රටේ ඉඩම් ගැන බිමල් ජනපතිට ලියයි

මොනවා නැතත් ලංකාවේ ඉඩම් පිළිබඳ නීතිය ශක්තිමත් යැයි සමහරෙක් කියති. එනිසාම එන එන ආණ්ඩුවලට හිතෙන හිතෙන ආකාරයට ආණ්ඩුවේ ඉඩම් සංවර්ධනය නමැති වචනයට මුවා වී විකුණා දමන්නට හෝ පවරා දෙන්නට හෝ නොහැකි විය. ආණ්ඩු විටින් විට උත්සාහ කළේ ඉඩම් බැඳ ඇති ශක්තිමත් රැහැන කපා දමන්නට ය. ඒ උත්සාහයක තවත් පියවරක් ලෙස මෙතෙක් කලක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ වනාන්තර විශාල ප්‍රමාණයක් එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරන තීරණයක් ගෙන තිබේ. තීරණය ගෙන ඇත්තේ කැබිනට් මණ්ඩලය විසිනි. ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවා තිබේ. ඉඩම් පිළිබඳව කාරණයේ සංවේදීබව නිසාම අපි එම ලිපිය සංශෝධනයකින් තොරව පහත පළ කරමු.

ගරු ජනාධිපතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව මෙතෙක් තිබූ වනාන්තර විශාල ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට  පැවරෙන පරිදි තීරණයක් කැබිනට් මණ්ඩලය විසින් ගෙන තිබේ.

මෙම තීරණය මඟින් සිදු විය හැකි පරිසර හානිය අතිවිශාල වන අතර, මෙය ලංකාවේ වනවැස්ම විශාල වශයෙන් අඩු කිරීමටත්, රට පුරා විවිධ ප්‍රදේශවල ඇති ශ්‍රී ලංකාවට ආවේණික සතුන් සහ ගහකොළ සහමුලින්ම විනාශ වී යාමටත් හේතු විය හැකි බව ජ්‍යෙෂ්ඨ පරිසරවේදීන්ගේ මතය වී තිබේ.

එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ මෙම වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම මඟින් එම වනාන්තර මහා පරිමාණ විවිධ ව්‍යාපෘති සඳහා පුද්ගලයන්ට සහ සමාගම්වලට බැහැර කිරීමට ඉඩකඩ විවෘත වේ. එමඟින් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජල මූලාශ්‍ර සහ සාමාන්‍ය ජීවන පැවැත්ම ම වුව ද අනතුරට ලක් වීමට ඉඩ තිබේ.

දශක ගණනාවක් තිස්සේ ප්‍රාදේශීය ලේකම්වරුන් සතුව තිබූ මෙම බලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලද්දේ ද, විශාල වශයෙන් දේශපාලනඥයන් බලපෑම් කර මෙම වනාන්තර ඉඩම් තම දේශපාලන හිතවතුන්ට සහ විවිධ පුද්ගලයන්ට ලබා දෙමින් කරන ලද්දා වූ මහා විශාල වන විනාශය හා ඉඩම් කොල්ලය නිසාවෙනි.

එමෙන්ම ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දීමට රජයට අවශ්‍ය නම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව තිබෙන ඉඩම් ඒ සඳහා ලබා දිය හැක. මන්දයත්, 70 දශකයේ දී ඉඩම් ජනසතු කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව ගොඩනඟන ලද්දේ ඉඩම් අහිමි ජනතාවට ඉඩම් ලබා දීමේ අරමුණින් බැවිනි. නමුත්, පසුගිය දශක ගණනාවක් තිස්සේ සිදු වී ඇත්තේ, ඉඩම් අහිමි ජනතාවට ඉඩම් ලබා දීම සඳහාම වෙන් කළ ඉඩම් සමාගම් සහ ධනවතුන් අතර බෙදා දීම ය. රක්ෂිත වනාන්තර සහ අවශේෂ වනාන්තර, ඉඩම් අහිමි ජන කොටස් විසින් යම් යම් අවස්ථාවන්වල දී නීත්‍යනුකූල නොවන ආකාරයට අත්පත් කරගන්නා තත්ත්වයන් නිර්මාණය වූයේ ද මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පිහිටු වීමේ මූලික අරමුණට පිටුපා කටයුතු කිරීම නිසා ය.

මෙවැනි තීරණයක් ගත යුතුම නම්, එය ගත යුත්තේ ද මෙවැනි මැතිවරණ කාලසීමාවක දී නොව ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමට හැකි වන පරිදි පාර්ලිමේන්තුවක් පිහිටුවීමෙන් පසුවය.

නමුත්, දැන් සියලු‍ දෙනාම කොරෝනා වසංගතයට හා මැතිවරණයට යොමු වී ඇති වකවානුවක, පාර්ලිමේන්තුව ද නොමැති වටපිටාවක දී ආණ්ඩුව ගන්නා ලද තීන්දුව මඟින් අතිවිශාල පාරිසරික හානියක් සිදුවීම් වැළැක්විය නොහැකි ය.

මන්ද යත්, මෙම චක්‍රලේඛය අහෝසි කිරීම මඟින් වනාන්තර සුරක්ෂිත කිරීමට ඇති නීතිය දුර්වල කිරීමක් සිදු වන බැවිනි. එමෙන්ම පසුගිය කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාවට පමණක්ම ආවේණික වූ සතුන් සහ ශාක සැලකිය යුතු ප්‍රමාණයක් පරිසර විද්‍යාඥයන් සොයාගෙන ඇත්තේ ද මෙම අවශේෂ කැලෑ ලෙස සලකන වනාන්තර තුළිනි.

එමෙන්ම සමහර ප්‍රදේශවල ජල සැපයුම, පාරිසරික උෂ්ණත්වය, වායුගෝලයේ පිරිසිදු බව සහ අප රටට ආවේණික වූ සමහර සතුන්ට හා ශාකවලට ඇති එකම පැවැත්ම මෙම අවශේෂ වනාන්තර මත රඳාපවතී.

එම නිසා අප ඔබතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ, ඉමහත් වන විනාශයකට පාර කපන මෙම චක්‍රලේඛය අහෝසි කිරීම අත්හිටුවන ලෙස ය. එමෙන්ම මෙම චක්‍රලේඛය අහෝසි කිරීම මඟින් සිදු වන පාරිසරික බලපෑම අධ්‍යයනය කිරීම සඳහා පරිසර විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් නිර්දේශ ලබා ගැනීමෙන් පසුව කටයුතු කරන ලෙස ය.

විශේෂයෙන්ම මෙම වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම හදිසි ජාතික අවශ්‍යතාවක් නොවන බැවිනුත්, එමඟින් අතිවිශාල පාරිසරික හානියක් විය හැකි බව පැහැදිලි බැවිනුත්, එමෙන්ම යම් යම් කාලවල දී සිදු වූවාක් මෙන් සමහර අපේක්ෂකයන් මෙම වන  ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට ද  පැහැදිලිව ඉඩකඩ ඇති බැවිනුත් මෙය වහාම වළක්වන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි,

බිමල් රත්නායක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික සංවිධායක – ජනතා විමුක්ති පෙරමුණ

Leave A Reply

Your email address will not be published.

seven + two =