“මූලොත්පත්ති ශක්ති පූර්ණය”

නිර්මාණාත්මක චින්තනය හරහා ගොඩනැගෙන නලින් සම්පත්ගේ තවත් රේඛාමය චිත්‍රයක් ගැන කෙටි සටහනක්.

මිනිස් ආත්මයන්වල ඇති මානසික කවුළු පියන්පත් කුමනාකාරයෙන් දිග හැරෙනවාද කියන එක ගැන විග්‍රහයක යෙදෙන්න හරිම අමාරු වැඩක්. එය එතරම්ම සංකීර්ණයි. පරිණාමවාදය කරළියට එනවත් සමගම සොබාදහම දිව්‍යමය මැවීමේ කොටසක් කියන අදහස අර්බුදයට ගිය අතර, දෙවියන්ගේ පරම ශුද්ධත්වය ගැන දාර්ශනිකයන් විසින් නැවත අර්ථකථනය කරන ලදී. මේ සමගම කලාව හා බැඳුනු සුන්දරත්වය කියන අදහස දෘෂ්ටිවාදීමය ආස්ථානයකින් විග්‍රහයක යෙදෙන්න බොහෝ නූතන චින්තකයන් මැදිහත් වූ අතර, එය දාර්ශනිකයින්ගේ ප්‍රධානතම ශාඛාවක් විය. සම්භාව්‍යය යුගය තුලින් නියෝජනය වූ සිතුවම් කලාවේ ආගමික පරමාදර්ශය වෙනුවට, ඇඳීම පමණක්ම නොව, එය සිතීමේ කලාවක් බවටද චිත්‍ර කලාව විකාශනය විය. ඒ කියන්නේ පින්සල් පහරකින් කැන්වසයක් මත මුදාහරින චිත්‍ර ශිල්පියාගේ ගැඹුරු අධ්‍යාත්මික සංකල්පනාවන්ද ඒ පිටුපස පස තිබිය යුතු බව නූතන කලා විචාරකයන් ගේ අදහසයි. සොබාදහම හා මානව රූප ප්‍රතිනිර්මාණය කළ චිත්‍ර ශිල්පීන්ට අමතරව සොබාදහම හා මානව රූප අර්ථකථනය කළ චිත්‍ර ශිල්පීන් බොහෝ දෙනෙක් අතරින් මගේ සිත්ගත් චිත්‍ර ශිල්පීන් දෙදෙනෙක් ගෙන් එක්කෙනෙක් තමයි බ්‍රිතාන්‍ය ජාතික කළු සුදු වර්ණ හරහා සොබාදහම හා මානව රූපයන්වල යතා ස්වභාවය චිත්‍රය ට නැගූ බර්නාඩ් ඊවන් BERNARD EVENS WADS සහ මිනිසා සහ ස්වභාවධර්මය අතර ඇති සබැඳියාව මනාව සිතුවමට නැගූ අධ්‍යාත්මික චිත්‍ර ශිල්පිනියක් වන ඩෝනා ඊවා DONATO EVA ZAWADZKA LESHLY කියන ශිල්පීන් දෙදෙනා.

නලින් සම්පත් ගේ මේ “මූලොත්පත්ති ශක්ති පුර්ණය” රේඛාමය චිත්‍රය ද මේ දෙදෙනාගේ සිතුවම් කලාවට සමානකමක් දැක්වුවත්, නලින් ගේ චිත්‍ර කලාව තුල මා දකින සුවිශේෂීත්වය නම් ඔහුගේ චිත්‍ර කලාව හරහා සුන්දරත්වයේ නිෂ්ක්‍රීයත්වය පරිනාමිත්වයක් කරා අපව රැගෙන යන්න ඔහුගේ සිතුවම් කලාව සමත්වීමයි. ස්වභාවධර්මය ඒ ආකාරයෙන්ම කැන්වසයක් මත සිත්තම් කළ දක්ෂ චිත්‍ර ශිල්පියෙකු තමයි ‘කරුණාසිරි විජේසිංහ’ කියන සිත්තරා. ඔහුගේ චිත්‍ර කලාව සුන්දරත්වය කියන ආස්ථානයේ සිට කෙනෙකුට රස විඳින්නට හැකි නමුත්, ඒ චිත්‍රයත් සමග තුන්වැනි මානයකට නරඹන්නාගේ මානසික සිතුවිලි පරාසය රැගෙන යන්න තරම් ප්‍රභලත්වයක් නැහැ කිව්වොත් ඔබ මා දෙස කුමනාකාරයෙන් බලයිද කියන එක මම දන්නේ නැහැ වගේම ලාංකීය සමාජයේ චිත්‍ර කලාව යනු එරික් ඉලයප්ආරච්චි කියන පරිදි සරල ගීතයකට එහායින් ගිය දෙයක් නොමැතිය කියන කාරනවටද මම එකඟ වෙමි. මාර්ටින් හෛඩගර් කියන MARTIN HEIDEGGER දාර්ශනික චින්තකයට අනුව කලාවේ මාධ්‍යය එම කලා කෘතිය හා සම්බන්ද ද්‍රව්‍යමය අංගෝපාංග වලට එහා ගිය මුලධාර්මික වශයෙන් ලෝකය සමග ඇති අපගේ සබඳතාවයැ සද්භාවවේදී ආකාරයෙන් කලා කෘතිය සමග ඇති අපගේ ආත්මය සමීප වෙනවා කියන කාරණය අප සිතා බැලිය යුතු කරුණකි.

නලින් සම්පත් ගේ චිත්‍ර කලාව තුල මා මේ ආත්මීය ගුණය දකින අතර ඔහුගේ චිත්‍ර කලාව තුල ලෝකය-තුල-පැවැත්ම BEING-IN-THE WORLD කියන සාධකයන් කදිමට විවරණය වෙනවා. ඔහුගේ මේ “මූලොත්පත්ති ශක්ති පුර්ණය කියන චිත්‍රයද ජීවිතය හා ලෝකය ගැනද, මිනිසා හා පොළොව අතර ඇති නොනැසෙන සබඳතාවය ගැනද අපට විශාල කතාවක් කියනවා. ඒ ගැඹුරු ජීවන කතාව ඔහුගේ මේ “මූලොත්පත්ති ශක්ති පුරණය” කියන චිත්‍රය හරහා කියවන්න උත්සාහ කරමු ….
-සාලිය ඉඳුරුවිතාන

Leave A Reply

Your email address will not be published.

nineteen − 10 =