ලංකා Sports කළු වෙනුවෙන් කළු සුදු ආදරය

එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම ඉදිරියේ දණ නැමුවා යැයි අප ක්‍රිකට් ඉතිහාසයේ අසා ඇත. දැක ඇත. කියවා ඇත. මේ කියන දණ නැමීමේ යෙදුමෙන් සලකුණු වන තරඟ පරාජය එසේත් නැත්නම් තරගාවලි පරාජය සුලබ එකකි. ඉන්පසු අපට නැවත දණ නැවීමක් ක්‍රිකට් ක්‍රීඩාව තුල හමුවන්නේ ස්වීප් සහ රිවර් ස්වීප් පහර හරහා ය. ඉඳ හිටක ලෝන්ග් බැරියර ක්‍රමය ට පන්දු රකින විටදී ද දණ නැමීම අප ට හමු වේ. මෙවැනි විවිධාකාර දණ නැමීම් අතරවාරයේ වෙනස් ආකාරයක, වෙනස් අරමුණක් වෙනුවෙන් දන නැවීමේ පුවතක් එංගලන්තයයෙන් අප ට හමු වේ.

කොරෝනා වයිරසය සීග්‍රයෙන් ලොව පුරා පැතිර යන මොහොතේ ඊට සමගාමීව දෙගුණ තෙගුණක වේගයෙන් ජාතිවාදී වයිරසය, ආගම්වාදී වයිරසය, වර්ණ භේද වයිරසය පැතිර යමින් පවතී. මේ තත්වය යටතේ ගෙවී ගිය මාස පහක හයක කාලය තුල දෙදහස් විස්සේ මැයි විසි පස් වන දිනය ලොව වටා හදවත් ඇති මිනිසුන් කම්පාවට පත් කරන පුවතක් පැතිර ගිය දිනයක් ය. කළු ජාතික ඇමරිකානුවෙකු වන ජෝජ් ෆ්ලොයිඩ් ගේ ගෙල සුදු ජාතික පොලිස් නිලධාරියකු ගේ දණින් විනාඩි අටක ග්‍රහණය ට ලක්ව මිය ගියේ ‘මට හුස්ම ගන්නට බැහැ’ (I can’t breathe) යනුවෙන් පවසමින් ය. සමාජ මාධ්‍ය භාවිතයේ සිට මහ පොළව තෙක් මේ සිද්ධිය වෙනුවෙන් විරෝධය පල කිරීම් තවමත් අවසන් ව නැත.

ඉදින් මේ පවතින ව්‍යසනකාරී තත්වයන් සමග සාමාන්‍ය ජන ජීවිතය අඩාල වීම සාමාන්‍ය කාරණයක් බව ට පත්ව ඇත. එවන් වාතාවරණයක් තුලදී ජාත්‍යන්තර මෙන්ම ජාතික තලයේ ක්‍රීඩාව ට ද හිමි වුයේ දිගු ගිමන් සමයක් ය. මාස හතරක පමණ කාලයක පැවති නිහැඬියාව අවසන් කරමින් නැවත ක්‍රිකට් ක්‍රීඩාවේ අඩි හැටහය පණ ගැසුවේ ජුලි අට වෙනිදා එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ඇරඹුණු ටෙස්ට් ක්‍රිකට් තරඟයත් සමග ය. තරඟය පවත් වුණේ එංගලන්තයේ සවුතම්ප්ටන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ය. කාසියේ වාසිය දිනාගත් සත්කාරක එංගලන්ත කණ්ඩායම් නායක බෙන් ස්ටොක්ස් තීරණය කලේ පළමුවෙන් පළමුවෙන් පන්දුව ට පහර දීමටයි. වර්ෂාව හා අඳුරු ආලෝකය සමග දිගින් දිගට ම තරඟ වැද අවසානයේ ක්‍රිකට් තරඟය ඇරඹීමට හැකි විය.

අඩ කවයක හැඩ ගෙන බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ඇතුළු කණ්ඩායම පළමුවෙන් ම විනාඩියක නිශ්ශබ්දතාවයකින් සිහිකර සිටියේ කොරෝනා වයිරසයෙන් මිය ගිය ලක්ෂ සංක්‍යාත මිනිසුන් ය. එමෙන්ම ඔවුහු මෑතකදී මිය ගිය බටහිර ඉන්දීය කොදෙව්වෙහි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සර් එවර්ටන් වික්ස් සිහි කිරීමට ද එය අවස්ථාවක් කර ගත්හ.
ආරම්භක සටහනේ අප සඳහන් කල විවිධ වර්ගයේ දණ නැවීම් අතර වෙනස් ආකාරයක දන නවීමේ සිදු වන්නේ එලබෙන ඊලග මොහොතේදී ය. ප්‍රේක්ෂකයන් නොමැතිව හුදකලාව පැවති ක්‍රීඩා පිටියේ හතරේ සිමාව ආසන්නයේ එංගලන්ත ක්‍රීඩකයන් ද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් ද දන නවා සිටී. ක්‍රීඩා පිටිය තුල ද එසේ ය. විනාඩියක පමණ කාලයක් දන නමා ඔවුන් තම විරෝධය පල කල සිටියේ ජෝජ් ෆ්ලොයිඩ් මරණය ඇතුළුව මේ ව්‍යවසන සමයේ පැතිර ගිය වර්ණ භේදවාදී ව්‍යසනයටයි. එමෙන්ම ඔවුහු ‘කළු ජාතින් වෙනුවෙන්’ (Black lives matter) සහය පළ කිරීම ද ඉන් සංකේතමත් කළහ. ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් දකුණතෙහි කළු අත් ආවරණයක් ද පැළද සිටියේ කළු මිනිසුන් වෙනුවෙන් ය.

විවධ කලාපයන් හි විවිධ ඉතිහාසයන් ඇත. එවැනි ඉතිහාස කතා අටෝරාසියක් අප අසා, කියවා ඉගෙන ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ ද එවැනි ඉතිහාස කතා ඇත. ඉන් එකක් නම් ක්‍රිකට් ක්‍රීඩාව එංගලන්තයේ සුදු මිනිසුන් වෙනුවෙන් නිර්මාණය වුවක් බවයි. සුදු හමෙහි ආධිපත්‍ය ලොවට කියා පෑමට සුදු මහතුන් මේ ක්‍රීඩාව ආභරණයක් ලෙස යොදා ගත් බවයි. ඒ පැවති වර්ණ භේදයට විරුද්ධව එක්ව පෙළගැසුණු බාර්බඩෝස්, ජැමෙයිකා ඇතුළු දුපත් රාශියක එකතුවක් බටහිර ඉන්දීය කොදෙව්ව ලෙස හඳුන්වයි. එවකට ඒ පැවති ආධිපත්‍ය බිඳ හෙලීම වෙනුවෙන් ඔවුන ට හැකි වුයේ පිත්තෙන් සහ පන්දුවෙන් ය. එදා කළු සහ සුදු සම වෙනුවෙන් ක්‍රීඩාමය යුද්ධයක නිරත වුනු ඔවුහු අද එකට එක්ව දණ ගසා වර්ණ භේදයට විරුද්ධව පෙනී සිටිති. ඉදින් ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි ක්‍රීඩාව නම් ආදරය යැයි කීමට තවත් උදාහරණ කුමට ද…
– පසන් සංජය සමරතුංග 

Leave A Reply

Your email address will not be published.

6 + seventeen =