ජෝති ජෝතිමත් කළ කරූ-සරත් සුසංයෝගය

එච්. ආර්. ජෝතිපාලගේ තිස්තුන් වැනි ගුණ සැමරුම පසුගිය 07 වැනිදාට යෙදී තිබිණි. රූපවාහිනී නාළිකා කීපයක් ම, ගුවන්විදුලි නාළිකා කීපයක් ම සහ පුවත් පත් මේ ජනප්‍රිය ගායකයා පිළිබඳ මතකාවර්ජනයන් කර තිබිණි. ඒ සියල්ල හොඳ ය. කෘතගුණ දන්නා රසික සමාජය වෙනුවෙන් කළ යුතු දේ ය. එය ඒ ආකාරයෙන් ම සිදු කෙරිණි.

එහෙත්, මහා අඩුවක් තිබුණේ ය. පොඩිපහේ අඩුවක් නොවේ ය. මේ කියන්නට යන මහා අඩුව යම් පමණකින් හෝ ස්පර්ශ කළේ ස්වාධීන රූපවාහිනියේ ‘සියපත් පොකුර’ ජෝති සැමරුම් වැඩසටහන පමණ ය. එහි පූරකයා වශයෙන් කටයුතු කළ ඉන්ද්‍රසිරි සුරවීර මේ පිළිබඳව මතු කළේ ය. එහෙත්, සම්පත්දායකයන් එය එතැනින් ඉදිරියට අවශ්‍ය ප්‍රමාණයට ගෙන ගියේ නැත. මේ කියන්නේ මොකක් ද? එච්. ආර්. ජෝතිපාල – සරත් දසනායක – කරුණාරත්න අබේසේකර සුසංයෝගය පිළිබඳව ය.

කොහොමටත් ධනපති ක්‍රමය සුසංයෝගයන් හඳුනන්නේ නැත. ශ්‍රමවිභජනයේ කුලිය ගෙවීමට අදාළ තත්ත්වය පමණක් හඳුනන්නේ ය. නිර්මාණ වැනි කටයුතුවල දී, නව සොයාගැනීම් වැනි දේවල දී ‘බුද්ධිමය දේපළ’ යනුවෙන් ගරු ගාම්භීරව හඳුන්වන දේ පමණක් දන්නේ ය. මේ ක්‍රමයට අනුව “සියල්ල පුද්ගල මනෝභාවය තුළ ඥාන මණ්ඩලය තුළ ඕපපාතිකව පහළ වන්නේ ය.” තව දුරටත් ඉදිරියට ගොස් ඊට යොදන වචනයක් ද තිබේ. එසේ ඕපපාතිකව පහළ වීම ‘වාසනා ගුණය’ වන්නේ ය. ‘පුද්ගලයන්ගේ වාසනාව’ මත සිදු වන්නේ ය. ධනවාදී ශ්‍රම විභජනය සන්තර්පණය කරන විඥානවාදී සංකල්පවලට පදනම මෙය ය.

අපේ ප්‍රධාන තේමාවට ආවොත්, ජෝතිපාල නම් ජනප්‍රිය ගීතයේ බලකනුව යනු ජෝතිපාල පමණක් නොවේ ය. ජනප්‍රිය ගීතයේ බලකනුවක් වීමට එච්. ආර්. ජෝතිපාල සුවිශේෂී සාධකයක් වූවා පමණ ය. තව දුරටත් කූටප්‍රාප්තියට ගෙන එන්නේ නම්, එච්. ආර්. ජෝතිපාල ජනප්‍රිය සංස්කෘතියේ සුවිශේෂී පැතිකඩක් වූ බව කීම වඩාත් නිවැරදි ය.

‘ජනප්‍රිය සංස්කෘතිය’ මෙන්න මෙය හරියට තේරුම්ගෙන ජෝතිපාල ඊට දැක් වූ හැරවුම් ලක්ෂ්‍යය කියවා ගත යුතු ය. එම ගැනීමේ අත්හළ නොහැකි අතිශය ප්‍රබල සාධකයක් සේ ජෝතිපාල – සරත් දසනායක සුසංයෝගය විශේෂයෙන් හමුවේ. ඒ පමණක් ද? නැත. ජෝතිපාල – කරුණාරත්න අබේසේකර සුසංයෝගය තවත් පැත්තකින් සුවිශේෂීව හමු වේ.

මෙය මෙසේ වූයේ කවරාකාරයෙන් දැයි කියවා ගැනීමට මුලපිරීමේ සටහනක් පමණි මෙය.

එච්. ආර්. ජෝතිපාල පිළිබඳ වචනයක් හෝ කතා කරන තැනක කරුණාරත්න අබේසේකර සහ සරත් දසනායක අත්හැරිය නොහැකි ය. ජෝතිපාල ජනප්‍රිය ගීත සංස්කෘතියේ බලකණුව නම්, එය නිමැවී තිබෙන්නේ මෙම ත්‍රිමූර්තියේ ප්‍රකාශනයක් වශයෙන් ය. ධනවාදී සමාජයේ බුද්ධිමය දේපොළ බෙදීම තවත් එක් ශ්‍රම විභජන ආකාරයක් ය.

ජෝතිපාල මිය ගොස් වසර තිස්තුනකට පසුවත් මෙරට ගීතලෝලීන් අතර ජනප්‍රිය ම ගායකයා ඔහු බව අවිවාදිත ය. එහෙයින් ම ජනප්‍රිය සංස්කෘතික බලකණුවක් වී සිටින්නේ ය. ජනප්‍රිය යනු බොහෝ ජනයා අතර ‘හෘදය සංවේදී වීම’ වශයෙන් ගත හැකි ය. දුප්පත්, පොහොසත් භේදයක් නැතිව උගත්, නූගත් භේදයක් නැතිව ඉහළ රසිකත්වයක්, පහළ රසිකත්වයක් ආදී භේදයක් නැතිව සියලු ම දෙනාගේ හෘදය සංවේදී වීමේ ගුණය නැතිනම්, හැකියාව ‘ජනප්‍රිය’ යන්නෙන් ගත හැකි ය.

සංස්කෘතිය යන්න තේරුම් ගන්නේ කොහොම ද? විවිධ නිර්වචන තිබෙන්නේ ය. ඒ සියල්ල අතුරින් ලියුම්කරුට අනුව නම්, ‘මිනිහා විසින් නිර්මාණය කරන ලද භෞතික සහ භාවමය වූ සියල්ලේ සුසංයෝගය’ සංස්කෘතිය වේ. භෞතික යන්නෙන් වැව්, දාගැබ්, වෛද්‍ය උපකරණ, ඖෂධවල සිට වයලීනය, බටනළාව ආදී වූ සියල්ල ය. භාවමය යන්නට ඥාන මණ්ඩලය, සංවේදීත්වය, රසවින්දනය, දැනීම් හැඟීම් සියල්ල ය. මෙන්න මෙතන දී අපට ජෝතිපාල හමුවීමේ උදාතරුව දැකිය හැකි ය. ඒ හැඟීම් යන්න ය. ජෝතිපාල නම් සුවිශේෂී සාධකය හමු වන්නේ මිනිහාගේ භාවමය අවකාශයේ දී ය. හරියට කියන්නේ නම්, සිංහල භාෂාව භාවිත කරන මිනිසුන්ගේ, තවත් කියන්නේ නම්, සිංහල ගීත ශ්‍රාවක රසිකයන් මත ජෝතිපාල ස්ථානගත වේ. ඒ ඔවුන්ගේ ‘හැඟීම්’ ස්පර්ශ කිරීමේ සුවිශේෂී ගුණයක් ජෝති සතු වූ නිසා ය. ‘හැඟීම් ගායනා කිරීම’ යනුවෙන් ප්‍රාමාණික වියතුන් මේ ගුණය හැඳින්වී ය.

‘සිරියමේ සාරා’ ගීතයෙන් අපූරු ගැඹුරු අනන්‍ය කටහඬක නොඉඳුල් කම්පනයක් සිංහල ගීත රසිකයන් තුළ ඇති කිරීමේ සමත්කම් දැක් වී තිබිණි. එච්. ආර්. ජෝතිපාල ආගමනය එය ය. එක් ගීතයක් හෝ දෙක තුනක් ජනප්‍රිය වී එපමණක් ම වී මැකී ගිය කී දෙනෙක් නම්, සිංහල ගායක, ගායිකාවන් අතර සිටිති ද? නමුත්, එච්. ආර්. ජෝතිපාලට එසේ නොවී ය. ඔහුගේ හඬින් හැඟීම් ගායනයට පදවැල් ගෙතුණේ ය. එම හැඟීම් උත්පාදනය කර දීමේ සුවිශාල කාර්යයක් ඉටු කරන ලද්දේ කරුණාරත්න අබේසේකර ශූරීන් ය. ජෝතිපාල ජනප්‍රිය ගායකයකු වූයේ හැඟීම් ගායනා කිරීම නිසා ය. ඒ හැඟීම් පෙළගස්වා දුන් පුරෝගාමීම කෙනා කරුණාරත්ත අබේසේකර ය. ජෝතිපාල – කරුණාරත්න අබේසේකර සුසංයෝගය ඉහළින් ම පැවතියේ ය.

ජෝතිපාල පිළිබඳව කතා කරන ඕනෑම අවස්ථාවක එක හා සමාන බර තැබීමකින් කරුණාරත්න අබේසේකර අතිශය මූලික ය. ඒ ජෝතිපාලත්, කරුණාරත්න අබේසේකරත් නිමැ වූ ස්වතන්ත්‍ර නොවූ ගී තනු සකස් කර දීමේ කාර්යභාරය නිසා ය. එම්. කේ. රොක්සාමි, ටී. එෆ්. ලතීෆ්, පී. එල්. ඒ. සෝමපාල වැන්නන් ස්වතන්ත්‍ර නොවූ තනු ජෝතිපාල වෙනුවෙන් මෙහෙයවී ය. ජෝතිපාල – කරුණාරත්න අබේසේකර සුසංයෝගය ස්වතන්ත්‍ර හෝ වේවා, ස්වතන්ත්‍ර නොවූ හෝ වේවා අතිශය ජනප්‍රිය ගීත සුවිශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇත්තේ ය. සාමාන්‍යයෙන් කියවෙන්නේ කරුණාරත්න අබේසේකර චිත්‍රපට ගීත දෙදහසක් පමණ ලියා ඇති බව ය. එයින් සංඛ්‍යාත්මකව වැඩි ම ගීත එච්. ආර්. ජෝතිපාල තනිව ම ගැයූ ගී හෝ යුග ගී වශයෙන් තිබෙන්නේ ය.

“සල් සපු නා නිල් මහනෙල්

කුමුදු සමන් මල් අතරේ

කිඩාරම් මලේ පවා සුවඳ

දිගහැරේ….”

“අමර පෙම් ලතාවේ – රන්මලක් උදා වේ…”

“මේ ගී කාට දැයි ඔබ දන්නවා ඇතී…

සිත මගේ පිදූ හැටී සිහි වේ නොනැවැතී…”

“ටජ් මහලක් තනවන්න නෑ මට

ඔබෙ සෙනෙහසට හිමී…”

“රන් මසුරන් කිරිගරුඬ තලාවක”

ආදී ජනප්‍රිය බොහෝ ගීත පවති, මේ ගීත ජනප්‍රියත්වයේ හිණිපෙත්තට යන විට ඇතැම් වංචනිකයෝ ලේබලයක් ගැසූහ. ඒ ‘පිච්චර් ගීත’ යනුවෙන් ය. මෙම මිනුම් දණ්ඩ කවරක් දැයි අද වන තුරුත් හෙළිවී නැත. කෙසේ වෙතත්. එක දෙයක් පැහැදිලි ය. කුමක් ද? මෙම පන්ති සමාජයේ දූවිලි පතුලේ සිටින මිනිසුන්ගේ මුවඟ මෙම ගීත රැඳී තිබීම ය. බීඩි කොටයක් ගහගෙන පපුව ඉස්සරහට දා ගත්, ‘අම්මා බුදු වේවා’, ‘හිත හොඳ චණ්ඩියා’ ආදී නොයෙක් වැකි පච්ච කෙටූ පපුවලින් යුක්ත නිතර ම සියොළඟ දහදියෙන් තෙත්ව තිබෙන මිනිසුන්ගේ ගීත බවට මේ හැඟීම් ගායනා පත්ව තිබූ නිසා බව පැහැදිලි ය. මේ පිල ‘පීච්චං’ වන විට අනෙක් පැත්තෙන් පිහිටුවා ඇත්තේ, ‘ප්‍රබුද්ධ’ පිලක් ය. එය ඩබ්ලිව්. ඩී. අමරදේව කේන්ද්‍රගත කොට ප්‍රබන්ධ කරනු ලැබී ය. හැබැයි, ප්‍රබන්ධිත පීච්චං පිලේ ජනප්‍රිය ගායකයකුගේ (මිල්ටන් පෙරේරා වැනි තවත් අය මේ පිලට එක් කර තිබිණි. ජෝති කසකරුවා ය.) ගීත හොරෙන් රසවිඳින පිරිසක් සිටියහ.

මේ අතර අවධාරණය කළ යුත්තක් තිබේ. ප්‍රබුද්ධ පිල යැයි ප්‍රබන්ධිතයේ කේන්ද්‍රය ඩබ්ලිව්. ඩී. අමරදේව වන විට ‘තරංගා’ චිත්‍රපටයේ අමරදේවගේ සංගීතයට එච්. ආර්. ජෝතිපාල ගීත ගැයූ බව ය. තම සංගීතයට එතරම් විශිෂ්ට ආකාරයෙන් ජෝතිපාලට ගීත ගායනා කළ හැකි වීම පිළිබඳව අමරදේව මාස්ටර් අතිශය සතුටට පත් වී අගය කළ බව කියවේ. එච්. ආර්. ජෝතිපාල සමඟ ශ්‍රීමතී තිලකරත්න ගායනා කළ ගීතයයි ඒ.

“කන්දෙන් කන්දට – ලන්දෙන් ලන්දට

මල් මුව රද රස විසිරී යනවා

රංචු ගැසීලා පියා සලාලා…”

එපමණක් නොවේ. ප්‍රේමසිරි කේමදාස මාස්ටර් ජෝතිපාලට දී තිබෙන ගෞරව සම්මානය අන් කිසිදු ගායකයකුට ඔහු නොදුන් එකක් ය. “ස්ක්‍රීන් වොයිස් එකක් තියෙන්නේ ජෝතිපාලට…” යනුවෙන් ය ඒ. අමරදේව, කේමදාස පතාක යෝධයන් දෙදෙනා ම එච්. ආර්. ජෝතිපාල අගය කරද්දී, පැත්තක සිටින පිරිසක් ‘පීච්චං’ මනෝවිකාරයක පැටළී සිටීම තේරුම් ගත  යුත්තේ කෙසේ දැයි ප්‍රශ්නයකි. කුමන ගෙරවුම් පැමිණිය ද, ජෝතිපාලගේ මිනිස් හැඟීම් ගායනයට වැට බැඳීමේ හැකියාවක් නොවී ය. ඒ ගායනා කරන්නේ මවුගුණ ගීයක් ද? එය රසවිඳින පුතා මව ළඟ ය. ඒ ගායනා කරන්නේ ප්‍රේමයේ ප්‍රහර්ෂය ද? ඒ ප්‍රේමවන්තයා ප්‍රේමය විඳින්නේ ය. ඒ ගායනා කරන්නේ විරහ ගීතයක් ද? ඒ විරහ වේදනාවෙන් පෙළෙන්නාගේ වේදනාව ඒ තුළ ය. හැඟීම් ගායනය නම්, එය ය.

දැන් අපට විශේෂයෙන් අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ එච්. ආර්. ජෝතිපාල – සරත් දසනායක සුසංයෝගය ගැන ය. ස්වතන්ත්‍ර නොවූ ගීත තනුවලට කරුණාරත්න අබේසේකර මුල සිට ද, ධර්මසිරි ගමගේ, බණ්ඩාර කේ. විජේතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් ආදී ගීත රචක යෝධයන්ගේ සාහිත්‍ය සාහිත්‍යමය පද සංවේදීත්වයන් ලැබිණි. මෙම සාහිත්‍යමය සංවේදීත්වයන් හැඟීම් ගායනා ලෙස අදටත් ජනප්‍රිය ගීත සංස්කෘතියේ පවති. එහි කූටප්‍රාප්තියට ගෙන ගියේ සරත් දසනායක බව කීම අතිශය යථාර්ථයක් වේ. ජෝතිපාල ජනප්‍රිය ගායකයකු වූ බව සැබෑ ය. එහෙත්, ඔහු ජනතාවගේ හදවත් අරා ලැඟුම් ගත් හැඟීම් මහෝඝයක් බවට උදුල ස්ථානයකට ගෙන යන ලද්දේ සරත් දසනායක ශූරීන් ය. මිය ගිය එහෙත්, අදත් ජීවමාන ජෝතිට අදත් පණ දෙන්නේ සරත් දසනායකගේ මධුර, මනෝරම්‍ය ගී තනු ය.

“හද විමන් දොරින් එන පැතුම් පවන්

විහිද යයි ගලා…”

“අමර පෙම් ලතාවේ – රන් මලක් උදා වේ”

“සරා සඳේ සිනා සේ මල් ගිලිහී වැටිලා…”

“ලෝකයේ වෙනස් වුණේ මිනිහ දෝ දෙවිය දෝ…”

“ඉර හඳ වැඳලා – නෙත් දෙක ඇරලා”

මේ ආදී ගීත ගොන්නක් සරත් දසනායක – එච්. ආර්. ජෝතිපාල සුසංයෝගයෙන් නිර්මාණය වී තිබේ. එදා ජෝතිපාල වෙනුවෙන් බොරැල්ල කනත්තට රැස් වූ ලක්ෂ සංඛ්‍යාත රසිකයන්ගේ ඇඟපුරා දිව ගියේ සරත් දසනායකගේ ගී තනු ය. ජෝතිපාල ශාරීරිකව මිය ගොස් තිස්තුන් වසක් ගෙවී ගිය ද, අදත් ඔහු ‘ජීවමාන ජෝති’ වී සිටින්නේ සරත් දසනායකගේ ගී තනු නිසා බව කීම අතිශයෝක්තියක් නොවේ. කේමදාස මාස්ටර් සූත්‍රගත කළ ‘ස්ක්‍රීන් වොයිස්’ එක ජෝතිපාල වෙනුවෙන් කේමදාස මාස්ටර්ටත් වඩා අතිශය හෘදයාංගම ගුණයකින් අත්පත් කර දිය හැකි වූයේ සරත් දසනායකට බව පැහැදිලි ය. කේමදාස මාස්ටර් පවා ඒ දෙදෙනාගේ සුසංයෝගයට ඒ අගැයීම ලබා දෙනවා නො අනුමාන ය.

ජෝතිපාල මිය යාමෙන් පසුව ආචාර්ය සරත් අමුණුගම ලියූ ‘සංස්කෘතික බලකණුවක් ඇදවැටීම’ පිළිබඳ ලිපිය තුළින් දෙබරයට ගල් ගැසුවාක් වැනි තත්ත්වයක් එදා ඇති වූ බව සඳහන් ය. මේ බලකණුව හුදෙක් ඕපපාතිකව පැනනැඟුණක් නොවී ය. කරුණාරත්න අබේසේකර – සරත් දසනායක සුසංයෝගයෙන් ඉදිකෙරුණු බලකණුවක් ය. හරියට ම කියන්නේ නම්, එච්. ආර්. ජෝතිපාල, කරුණාරත්න අබේසේකර සහ සරත් දසනායක ත්‍රිමූර්තියේ බලකණුවක් ය. එහි ප්‍රකාශක දර්ශකය ජෝතිපාල බව සැබෑ ය. අහසට පැනනැඟි සහෘදයාට පෙනුණේ ජෝතිපාල බව සැබෑ ය. ඒ ජෝතිපාල බිහි වීමේ ලේ සහ මස් කරුණාරත්න අබේසේකර සහ සරත් දසනායක ය.

මේ නිසා එච්. ආර්. ජෝතිපාල පිළිබඳ වචනයක් හෝ කතා කරන තැනක කරුණාරත්න අබේසේකර සහ සරත් දසනායක අත්හැරිය නොහැකි ය. ජෝතිපාල ජනප්‍රිය ගීත සංස්කෘතියේ බලකණුව නම්, එය නිමැවී තිබෙන්නේ මෙම ත්‍රිමූර්තියේ ප්‍රකාශනයක් වශයෙන් ය. ධනවාදී සමාජයේ බුද්ධිමය දේපොළ බෙදීම තවත් එක් ශ්‍රම විභජන ආකාරයක් ය. එහෙත්, සියල්ල එකිනෙකා හා බැඳී තිබෙන ධාරාවන්ය.

මේ හැම දේ ම අතර ජෝතිපාල අභාවයෙන් වසර තිස්තුනකට පසුව වේදනාකාරී උදා තරු ලකුණක් තිබේ. ජෝතිපාල කෙනෙක්, කරුණාරත්න අබේසේකර කෙනෙක් පැමිණෙන තුරු දසනායක කෙනෙක් නිසොල්මනේ බලා සිටීම ය. ජෝතිපාල මිය යන විට ආදේශකයෙක් නොවී ය. කරුණාරත්න අබේසේකර මිය යන විට ආදේශකයෙක් නොවී ය. සරත් දසනායක මිය යන විට ද එසේ ම ය. එහෙත්, සරත් දසනායකගේ මරණින් මතු ආදේශකයක් නිර්මාණය වී ය. අතිදක්ෂ තනු රචකයෙක් ලෙස රංග දසනායක බිහි වීම ය. ඔහු අද පාළු හුදෙකලාවේ සිටී. ජෝති හෝ කරූ හෝ නැත.

සියල්ල සමඟ ජනප්‍රිය ගීතය නව අරුත් සහිතව මිනිස් හැඟීම් ගායනා කරමින්, හෘදයාංගමව විඳීමට සුදුසු ම වටාපිටාව නිර්මාණය වී ඇත. වෙන කවරකු හෝ නව පරපුරේ සංගීත නිර්මාණකරුවන්ට ළං විය නොහැකි ලොකු හිස්තැනක් පවතී. රංග දසනායකට ජෝතිපාල කෙනකු සහ කරුණාරත්න අබේසේකර කෙනකු හමු වීමේ දැඩි අවකාශමය රික්තයක් පවතී.

ප්‍රියදර්ශන දයාරත්න

Leave A Reply

Your email address will not be published.

3 − one =