නමුත් අපි නිශ්ශබ්දවම සිටියෙමු !

අවුරුදු කිහිපයකට පෙර අඟුලානේ පොලීසිය තුළ නිරායුධ අහිංසක තරුණයන් දෙදෙනෙක්ව ඝාතනය කළාහ.
අඟුලාන පමණක් ගල් ගැසුවාහ.
අපගේ ගම්වැසියකු නොවන නිසා අපි නිශ්ශබ්දව සිටියෙමු.
2010 දී ඇඹිලිපිටියේ පොලීසිය විසින් අත්තඩංගුවට ගත් පුද්ගලයකු කෲර වදහිංසාවට ලක්වී මියගියේය. අපේ සහෝදරයකු නොවන නිසා අපි නිශ්ශබ්දව සිටියෙමු.
පහුගිය මාසයේ ඇඳිරිනීති අවස්ථාවේ මහමග ගමන් කළ, අලුත්ගම මානසික රෝගයකින් පෙළෙන අවුරුදු 16 ක දරුවකුට මහ දවාලේ සියල්ලෝම ඉදිරිපිට දෑත් බැඳ පොලීසිය විසින් පහර දුන්නාහ.
ඇඳිරිනීතිය යැයි සිතා අපි නිශ්ශබ්දව සිටියෙමු.
ජුනි 5 වන දින පියාව සොයා පැමිණි ඇල්පිටියේ පොලීසිය විසින්, සිය කුඩා සොහොයුරා සමග නිවසේ තනිව සිටි අවුරුදු 14 ක දරුවකුව “ඕයි එනවා” කියා පොලීසියට කුදලාගෙන ගියාහ.
අපගේ දරුවකු නොවන නිසා අපි නිශ්ශබ්දව සිටියෙමු.
සියළු සෞඛ්‍යාරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් මීටරේ දුර සිට නිහඬ සාමකාමී විරෝධයක් කළ මිනිසුන් පොලීසියෙන් අමානුෂික ලෙස ගුටි කන විට ඔවුන් අපගේ දේශපාලන මතවාදයේ නොවන්නන් නිසා අපි නිශ්ශබ්දව සිටියෙමු.
රාජිත නිදහස් කරනු මැයෙන් කොළඹ සිදුකළ විරෝධතා වලට පොලිසිය මැදිහත් නොවෙද්දී ද අපි නිශ්ශබ්දව සිටියෙමු.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකළ රවී කරුණානායකගේ නිවසට පොලීසිය ගියාහ.
ඔහු නිවසේ නෑ යැයි කී විට ඔහුගේ දියනියන්ව පොලීසියට නොකැඳවා පොලීසිය හැරී පැමිණියාහ.
අපි නිශ්ශබ්දව සිටියෙමු.
සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්තඩංගුවට ගැනීමට රාජිත සේනාරත්නගේ නිවසට පොලීසිය ගියාහ.
ඔහු නිවසේ නොමැතියැයි කී විට චතුර සේනාරත්නව පොලීසියට නොකැඳවා හැරී පැමිණියාහ.
අපි නිශ්ශබ්දව සිටියෙමු.
බිලියන ගණනක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට CID ය රනිල් වික්‍රමසිංහගේ දෙපා මුලට ගියාහ.
පොල් ගෙඩියක හොරකමක් සම්බන්ධයෙන් ප්‍රකාශ දීමටත් අප පොලීසියට යා යුතුව තිබුණත් එය අමතක කර අපි නිශ්ශබ්දව සිටියෙමු.
තමා අලිමංකඩ දී හමුදාවේ 3000ක් ඝාතනය කළ බව ආඩම්බරෙන් කී, කරුණාට අසනීපයි කී විට පොලීසිය විමර්ශනයට මඩකලපු ගියාහ.
කරුණා පැමිණියේ තමන් කැමති දිනයක ය.
ඇඳිරිනීතියේ පාරේ ගිය මානසික රෝගී දරුවකුටත් අත්බැඳ පහර දෙන පොලීසිය දහස් ගණනක මනුශ්‍ය ඝාතනයන්ට වගකිවයුුතු ත්‍රස්තයකු ඉදිරියේ දණින් වැටෙන විට කැප්පෙටිපොළ වැනි විරුවෙකියි කියා අපි නිශ්ශබ්දව සිටියෙමු.
දහස් ගණනක් පිරිවරා සියළු සෞඛ්‍ය නියෝග කඩ කරමින් ඇඳිරිනීතිය පැනවූ දිනෙක ජීවන් තොණ්ඩමන් වාහනයක නැගී දෑත් වන වනා මිනියක් සමග මහමග යන විට ඔහුට සන්නද්ධ පොලිස් ආරක්ෂාව දෙද්දී නොදැක්කා සේ අපි නිශ්ශබ්දව සිටියෙමු.
පොහොට්ටු, යූඑන්පී, ටෙලිපෝන්, ජේවීපී, පෙරටුගාමී, ජනසෙත පෙරමුණ, සිංහල, දෙමළ, මුස්ලිම්, ආගම්, කුල බේදයකින් තොරව අපි වෙඩි කෑවෙමු. ගුටි කෑවෙමු.!
නමුත් අපි නිශ්ශබ්දවම සිටියෙමු !
සියල්ල අවසානයේදි…
පසුගිය ජූලි 10 වන දින අඟුලානේ නිරායුධ සිවිල් වැසියකුව පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළාහ.
” අඟුලානේ ගෑනියෙක් පොලීසියට ගල් ගැසුවාය..”
උන් කුඩ්ඩන් කියා අපි නිශ්ශබ්දව සිටියෙමු.
වැල්ලෙ ගෑනියෙක් කියා අපි නිශ්ශබ්දව සිටියෙමු.
ඔවුන් මා, ඔබ සොයා යම් මොහොතක පැමිණෙන විට, අප බදු ගෙවා මිලදී ගෙන දෙනු ලැබූ උණ්ඩයක් ඔබේ, මගේ, ඔබේ ආදරණීයයකුගේ පපුවක් කුඩුපට්ටම් කර කිඳාබහින මොහොතක ඔබට මෙය සිහිවේවි.
නමුත් ඊළඟ මොහොතේ පාතාලයෙක්, කුඩ්ඩෙක්, NGO කාරයෙක්,මැරයෙක්, දේශද්‍රෝහියෙකු ලෙස ලේබල් වී අපි පොළොවට පස් වී වැළලී යනු ඇත.
එදිනටත් උගත්, බුද්ධිමත් අපි නිශ්ශබ්දව සිටින්නෙමු.
එනිසා,
අඟුලානේ ගල් ගැසූ නූගත් වැල්ලේ ගෑනිට මේ ආචාරය පුද කරමි !!
– චමල් අකලංක පොල්වත්තගේ

Leave A Reply

Your email address will not be published.

11 + 13 =