ජීවිතයේ වචන සෙල්ලම නොහොත් ‘අපොයියාව’

මස්ඉඹුලගෙ අලුත්ම පොත යොවුන් නවකතාවක්. මේ පොතේ නම අපොයියාව. අපොයියාව කියන්නෙ ටිකක් අමුතු වචනයක්. ඇත්තටම ටිකක් නුහුරු වචනයක් කිව්වත් වැරැදි නෑ. මේ වචනය ඇහුණ ගමන් ඕනෑම කෙනෙක් අපොයියාව කියන්නෙ මොකක්ද කියල කල්පනා කරනවා; කාගෙන් හරි අහලා බලනවා. වචනයක් එක්ක ටිකක් වෙලා ඔට්ටු වෙලා තමයි අපි කාටත් අපොයියාව ඇතුළට බහින්න වෙන්නෙ. අපොයියාව ඇතුළෙ ඉන්න ප්‍රධාන චරිතය – මුතුහරත් කතාව පුරාම වචනත් එක්ක දුව පනිනවා, කතාබහ කරනවා, පොරබදනවා… මේ නිසා කතාව කියවන අපටත් ටිකක් වෙලා වචනයක් එක්ක ඔට්ටු වෙන්න සිදුවෙන එකත් හරියට කතාවට පූර්ව සූදානම් වීමක් වගේ.

“මෙය පිරවීමේදී මට හමු වුණ සෙලවෙන ගස්කොළන්වල ශබ්ද , මහපොළොවවේ නෙක හැඩැති කඳු පල්ලම් තැනිතලා, අඩි පාරවල්, පැරණ්නන්ගේ කවි සීපද, කතන්ද, ලියදි, කමත් ඉපනැලි සහ පිදුරු සුවඳ, ශබ්දවල සැඟවුණු දේවල්, මිනිසුන් වැනි වචන, වචන වැනි මිනිසුන්…”
(පි. 23)

අපොයියාව ඇතුළෙ පහළ සිට ඉහළට ගමන් කරන උන්නතිකාමී චරිතයක් හෝ ආකස්මික වීරයෙක් නෑ. ඒ වෙනුවට ඉන්නෙ සාමාන්‍ය ළමයෙක්. ඔව් මුතුහර කියන්නෙ සාමාන්‍ය ළමයෙක්. මුතුහර ලබාගන්නෙත් ඉතාම සාමාන්‍ය ජයග්‍රහණයක්. ඔහු ප්‍රහේලිකාවක් පුරවලා දිනුමක් ලබනවා. ඒ සඳහා ඔහු ලබන ත්‍යාගයත් මහ විශාල එකක් නෙමෙයි. එහෙනම් මෙහෙම කතාවක් කොහොමද විශේෂ කතාවක් වෙන්නෙ?

අපොයියාව විශේෂ කතාවක් වෙන්නෙ ම මුතුහර ලබාගත්ත ඒ පුංචි ජයග්‍රහණය නිසා ම තමයි. ඔහු ජයගන්නෙ භාෂාව… කතාව පුරා මුතුහර ළඟින් ම ආශ්‍රය කරන්නෙ වචන. මේ වචන අතර ‘කිරිඅම්මා’ කියන ලස්සන ම ලස්සන වචනය ඔහු ළඟ නිතරම ඉන්නව.

අන් හැම දේටම වඩා මිනිසුන් ළඟින් ඉන්නෙ වචන. ඒ නිසාම මිනිසුන්ට වචන අමතක වෙනව. මේ වචන දරුවන්ට ළං කරන එක, දරුවන්ව වචනවලට ළං කරන එක බොහෝ දෙනෙක් අමතක කරනවා. ඒ වචන වෙතට නැමිලා, වචන වෙත ළං වෙලා බලන හැටි අපොයියාව පුරාම තියනව…

අපි සමාජමය වශයෙන් අඳුරක ඉන්නෙත් ආදරය, මනුෂ්‍යත්වය වගේ වචන අහිමි වීම නිසා. තවත් සමහර වචන උත්කර්ෂයට නැංවීම නිසා ඒ සමාජ අඳුර තව තවත් වැඩි වෙනවා… මේ නිසා තමයි වචන දිහා ළං වෙලා බලන්න පුළුවන් මිනිස්සු අවශ්‍ය කරන්නෙ…

වාග්විද්‍යාවෙදි භාෂාව සංකේත පද්ධතියක් කියල හඳුන්වන්නෙ. භාෂාවට තියෙන්නෙ අර්පිතාර්ථ… මේ සංකීර්ණ වාග්විද්‍යා දැනුම මුතුහරගෙ කිරිඅම්මා සරල සුන්දර විදිහට කියන්නෙ මෙහෙමයි.

“ඔය භාෂා උප්පරවැට්ටි හරියට ම රාත්‍රි වෙල් එලිය වාගෙ. නානාප්පකාර සද්ද දුරින් ඇහෙනවා, ළඟින් ඇහෙනවා. අඩු වෙවී ඇහෙනවා වැඩි වෙවී ඇහෙනවා. හය්යෙන් කිව්වොත් එකක් හෙමින් කිව්වොත් තව එකක්…”
(පි. 19)

අපොයියාව ඔස්සේ අපිට මනුෂ්‍ය පැවැත්ම පිළිබඳ දාර්ශනික තලයක් ගැනත් කතා කරන්නත් පුළුවන්. අපි ජීවත්වන ලෝකය භාෂා නිර්මිතයක්. එක්කෝ අප මේ භාෂා ප්‍රහේලිකාවට හසු වෙන්න පුළුවන්. නැති නම් අපට භාෂා ප්‍රහේලිකාව ඉක්මවන්න පුළුවන්. අපොයියාව ඇතුළෙ මුතුහර ජීවිතේ ඇසුරින් මේ භාෂා ප්‍රහේලිකාව ජයගන්නව. ඒ නිසා අපොයියාව ගැන සියලු හැඟුම් මේ විදිහට කැටි කරන්න කැමතියි…

‘භාෂා නිර්මිත ලෝකය ඇතුළෙ තමන්ගෙ ම භාෂාව සොයාගන්න එක අරගලයක්. ඒ අරගලයේ සෞම්‍ය වූ අකුරු සටහන අපොයියාව යි.’
-ලහිරු කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

fifteen − 8 =