ලෝක බලවතා වෙන්න යුරෝපා සංගමය මිලිටරිවාදය ප්‍රවර්ධනය කරයි

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්  සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැ‍ක්‍රොන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ස්වාධීනව යුද්ධ කිරීමට යුරෝපයට ඇති හැකියාව සහතික කිරීම සඳහා මිලිටරි වියදම් සහ කප්පාදු වේගවත් කරන ලෙස පසුගිය දා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියහ. ඒ යුරෝපා සංගමය එක්සත් ජනපද පුරවැසියන්ට යුරෝපයට ඇතුළු වීම අවහිර කිරීමෙන් පසුවය.

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අතර පැවැති ද්විපාර්ශ්වික රැස්වීමකින් පසු ජර්මානු මෙසෙබර්ග් කාසල්හි රජයේ නිවාඩු නිකේතනයක දී 2020 ජූනි 29 වන දින මාධ්‍ය හමුවක් පැවැත්වීය. මර්කෙල් මෙම ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරමින් කියා සිටියේ, “අපි ජීවත් වන්නේ බැරෑරුම් කාලයකය. වසංගතය සහ ඒ හා බැඳුණු ආර්ථික අභියෝගය, දශක ගණනාවක් තිස්සේ හෝ මීට පෙර කවදාවත් අප දැක නැති ආකාරයේ ඒවාය” යනුවෙනි. ජර්මනියට හා ප්‍රංශයට ඉදිරි මාසවලදී ඒකාබද්ධ භූමිකාවක් රඟදැක්වීමට අවශ්‍ය වන අතර යුරෝපය අපගේ අනාගතය බව පැහැදිලි බවත් යුරෝපීය ප්‍රජාව තුළ පමණක් නොව ලෝකය තුළ ද අපගේ කාර්යභාරය ඉටු කළ යුතු බවත් ඇය සඳහන් කළාය. ඇය දුටු ‘‘විශාල අභියෝග” අතරට ඩිජිටල්කරණය, දේශගුණික විපර්යාස පමණක් නොව “යුද්ධය හා සාමය පිළිබඳ ප්‍රශ්නය” ද ඇතුළත් විය.

එක්සත් ජනපදයට එරෙහිව ස්වාධීනව හා අවශ්‍ය නම් ක්‍රියා කළ හැකි යුරෝපා සංගමය මිලිටරි සන්ධානයක් බවට පරිවර්තනය කිරීම සඳහා යුරෝපීය බලවතුන් සමීපව කටයුතු කරමින් සිටින බව මේ අනුව අනුමාන කළ හැකිය. යුරෝපා සංගමයේ වැඩි ණය බරක් සහිත රටවල් වෙනුවෙන් මැදිහත් වීම සහ යුරෝපා සංගමය එකට තබා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කළ බව මර්කෙල් පවසන්නේ ඒ නිසාය.

යුරෝපා සංගමය ලෝකය සමඟ පවත්වන සබඳතා නිර්වචනය කරගත යුතු බවත් එහිදී අප්‍රිකාව සමඟ සබඳතා, චීනය සමඟ සබඳතා පමණක් නොව අත්ලාන්තික් සාගර කලාපය සමග ඇති සබඳතා ද ඇතුළත් බව මර්කෙල් සඳහන් කළාය. ඒ සියලු සබඳතාවලදී ද මේ වන විට යුරෝපය විශාල අභියෝගයකට මුහුණ දී සිටින බව සෑම දිනකම දැකිය හැකි බවත් ඇය පැවසීය. එහිදී කුමන යුදමය තත්ත්වයක් පළමුව ඇති විය හැකිදැයි මර්කෙල් සහ මැක්‍රොන් පැහැදිලි නොකළ නමුත් යුරෝපීය ආණ්ඩුවලට ගෝලීය වශයෙන් තරග කළ හැක්කේ යුරෝපා සංගමයේ අනෙකුත් ප්‍රධාන බලවතුන් සමඟ එක්ව කටයුතු කිරීමෙන් පමණක් බව ඔවුහු අවධාරණය කළහ.

එම මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූ අදහස් එතනින් නතර නොවන බව මර්කෙල් යුරෝපීය පුවත්පත් කිහිපයකටම ඉන් පසුව ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී දැකිය හැකි විය. බි්‍රතාන්‍යයේ ‘ද ගාඩියන්’, ජර්මනියේ ‘ස්වෙඩෙට්ෂු සයිතුං’, ප්‍රංශයේ ‘ලී මොන්ඬේ’, ඉතාලියේ ‘ලා ස්ටැම්පා’, ස්පාඤ්ඤයේ ‘ලා වැන්ගාර්ඩියා’ සහ පෝලන්තයේ ‘පොලිටිකා’ යන පුවත්පත් සමඟ දැක්වූ අදහස් මේ අතර ප්‍රධානය. එහිදී යුරෝපා සංගමයේ සභාපති ධුරය ජර්මනියට පැවරීම පිළිබඳව ඇය සාකච්ඡා කළ අතර, එක්සත් ජනපදය සමග සබඳතාවලදී යුරෝපීය පාලන සමග ඇති ප්‍රතිවිරෝධය පිළිබඳව ද සඳහන් කළාය. එක්සත් ජනපදයට ලෝක බලවතකු වීමට අවශ්‍ය බවට වූ නිශ්චිත දැනුම සහිතව පසුගිය කාලයේ ලෝක දේශපාලනය හැඩගැසුණු නමුත් ඇත්ත වශයෙන්ම යුරෝපයට, සෝවියට් – ඇමෙරිකා සීතල යුද්ධ කාලයට වඩා වැඩි බරක් උසුලන්න අවශ්‍ය බවත් ඇය පැවසීය. “එක්සත් ජනපදය දැන් තමන්ගේ කැමැත්තෙන් එම භූමිකාවෙන් ඉවත් වීමට අපේක්ෂා කරන්නේ නම්, අප එය ගැන ඉතා ගැඹුරින් සිතා බැලිය යුතුය” යනුවෙන් ඇය එම මාධ්‍ය වෙත අදහස් පළ කරමින් වැඩි දුරටත් කියා සිටියාය.

එක්සත් ජනපදයට හිමිව තිබූ ගෝලීය ආධිපත්‍යය මේ වන විටත් වේගයෙන් මැකී යන බව රහසක් නොවේ. ඒ අතර ජාත්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් අතර ගැටුම් ද ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. එක්සත් ජනපදය විසින් ජර්මනියට හා චීනයට ඩොලර් බිලියන සිය ගණනක වෙ‍ෙළඳ තීරු බදු පැනවීමට තීරණය කිරීමත් සමඟ එය තවත් උත්සන්න වූ අතර ඒ සම්බන්ධයෙන් මර්කෙල් සිය විරෝධය පළ කළේ ට්‍රම්ප්ගේ දේශපාලනයේ “තිරිසන්” ස්වභාවය එයින් පිළිබිඹු වන බව පවසමිනි.

එක්සත් ජනපදය ගැන පමණක් නොව චීනයේ ආර්ථික නැගීම ද ඔවුන්ගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක් ලෙස හඳුන්වන අතර මර්කෙල් ඒ සඳහා එක්සත් ජනපදයට වඩා වෙනස් ප්‍රවේශයක් යෝජනා කළාය. මර්කෙල් කියා සිටියේ යුරෝපය සහ චීනය ‘ආර්ථික සහයෝගීතාවයේ සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේ හවුල්කරුවන්’ වුවද වෙනස් දේශපාලන ක්‍රම ඇති තරගකරුවන් ද වන බවය.

එක්සත් ජනපදයට එරෙහිව ස්වාධීනව හා අවශ්‍ය නම් ක්‍රියා කළ හැකි යුරෝපා සංගමය මිලිටරි සන්ධානයක් බවට පරිවර්තනය කිරීම සඳහා යුරෝපීය බලවතුන් සමීපව කටයුතු කරමින් සිටින බව මේ අනුව අනුමාන කළ හැකිය. යුරෝපා සංගමයේ වැඩි ණය බරක් සහිත රටවල් වෙනුවෙන් මැදිහත් වීම සහ යුරෝපා සංගමය එකට තබා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කළ බව මර්කෙල් පවසන්නේ ඒ නිසාය. මේ මොහොතේ යුරෝපීය රටවල් එකට තබා ගන්නේ, අවශ්‍යතාවල එකමුතුවක් ලෙස නොව, ධනේශ්වර බල අරගලයේ සිය ප්‍රතිවාදීන්ට එරෙහිව මිතුරන් සෙවීමේ උත්සාහයක් ලෙසය. මේ අනුව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය යන රටවල ආරක්ෂක අමාත්‍යාංශ, යුරෝපා සංගමයේ විදේශ හා මිලිටරි ප්‍රතිපත්ති ප්‍රධානී ජොසෙප් බොරෙල්ට ඒකාබද්ධ ලිපියක් නිකුත් කරමින් කොවිඞ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් ප්‍රධාන ඒකාබද්ධ යුරෝපා සංගම් මිලිටරියක් ගොඩනඟා ගන්නා ලෙස ඉල්ලා සිටියේ මෙහි තවත් පියවරක් වශයෙනි.

 

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

15 − 13 =