‘ඇත්ත’ කලාකරුවෝ!

ඇත්ත කලාකරුවෝ සහ බොරු කලාකරුවෝ කියලා ලෝකයේ කලාකරුවන් වර්ග දෙකක් කවදාවත් හිටියේ නැහැ. වඩා යථාර්ථවාදී ව කල්පනා කළොත් හිටියේ මනුෂ්‍ය කලාකරුවෝ යි. ශේක්ෂ්පියර්ගේ ඉදන් සරච්චන්ද්‍ර දක්වා මහා ශ්‍රේෂ්ඨ කලාකරුවන් කියලා හමුවන සියලුම දෙනා තුල අඩු වැඩි වශයෙන් ප්‍රතිවිරෝධතා සහ පුද්ගල භාවිතාවන් වල විවිධ දූෂණ වංචා හමු වෙනවා. එහෙත් කෘතිය වඩාත් සාර්ථක වෙන විට ඒකී අජූව පැත්ත වැහිලා යනවා , එහෙම නැත්නම් මිනිස්සු ඒ ගැන වැඩිය කතා කරන්නැතුව ඉන්නවා. කෘති වඩාත් අසාර්ථක වෙනකොට, සම්මත අර්ථයෙන් වඩාත් වාණිජවාදී ලක්ෂණ පෙන්වන කොට හෝ ජනතාව පැත්ත නොගෙන රජයට වඩාත් පක්ෂග්‍රාහී වෙනකොට ඒ කලාකරුවන්ගේ අර අජූව පැත්ත මිනිසුන් විවෘතව බය නැතුව කතා කරනවා. වෙනස ඔච්චරයි. එක් පැත්තකින් වාමවාදී ලක්ෂණ පෙන්වමින් ජනතාවගේ සහයෝගය ද ලබමින් අනිත් පැත්තෙන් යටින් රජයට ද සහයෝගය දෙමින් රජයේ සහයෝගය ද ලබන තක්කඩි දෙබිඩි කලාකරුවන් රැසක් ද බිහි වුණේ මේ නිසයි.

නමුත් ජාතික ජන බලවේගය හරහා මෙවර ඡන්ද අපේක්ෂකයින් ලෙසට එන කලාකරුවන් ඇත්ත කලාකරුවන් ලෙස හැඳින්වීම තේරුම් ගන්න ඒ තරම් අමාරු නැහැ. ඒ සන්දර්භයට අනුව, මට හිතෙන හැටියට, ඔවුන් අදහස් කරන්නේ අර මින්පෙර දේශපාලනය කරන්න ගිය කලාකරුවන් දේශපාලනයේදී කරපු වංචා, දූෂණ සහ පාවාදීම් මොවුන් කරන්නේ නෑ කියන එකයි. එතනදි ‘ඇත්ත ‘ අර්ථකථනය වෙන්නේ ඒ විදිහටයි. එතනදි ඇත්ත තේරුම් ගත යුත්තේ එම සන්දර්භයේ ඊට පෙර තිබුණ බොරුවට අනුවයි. ඒ අර්ථයෙන් ඔවුන් තාමත් ඇත්තද බොරුද කියල අපිට හොයන්න බැහැ, ඊට වේලාසන වැඩියි.නමුත් දවස අවසානයේ ජාතික ජන බලවේගය හරහා මෙවර අලුතින්ම ඉදිරිපත් වන කලා හා සංස්කෘතික ක්‍රියාකාරකම් වල යෙදුන පිරිස් අනිකුත් අපේක්ෂකයන් සමඟ සසඳනකොට විශේෂයෙන් නුසුදුසුයි කියන්න තර්කයක් හමුවෙන්නේ නෑ. මොන පාරෙන් ආවත්, අලුතින් දේශපාලනයට එන ඕනෑම කෙනෙකු පිළිබඳව අපට කලින් මුකුත් කියන්නට බැරි තත්ත්වයක් තුළ මේ කලාකරුවන් සහ සමාජ ක්‍රියාකාරිකයින් දිහා විශේෂ අසුබවාදී දෘෂ්ටියකින් බලන්නට මටනම් හේතුවක් නැහැ. එයින් සෑහෙන පිරිසක් මගේ ද හිතවතුන්. ඔවුන් තමන්ගේ ප්‍රකාශනයන් හරහා මේ ක්‍රමය පෙරළන්න අදහස් සමාජ ගත කරමින් හිටපු අයයි. ඔවුන් කියන්නේ බලය දුන්නොත් ඔවුන්ට පුළුවන් හැටියට ඇත්තටම එය කිරීමට යන බවයි. ඊට සහයෝගය දීමේ විශේෂ වරදක් මටනම් පෙනෙන්නට නැහැ.ඒවගේම එය එක විදිහකට අලුත් දේශපාලන අත්හදාබැලීමක්. කෙසේ හෝ තමන් ඇත්ත කලාකරුවන් කියලා හඳුන්වා ගැනීම මම දකින්නේ ඔවුන් ඔවුන්ටම දමාගත් පීඩනයක් සහ අභියෝගයක් විදිහටයි.

අප සියලු දෙනාගේ හිතවත්කම් තියාගෙන, ඔවුන් ද බොරු කලාකරුවන්ගේ තත්ත්වයට පත්වෙනවා නම් විවේචනයට විවෘත කිරීම විතරයි අපට කරන්න පුළුවන්. නමුත් බොහෝ විට මින් පෙර සිදු වුණේ එසේ ජනතා සහයෝගයෙන් ගිය කලාකරුවන් බොරු කරන කොට ඔවුන්ගේ හිතවතුන් විසින් ඔවුන්ව බේරා ගැනීම සහ ආරක්ෂා කිරීමයි.ඊට පසු එහෙම ආරක්ෂා කරන උන්ට පමණයි ඒ කලාකරුවන් සේවය කළේ. අප විසින් නොකළ යුත්තේ ඒකයි. ඒ නිසා ඡන්ද දායකයින් ලෙසට කොහොමටත් යෂ්ටිය තියා ගත යුත්තේ අපේ අතේ යි.

ඒ නිසා, දැනට අපි ජාතික ජනබලවේගයේ කලාකරුවන්ගේ ජයග්‍රහණයට සහයෝගය දෙමු!
-ධනංජය කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

nine − two =