කොරෝනා අවදානම- ඇත – සෞඛ්‍ය අංශ , නැත – ආරක්ෂක අංශ

රට තුළ කොවිඞ් 19 පැතිරීමේ අවදානම තවමත් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන අතර, ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ පැතිරීම පාලනය
කර ඇති බවයි. විශේෂයෙන් මහ මැතිවරණ කටයුතු නිසා කොරෝනා වෛරසය ඉස්මතු වීම පාලනය කර ගැනීම සම්බන්ධයෙන් ගැටලූවක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මේ වන විට දිවයිනේ දිස්ත‍්‍රික්ක 16කින් කොරෝනා රෝගීන් සොයාගෙන ඇති අතර, එම තත්ත්වය මත නැවත රට සුළු
කාලයකට වසා දමා රෝගීන් හා ඔවුන් සමඟ සම්බන්ධ වූ සියලූ දෙනා සොයා ගැනීමටත්, යම් සොයා ගැනීමට නොහැකි වූ රෝගියෙක් සමාජයේ සිටියහොත්, ඔහු හෝ ඇය සොයාගෙන රෝගය පලනය කළ හැකි බවටත් සෞඛ්‍ය අංශ රජයට කළ නිර්දේශයන් හි සඳහන් ය.

නමුත්, මැතිවරණය පැවැත්වීමට ඇති අවශ්‍යතාව මුල් කර ගනිමින් ආණ්ඩුව ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත්තේ රට වසා දැමීමකින් තොරව කෙසේ හෝ රෝගීන් හා ඔවුන්ගේ සමීපතමයන් සොයාගෙන රෝග ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව කොරෝනා මර්දන කාර්යසාධක බළකායේ ප‍්‍රධානී හා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යයට ප‍්‍රකාශ කළේ මේ වන විට කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇති බවයි. නමුත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ සඳහන් කළේ රෝගය පාලනයට රජයේ මැදිහත් වීම
අවම බවයි. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුගත් සමරවීර ද සඳහන් කළේ අවදානම පහව ගොස් නොමැති බැවින්, ජනතාව ප‍්‍රවේශම් විය යුතු බව ය.
කොරෝනා මර්දන තාක්ෂණ කමිටුව මාස එකහමාරකින් රැස් නොවූ බවත්, නැවත කොරෝනා ඉස්මතු වීමත් සමඟ සිය සංගමය ඒ බැව් ප‍්‍රකාශ කිරීමෙන් පසු එය රැස් වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා කීවේ ය.
මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීම දිගින්දිගටම ප‍්‍රමාද කිරීම ද ජනතාව අවදානම අත්හැරීමට හේතුවක් විය. නමුත් නැවත රෝගීන් වාර්තා වීමත්, මැතිවරණ කොමිසමේ බලපෑමත්, පොදුජන පෙරමුණේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු අවසන් අදියරට පැමිණීමත් සම`ග එම ගැසට්ටුව නිකුත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

කොරෝනා රෝගීන් සොයා ගන්නා පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියද් දී, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂණ අංශයේ පී.සී.ආර්. පරීක්ෂණ සම්බන්ධයෙන් ආණ්ඩුව ගැටලූවක් මතු කිරීම හේතුවෙන් ඔවුන් පරීක්ෂණවලින් ඉවත් විය. එම නිසා පර්යේෂණ පිළිබඳව ද මේ වන විට ගැටලූවක් මතුව තිබේ.

සෞඛ්‍ය අංශ රෝග පාලනය පිළිබඳ ගැටලූ මතු කරද් දී, ආරක්ෂක අංශ රෝග පාලනය සියතට ගෙන ඇති බව ප‍්‍රකාශ කරයි. මහ මැතිවරණය නිසා ඇඳිරි නීතිය පනවා රෝග ව්‍යාප්තිය පාලනය කරනවා වෙනුවට ආරක්ෂක අංශ යොදා ගනිමින් රෝගය පාලනය කර ඇතැය කීමත් ගැටලූසහගත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
කෙසේ නමුත්, තව දුරටත් සමාජයෙන් රෝගීන් වාර්තා වුවහොත්, මැතිවරණයට පෙර නැවත ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇතැයි ද ආණ්ඩුවේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
-ලසන්ත විරකුලසුරිය

Leave A Reply

Your email address will not be published.

5 × three =