විරෝධය සහ නිදහස!

පසුගිය ඕස්ට්‍රේලියාවේ සමරිසි අයිතිවාසිකම් නීතිගත කරන කාලයේ නිවුස් හෙඩින් මවපු මේ විශාල බිතුසිතුවම ලඟින් දින කිහිපයකට පෙර යනවිට මට මේ ඡායාරූපය ගන්නට අවස්ථාව ලැබුණා.

මේ සිතුවමේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයෙකු වූ සමරිසි අයිතිවාසිකම් නීතිගත කරනවාට එරහිව ක්‍රියාකළ සාම්ප්‍රදායික ක්‍රිස්තියානි ආගමික අදහස් දරන්නෙකු ලෙස ප්‍රකට ටෝනි ඇබොට් (Tony Abbott) ඔහුවම කසාද බැඳින අවස්ථාවක්. සමරිසි අයිතිවාසිකම් නීතිගත කිරීමට ඡන්දය විමසන අවස්ථාවේ ටෝනි ප්‍රසිද්ධියේ වීඩියෝ පටි පවා නිකුත් කරමින් කිව්වා සමරිසි අයිතිවාසිකම් වලට එරෙහි වීමෙන් ඔබගේ පවුල ආරක්ෂා කරගන්න කියලා.

ඒ නිසා එරෙහිව මේ විශාල බිතුසිතුවම අදින්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රකට රෙඩ්කාපට් සම්මාන දිනූ වීදි බිතුසිතුවම් ශිල්පී ස්කොට් මාර්ශ් (Scott Marsh) විසින්. මාර්ශ්ගේ බොහෝ බිතුසිතුවම් මෙවැනි ආන්දෝලනාත්මක විරෝධාකල්ප ඒවායි. මාර්ශ් මේ සිතුවම ගැන මෙහෙම කියනවා, “මට ඕනේ විවේචනාත්මකව කියන්න ඇබොට්ගේ ඊගෝව ගැන (ටෝනි සමලිංගිකයන්ගෙන් තමන්ව බේරගන්න හදනකොට) ඒකෙන් කියන්නේ ටෝනි ටෝනිට ආදරෙයි හැබැයි අනිත් අය තමන් කැමති ( තමන් වැනිම) කෙනෙක් එක්ක ආදරය බෙදා ගන්නකොට ඒකට සහයෝගය දෙන්නෙ නෑ”. චිත්‍ර ශිල්පියා ම කියන පරිදි මේ චිත්‍රයේ ඇති අනිත් රසවත් සංඛේතයනම් ටෝනිගේ අතේ තියන මේ මංගල මල් කළඹේ ඇති මල් ඕස්ට්‍රේලියාවට උරුමයෙන් ආවේණික එනම් එහි මුල් පදිංචිකරුවන් වූ අබොරිජිනස්ලාගේ මල් (Native flowers).

කෙසේ හෝ ඕස්ට්‍රේලියාවේ බහුතරයගේ කැමැත්තෙන් සමලිංගිකත්වය නීතිගත කෙරුණ අතර මේ විශාල බිතු සිතුවමට ද විශේෂ අවධානයක් සහ බහුතරයකගේ ප්‍රසාදයක් හිමිවුණා. ඒ වගේම මේ බිතු සිතුවම අපට පෙන්වනවා සමලිංගික නිදහස වගේම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ද කොයිතරම් දුරට රටේ පිලිඅරගන්නවා ද කියන එක. ඒක කොයිතරම් ද කියනවා නම්, ඒ මොහොතේ ඒ බිතුසිතුවම අයිති සිඩ්නි නගර සභාවේම කව්න්සල්වරියක වූ ටෝනිගේම සහෝදරිය ක්‍රිස්ටීන් ෆෝස්ටර්(Christine Forester) ටෝනිට එරෙහිව යමින් සමරිසි අයිතිවාසිකම් සඳහා සහයෝගය දෙමින් කියන්නේ මේ බිතුසිතුවම නූතන වීදි බිතු සිතුවම් කලාවට හොඳම උදාහරණයක් බවත් මේ වගේ රසවත් බිතුසිතුවම් වලට සිඩ්නි නගරය හැම විටම විවෘත යි කියලයි.

-ධනංජය කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

20 − eighteen =