මුස්ලිම් පල්ලියක් බවට පත්වූ ලෝක උරුමය

බයිසැන්තියානු යුගයේ ස්මාරකයක් වන හේගියා සොෆියා දේවස්ථානය මුස්ලිම් පල්ලියක් බවට පත් කිරීමට තුර්කිය තීරණය කර තිබෙනවා. මේ තීරණය පිළිබඳව රෝමානු කතෝලික පල්ලියේ නායකයා වන ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ තම බලවත් කණස්සල්ල පල කර තිබෙනවා. යුනෙස්කෝ ලෝක උරුමයක් බවට නම් කොට ඇති හේගියා සොෆියා සම්බන්ධයෙන් වූ තුර්කියේ තීරණය ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් විසින් ද දැඩිව විවේචනය කර තිබෙනවා.

පළමු වැනි ජස්ටීනියන් අධිරාජ්‍යයා විසින් කි.ව.6 වැනි සියවසේදී ඉදිකිරන ලද හේගියා සොෆියා ස්මාරකය වැදගත් වන්නේ ලොව ශ්‍රේෂ්ඨ ඉදිකිරීමක් වශයෙන් පමණක්ම නොවෙයි. එය වඩාත්ම විශේෂිත බයිසැන්නියානු ඉදිකිරීම ලෙස ද සැළකෙනවා.
මෙය පිහිටා ඇති තුර්කියේ ඉස්තාම්බුල් නගරයට බයිසැන්තිනියානු යුගයේදී ව්‍යවහාර වුණේ කොන්ස්තන්තීනුපලය යනුවෙනුයි.
බයිසැන්නියානු අධිරාජ්‍යය නැගෙනහිර රෝම අධිරාජ්‍යය ලෙසත් හඳුන්වනවා. රෝමය මුල්කරගෙන ගොඩනැගුණු මහා රෝම අධිරාජ්‍යය ක්‍රි.ව. 330 දී දෙකඩ වෙනවා.රෝම නුවරට එල්ල වූ සතුරු ආක්‍රමණ හේතුවෙන් එවකට රෝමයේ පාලකයා වූ මහා කොන්ස්තන්නීන් අධිරාජ්‍යයා විසින් තම අගනුවර බයිසැන්තීනයට ගෙන යනවා. පසුව එය කොන්ස්තන්තීනුපලය බවට පත්වෙනවා. බටහිර රෝම අධිරාජ්‍යයයේ බලසම්පන්න භාවය කෙමෙන් වියැකී ගොස් ක්‍රි.ව.05 වන සියවස පමණ වන විට එය ඉතාලිය බවට පත්වෙන්වා. ඉපැරණි රෝමය පාප් වහන්සේ විසින් පාලනය කරන අතර ඉතාලියේ ඉතිරි කොටස් විවිධ ප්‍රාදේශීය රජවරුන්ගේ පාලනයට නතුවනවා.
කෙසේ නමුත් කොන්ස්තන්තීනූපලය මුල් කර ගත් සමෘද්ධිමත් නැගෙනහිර රෝම අධිරාජ්‍යය වසර දහසකටත් වඩා පැවතුණා. රෝමානු කතෝලික ආභාෂය සහිත බයිසැන්තීනියානු ගෘහ නිර්මාණ හා ඉදිකිරීම් වලින් සමන්විත කොන්තීනූපලය ක්‍රි.ව.1453 දක්වා රෝමන් වරුන් විසින් පාලනය කළා. පසුව තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යයයේ පාලනයට නතුවූ නගරය ඉස්ලාම් සංස්කෘතියේ මූලස්ථානයක් බවට පත්වුණා. අද පවතින් ඉස්තාන්බුල් නගරය බිහිවන්නේ ඒ අයුරෙනුයි.
එතෙක් සාඩම්බර කතෝලික දේවස්ථානයක් ලෙස වැජඹුණු හේගියා සොෆියා ඔටෝමාන් වරුන් විසින් මුස්ලිම් පල්ලියක් ලෙස පරිවර්තනය කළා. ඒ වන විට කතෝලික පල්ලියේ හදවත වූයේත් රෝමයේ වතිකානය නොව මේ හේගියා සොෆියා දේවස්ථානයයි.
කෙසේ නමුත් නූතන තුර්කියේ පියා ලෙස හැඳින්වෙන ජනාධිපති මුස්තාෆා කෙමාල් පාසා විසින් මේ ඉපැරණි බයිසැන්තීනියානු ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට ප්‍රකාශයට පත්කළා. ඒ ඊට උරුමකම් කියූ සියළුම ආගමිකයන්ට පොදු ස්ථානයක් ලෙසයි. ඒ අනුව හේගියා සොෆියා 1985දී යුනෙස්කෝ ලෝක උරුම භුමියක් ලෙසටත් පත්වුණා.
ලෝකයේ ශිෂ්ඨාචාර කිහිපයකටම තෝතැන්නක් වූ ඉස්තාන්බුල් නගරය ලොව වෙනත් නගර වලට වඩා විශේෂත්වයක් ගන්නවා. නගරය යුරෝපය හා ආසියාව යන කලාප දෙකටම අයිතියි. මේ මහාද්වීප දෙක වෙන්වන Gateway එක තමයි ඉස්තාන්බුල්. ඒ නිසා මැදපෙරදිග අනෙකුත් ඉස්ලාම් රටවලට වඩා මධ්‍යස්ථ හා බහු ආගමික ස්වභාවයක් තුර්කි සමාජයේ පවතිනවා. ඊට හේතුව වී ඇත්තේ කතෝලික පදනමක් සහිත යුරෝපීය ජනගහනයේ මිශ්‍ර වීමයි.
හේගියා සොෆියා ස්මාරකය පිහිටා ඇත්තේ ඉස්තාන්බුල් නගරයේ යුරෝපා මහාද්වීපයට අයත් කලාපය තුළයි. රෝමානු කතෝලිකයන්ටත් වඩා ඕතොඩොක්ස් ක්‍රිස්තියානිවරුන් තුර්කියේ තීරණය පිළිබඳව නොසන්සුන් වී තිබෙනවා. ඕතොඩොක්ස් නිකාය බිහිවන්නේ කොන්ස්තන්තීනුපලය මුල්කර ගෙනයි. ඒ නිසා හේගියා සොෆියා ස්මාරකය ඉදිකිරීමේදී ඕතොඩොක්ස් ගෘහ නිර්මාණ ලක්ෂණ ප්‍රමුඛව උපයෝගී කරගෙන තිබෙනවා. ඕතොඩොක්ස් යනු රුසියාව ඇතුළු නැගෙනහිර යුරෝපා කලාපයේ ව්‍යාප්ත වී ඇති ක්‍රිස්තියානි ආගමේ ප්‍රධානම නිකායයි. ඊට අමතරව ග්‍රීසියේද ප්‍රධාන ආගම වන්නේ ඕතොඩොක්ස් දහමයි.
මේ වන විටත් රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ග්‍රීසිය ආදී බොහෝ රටවල් මේ ලෝක උරුම ස්මාරකය මුස්ලිම් පල්ලියක් කිරීම පිළිබඳව නොසතුට පළකර තිබෙනවා. ඒ අතරම හමාස් ආදී ඉස්ලාම් සංවිධාන තුර්කියේ තීරණය අගය කර තිබෙනවා.

රුසියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ මෙය තුර්කිය විසින් සිදුකරන ලද ඓතිහාසික අත්වැරැද්දක් බවයි.
“හේගියා සොෆියා මුස්ලිම් පල්ලියක් කිරීමෙන් මුස්ලිම් ලෝකයට ලැබෙන කිසිවක් නැහැ. එය තුර්කි ජාතිය එක්කිරීමකට වඩා තුර්කිය කෑලි කෑලි වලට කැඩී යෑමට තුඩු දෙන තීරණයක්.”
රුසියාවේ විදේශ කටයුතු කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානී ව්ලැදිමීර් ශබරොව් පවසනවා.

-ශානක  ලියනගම

Leave A Reply

Your email address will not be published.

eleven − 10 =