කළු වෙනුවෙන් කළු සුදු ආදරය…

එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම ඉදිරියේ දණ නැමුවා යැයි අප ක්‍රිකට් ඉතිහාසයේ අසා ඇත. දැක ඇත. කියවා ඇත. මේ කියන දණ නැමීමේ යෙදුමෙන් සලකුණු වන තරග පරාජය එසේත් නැත්නම් තරගාවලි පරාජය සුලබ එකකි. ඉන්පසු අපට නැවත දණ නැවීමක් ක්‍රිකට් ක්‍රීඩාව තුළ හමුවන්නේ ස්වීප් සහ රිවර් ස්වීප් පහර හරහා ය. ඉඳ හිටක ලෝන්ග් බැරියර ක්‍රමයට පන්දු රකින විටදී ද දණ නැමීම අපට හමු වේ. මෙවැනි විවිධාකාර දණ නැමීම් අතරවාරයේ වෙනස් ආකාරයක, වෙනස් අරමුණක් වෙනුවෙන් දණ නැවීමේ පුවතක් එංගලන්තයෙන් අපට හමු වේ.

ක්‍රිකට් ක්‍රීඩාව එංගලන්තයේ සුදු මිනිසුන් වෙනුවෙන් නිර්මාණය වූවක් බවත්, සුදු හමෙහි ආධිපත්‍යය ලොවට කියා පෑමට සුදු මහතුන් මේ ක්‍රීඩාව ආභරණයක් ලෙස යොදා ගත් බවත් සඳහන් ය. ඒ පැවැති වර්ණභේදයට විරුද්ධව එක්ව පෙළගැසුණු බාර්බඩෝස්, ජැමෙයිකා ඇතුළු දූපත් රාජ්‍යයන් රාශියක එකතුවක් බටහිර ඉන්දීය කොදෙව්ව ලෙස හඳුන්වයි.

කොවිඞ් වෛරසය ශීඝ්‍රයෙන් ලොව පුරා පැතිර යන මොහොතේ ඊට සමගාමීව දෙගුණයක තෙගුණයක වේගයෙන් ජාතිවාදී වෛරස, ආගම්වාදී වෛරස, වර්ණෙභේද වෛරස පැතිර යමින් පවතී. මේ තත්ත්වය යටතේ ගෙවී ගිය මාස පහක හයක කාලය තුළ දෙදහස් විස්සේ මැයි විසි පස් වන දිනය ලොව වටා හදවත් ඇති මිනිසුන් කම්පාවට පත්කරන පුවතක් පැතිර ගිය දිනයක්ය. කළු ජාතික ඇමෙරිකානුවෙකු වන ජෝජ් ෆ්ලොයිඞ් ගේ ගෙල සුදු ජාතික පොලිස් නිලධාරියකුගේ දණින් විනාඩි අටක් ග්‍රහණයට ලක්ව ෆ්ලොයිඞ් මිය ගියේ ‘මට හුස්ම ගන්නට බැහැ’ (I Can’t Breathe) යනුවෙන් පවසමින් ය. සමාජ මාධ්‍ය භාවිතයේ සිට මහ පොළව තෙක් මේ සිද්ධිය වෙනුවෙන් විරෝධය පළ කිරීම් තවමත් අවසන්ව නැත.

ඉදින් මේ පවතින ව්‍යසනකාරී තත්ත්වයන් සමඟ සාමාන්‍ය ජන ජීවිතය අඩාලවීම සාමාන්‍ය කාරණයක් බවට පත්ව ඇත. එවන් වාතාවරණයක් තුළදී ජාත්‍යන්තර මෙන්ම ජාතික තලයේ ක්‍රීඩාවට ද හිමි වූයේ දිගු ගිමන් හැරීමේ සමයක්ය. මාස හතරක පමණ කාලයක් පැවති නිහැඬියාව අවසන් කරමින් නැවත ක්‍රිකට් ක්‍රීඩාවේ අඩි හැටහය පණ ගැසුවේ ජුලි අට වෙනිදා එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ඇරඹුණු ටෙස්ට් ක්‍රිකට් තරගයත් සමඟ ය. තරගය පැවත්වුණේ එංගලන්තයේ සවුත්හැම්ප්ටන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය. කාසියේ වාසිය දිනාගත් සත්කාරක එංගලන්ත කණ්ඩායමේ නායක බෙන් ස්ටොක්ස් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. වර්ෂාව හා අඳුරු ආලෝකය සමඟ දිගින් දිගටම තරග වැද අවසානයේ ක්‍රිකට් තරගය ඇරඹීමට හැකි විය.

අඩ කවයක හැඩ ගෙන බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ඇතුළු කණ්ඩායම පළමුවෙන්ම විනාඩියක නිශ්ශබ්දතාවයකින් සිහිකර සිටියේ කොවිඞ් වසංගතයෙන් මිය ගිය ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ය. එමෙන්ම ඔවුහු මෑතකදී මියගිය බටහිර ඉන්දීය කොදෙව්වෙහි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සර් එවර්ටන් වික්ස් සිහි කිරීමට ද එය අවස්ථාවක් කර ගත්හ.

ආරම්භක සටහනේ අප සඳහන් කළ විවිධ වර්ගයේ දණ නැවීම් අතර වෙනස් ආකාරයක දණ නැවීම සිදුවන්නේ ඊළඟ මොහොතේදී ය. ප්‍රේක්ෂකයන් නොමැතිව හුදකලාව පැවැති ක්‍රීඩාපිටියේ හතරේ සීමාව ආසන්නයේ එංගලන්ත ක්‍රීඩකයෝ ද, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ද දණ නවා සිටිති. ක්‍රීඩාපිටිය තුළද එසේ ය. විනාඩියක පමණ කාලයක් දණ නමා ඔවුන් තම විරෝධය පළ කර සිටියේ ජෝජ් ෆ්ලොයිඞ්ගේ මරණය ඇතුළුව මේ ව්‍යසන සමයේ පැතිර ගිය වර්ණභේදවාදී ව්‍යසනයටයි. එමෙන්ම ඔවුහු ‘කළු ජාතීන් වෙනුවෙන්’ (Black Lives Matter) සහාය පළ කිරීම ද ඉන් සංකේතවත් කළහ. ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් දකුණතෙහි කළු අත් ආවරණයක් ද පැළඳ සිටියේ කළු මිනිසුන් වෙනුවෙන් ය.

විවිධ කලාපයන් හි විවිධ ඉතිහාසයන් ඇත. එවැනි ඉතිහාස කතා අටෝරාසියක් අප අසා, කියවා ඉගෙන ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ ද එවැනි ඉතිහාස කතා ඇත. ඉන් එකක් නම් ක්‍රිකට් ක්‍රීඩාව එංගලන්තයේ සුදු මිනිසුන් වෙනුවෙන් නිර්මාණය වූවක් බවයි. සුදු හමෙහි ආධිපත්‍යය ලොවට කියා පෑමට සුදු මහතුන් මේ ක්‍රීඩාව ආභරණයක් ලෙස යොදා ගත් බවයි. ඒ පැවැති වර්ණභේදයට විරුද්ධව එක්ව පෙළගැසුණු බාර්බඩෝස්, ජැමෙයිකා ඇතුළු දූපත් රාජ්‍යයන් රාශියක එකතුවක් බටහිර ඉන්දීය කොදෙව්ව ලෙස හඳුන්වයි. එවකට ඒ පැවැති ආධිපත්‍යය බිඳහෙළීම වෙනුවෙන් ඔවුනට හැකි වූයේ පිත්තෙන් සහ පන්දුවෙන් ය. එදා කළු සහ සුදු සම වෙනුවෙන් ක්‍රීඩාමය යුද්ධයක නිරත වුණු ඔවුහු අද එකට එක්ව දණ ගසා වර්ණභේදයට විරුද්ධව පෙනී සිටිති. ඉදින් ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි, ක්‍රීඩාව නම් ආදරය යැයි කීමට තවත් උදාහරණ කුමට ද..?

පසන් සංජය සමරතුංග

Leave A Reply

Your email address will not be published.

4 × 4 =