේ දිස්ත්‍රික්කයට, ඡන්දදායකයාට ඉටු විය යුතු යුතුකම් ඉටු නොකිරීමයි. රත්නපුරයේ ආසන අටේ ම මැණික් තිබෙනවා. නමුත්, එම කර්මාන්තයේ යෙදෙන කම්කරුවන්ගේ ජීවිත ඒවායින් ආලෝකවත් වී නැහැ.

අනෙක් අතින් ලංකාව පුරා සිටින කුඩා තේ වතු හිමියන් ලක්‍ෂ පහෙන් එක්ලක්‍ෂ දෙදාහක් ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේයි. රුපියලේ අගය අවම වීමත් සමඟ මැයි මාසයේ අමු දලු මිලේ වැඩි වීමක් සිදු වුණා. දලු කිලෝවක් එකසිය විසිහත, එකසිය තිස්තුන දක්වා ඉහළ ගියා. නමුත්, ජුනි මාසයේ අමු දලු කිලෝවකට ලැබුණේ රුපියල් අනූවත්. සීයත් අතර මිලකුයි. අපි ඒ ගැන ෆැක්ටරි හිමියන් සමඟ කතා කළා. ඔවුන් කියන්නේ, තේ මණ්ඩලයට ආණ්ඩුව කියා ඇත්තේ, රුපියල් සීයට වැඩි මුදල ආණ්ඩුවට ලබා දී සියයට අඩු මිලක් කුඩා තේ වතු හිමියන්ට ගෙවන ලෙසටයි. අමු දලු කිලෝවක මිල පහත වැටී ඇත්තේ, ඒ නිසයි.

අනෙක රනිල් – මෛත්‍රී යුගයේ ජාවාරම්කරුවන් වියට්නාමය වැනි රටවලින් බාල ගම්මිරිස් ගෙන්වා කලවම් කොට අපනයනය කිරීමෙන් අපේ ගම්මිරිස්වල ප්‍රමිතිය අඩු වී මිල පහළ වැටුණා. ගෝඨාභය මහතා ජනාධිපති වුවහොත්, මේ ප්‍රතිඅපනයනය නතර කොට ගුණාත්මක බවින් වැඩි අපේ ගම්මිරිස්වලට හොඳ මිලක් ලබා දීමට පොරොන්දු වුණා. නමුත්, ඒ පොරොන්දුව ඉටු වූයේ නැහැ. ගම්මිරිස් මිල තිබුණාටත් වඩා අඩු වෙලා. ඒ වාගේ ම වැටුප් කමිටු නිර්දේශවලට කැබිනට් අනුමැතිය ලැබී, මහා භාණ්ඩාගාර අනුමැතිය ලැබී තිබූ රජයේ සේවක වැටුප් වැඩි කිරීම සිදු කළේ නැහැ. විශ්‍රාම වැටුප් වැඩි කළේ නැහැ. ඒ වෙනුවට කළේ නිලධාරීන්ට වැඩි කර තිබූ රුපියල් පහළොස්දහසේ වැටුපත් කපාහැරීමයි. රණවිරුවන් කියා කෑ ගැසුවාට හමුදාවේ ආහාර දීමනාවත් කප්පාදු කරලා. සුව විරුවන් කීවාට සෞඛ්‍ය සේවයේ අතිකාල දීමනා කප්පාදු කරලා. ඔවුන්ට වැටුප්, අතිකාල සඳහා තැන තැන අරගල කරන්න සිදු වෙලා.

■   රත්නපුරයේ ජාතික ජන බලවේගයට තිබෙන ඉඩකඩ කාහොමද?

අපේ රත්නපුර කණ්ඩායමේ බහුතරයක් උපාධිධාරීන් වීමත් අපට වාසිදායකයි. අපේ අපේක්ෂකයන් සියලු දෙනා නඩු නැති, භය නැති අවංක පිරිසක් බවට අපේ දාහතර දෙනා සම්බන්ධයෙන් කණ්ඩායම් නායක ලෙස මට සහතිකයක් දිය හැකියි.

■   ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් සහභාගී වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම්වල දී මහජනතාව විශාල වශයෙන් ඔවුන් වටා රැස් වෙනු අප රූපවාහිනියෙන් දකිනවා. එය කොරෝනා වර්ධනයට හේතුවක් වන්නේ නැද්ද?

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහභාගී වන රැස්වීම්වල මීටරයක තබා සෙන්ටිමීටරයකවත් පරතරයක් තබාගෙන නැති බව අප දැක්කා. ඒ නිසා ආණ්ඩුව පැන වූ තහංචි ආණ්ඩුවේ අය ම කඩාදැමුවා.

■   පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වැඩි කරන්නැයි ඔබලා කියන්නේ ඇයි ?

පාර්ලිමේන්තුවේ මූලික කාර්යය නීති සම්පාදනයයි. දෙවැන්න රටේ මූල්‍ය විනය පවත්වාගෙන යාමයි.

පසුගිය වසර පහ ඇතුළත පාර්ලිමේන්තුවේ එක වතාවක්වත් අදහස් දක්වා කතාවක් කර නැති මන්ත්‍රීවරුන් පස්දෙනෙකුත්, එක වතාවක් පමණක් අදහස් දක්වා ඇති මන්ත්‍රීවරුන් දහදෙනෙක් ඉන්නවා. ඒ දහදෙනාගෙන් දෙන්නෙක් ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේයි. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයාගේ භූමිකාව ඔවුන් ඉටු කර නැහැ.

අණපනත් පැනවීමේ දී, වාද විවාදවල දී අදහස් දැක්වීමේදී ඉතිහාසය පුරා ම අපේ මන්ත්‍රීවරුන් ඒ කාර්යභාරය හොඳින් ඉටු කර තිබෙනවා.

නියෝජනය වැඩි කිරීමේ වටිනාකම, ජයග්‍රහණය ලැබෙන්නේ ඡන්දදායකයාටයි, රටටයි. මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ ක්‍රියාදාමයට මුහුණ දිය හැකි වැඩි පිරිසක් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම ඡන්දදායකයාගේ වගකීමයි.

 

සටහන: පද්මා වේරගොඩආරච්චි

Leave A Reply

Your email address will not be published.

nineteen + nineteen =