මොසාට් නම් කියුබානුවා

හැමෝම කැමතියි නිස්කලංක වෙලාවක කෝපි කෝප්පයක් තොලගාන ගමන් පසුබිමෙන් වාදනය වෙන පොඩි සංගීත ඛණ්ඩයකට සවන් දෙන්න. එහෙම නැත්නම් බියර් වීදුරුවක් හෙම තොලගාන ගමන්…

හැබැයි කොහොම වුණත් කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නෑ ජනාකීර්ණ වීදියකදි සම්භාව්‍ය සංගීතයකට සවන් දෙන්න. ඇත්තටම එහෙමද? අපි එහෙම අත්දැකීමක් විඳලම නැද්ද? ඔබ සමහරවිට අහලත් ඇති, නැතුවත් ඇති. ඒත් අපිට හැමදාම උදේ – හවස ඇහෙන චූන්පාන් වාහනේ සංගීතෙ, ලෝකයේ විශිෂ්ටතම සංගීතඥයන් දෙන්නාගෙන් කෙනෙක් වෙච්ච බිතෝවන්ගේ සම්භාව්‍ය සංගීත ඛණ්ඩයක් බව ඔබ දැනගෙන හිටියද?

හැබැයි දැන් අපි කියන්නේ ඒ චූන් පාන් සංගීතෙ ගැන නෙමෙයි. පහුගිය ජනවාරි මාසෙදි කියුබාවෙ වීදියකදි මිනිසුන්ට එක්වර අත්විඳින්න ලැබුණු සංගීතමය අත්දැකීමක් ගැන කියන්න. කියුබාවෙ අග නගරය වුණු හවානාවල වීදියකදි එකවර මතුවුණු ෆ්ලෑෂ්මොබ් කණ්ඩායමක්, (ෆ්ලෑෂ්මොබ් කණ්ඩායමක් කියන්නේ වීදියක් හෝ එවැනි ජනාකීර්ණ තැනකදි එක්වර අනපේක්ෂිතව මතුවෙලා තමන්ගේ ඉදිරිපත් කිරීම කරලා විසිර යන කණ්ඩායමක්.) මම ඉහත කිව්ව ලෝකයේ විශිෂ්ටතම සංගීතඥයන් දෙන්නාගෙන් අනෙකා වන මොසාර්ට්ගේ ප්‍රසිද්ධ සංගීත වාදනයක් ඇසුරින් සකසපු ‘Rondo alla Mambo’ නම් කියුබානු සංගීතයේ ආභාෂය ලබපු ඉදිරිපත් කිරීම කරා. මනරම් නර්තනයකින් ඇරඹුණු මේ දර්ශනය French Horn වාදන ශිල්පිනියක වන බ්‍රිතාන්‍ය ජාතික සාරා විලිස්ගේ ඉදිරිපත් කිරීමකින් අලංකාර වුණා.

මේ අදහස, එනම් මොසාට්ගේ සංගීතය කියුබානු හුරුවකින් ඉදිරිපත් කිරීමේ අදහස සාරාට එන්නේ ඇය කියුබාවේ කරන සංචාරයක් අතරතුරදී හවානා නගරයේ තැනක තිබූ මොසාට්ගේ පිලිරුවක් නෙත ගැටීමෙන්. ඒ වගේම ඇයට හමුවූ කියුබානු සංගීතඥයෙක් කියා තිබුණේ “මොසාට් කියුබානුවකු වූවානම් ඉතා අපූරු” බවයි. ඒ අදහස්වලින් උද්යෝගිමත් වුණු සාරා මොසාට්ගේ සංගීතය කියුබානු ඌරුවකට හැඩගන්වා ‘Willis’ album Mozart y Mambo’ නමින් සංගීත ඇල්බමයක් කරන්නට තීරණය කරා. එහි ප්‍රතිඵලයක් තමා මේ ෆ්ලෑෂ්මොබ් ඉදිරිපත් කිරීම.

පසුගිය ජනවාරියේදි හවානාහිදී නිපදවූ මේ ඇල්බමය පසුගියදා නිකුත් කිරීමෙන් පසුව ‘Apple Music’ සහ ‘Amazon’s classical charts’ හි අංක එකට පත්වෙන්න සමත් වුණා.

Video courtesy – Sarah Willis

Leave A Reply

Your email address will not be published.

six − two =