‘වියතකු’ ආ මඟ

ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අලුත් මුහුණු ගණනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවට මැතිවරණයට නාමයෝජනා භාර දීමට පෙර විශාල කතිකාවක් ඇති විය. එහි ආධාරකරුවන් ද මේ මතය සමාජගත කරමින්, කලින් පාර්ලිමේන්තුවේ නොසිටි වියතුන්ගෙන් පාර්ලිමේන්තුව පිරී යනු ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ අලුත් කණ්ඩායමක් සමඟ අලුත් ගමනක් යන බවත් දිගින් දිගටම කියන්නට විය. නඩු ඇති, වංචා, දූෂණ චෝදනා ඇති අය නැවත පාර්ලිමේන්තු එනවා තියා ඔවුන්ට නාමයෝජනා දෙන්නේවත් නැති බව ද කීය.

එහෙත් කළු කරන තරමටම වහින්නේ නැති බව පළමු පියවරේ දී ම පෙන්වමින් මුළු ලංකාවෙන්ම අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් වූයේ ‘වියත් මඟ’ සාමාජිකයන් නව දෙනකු පමණි. ඒ සරත් වීරසේකර, අනුර ප්‍රනාන්දු, නාලක ගොඩහේවා, නාලක කෝට්ටෙගොඩ, තිලක් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, චන්න ජයසුමන, ගුණපාල රතනසේකර, උදයන කිරිඳිගොඩ යන අය ය. ඊට අමතරව අජිත් නිවාඞ් කබ්රාල් සහ සීතා අරඹේපොළ යන දෙදෙනාට ජාතික ලැයිස්තුවේ ඉඩක් ලබා දී තිබේ. එය කොතරම් අල්ප ප්‍රමාණයක් ද යත් මහ මැතිවරණයට ඉදිරිපත් කළ යුතු මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව සැලකූ විට ‘වියත් මඟට’ ලැබී ඇත්තේ 4%කටත් වඩා අඩු ප්‍රමාණයකි. එවැනි තීරණයක් ගත්තේ ‘වියත් මඟෙහි’ සිටින ‘වියතුන් ’ප්‍රමාණය මෙපමණක් නිසා දැයි අප දන්නේ නැත.

කෙසේ වෙතත්, නාමයෝජනා ලැබුණු ‘වියත් මඟ’ 4%න් ද ප්‍රමුඛයකු බවට පත් වී ඇත්තේ නාලක ගොඩහේවා ය. ඔහු ඉදිරිපත් වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකු වශයෙනි. නාලක ගොඩහේවාට නාමයෝජනා ලබා දීමෙන් ම ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන්නේ යැයි කියූ සුපිරිසිදු වියත් ලේබලයට මඩ පැල්ලමක් විසි වූයේ ‘නඩු නැති, දූෂණ වංචා චෝදනා නැති’ කියන ගොඩට ඔහුව දැමීමට නොහැකි නිසා ය.

තවද ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට සම්බන්ධ වෙමින්, රාජපක්ෂ පවුලේ සාමාජිකයකුට විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට අතරමැදියකු වීම සම්බන්ධව ද ඔහුට චෝදනා එල්ල වී තිබිණි. ලංකා හොස්පිටල් සමාගමේ කොටස්වලින් සියයට 29ක් විකුණා දැමීමේ ප්‍රශ්නගත ගනුදෙනුවට ද නාලක ගොඩහේවා සම්බන්ධ බවට චෝදනා එල්ල විය.

නාලක ගොඩහේවා 2013 වසරේ දී ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දීමෙන් සිදු කර ඇති බව කියන සුරැකුම් පත් හා විනිමය කොමිසමේ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් කර චෝදනා ගොනු කර අධිකරණයෙන් දඬුවම් ද නියම වී තිබුණු අයෙකි. ඒ සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ අභියාචනය දැනට විභාග වෙමින් පවතී.

එසේම ඔහු ශ්‍රී ලංකා සුරැකුම් පත් විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඇතැම් සමාගම්වල කොටස් මිල සැකසහිත ලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාම හා එයින් බැඳුණු ‘ජම්පින් ඇන්ඞ් ඩම්පින්ග්’ ලෙස හැඳින්වුණු කුප්‍රකට කොටස් වෙළෙඳපළ වංචා සිදු කළ බවට චෝදනා එල්ල විය.

තවද ක්‍රිෂ් ගනුදෙනුවට සම්බන්ධ වෙමින්, රාජපක්ෂ පවුලේ සාමාජිකයකුට විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට අතරමැදියකු වීම සම්බන්ධව ද ඔහුට චෝදනා එල්ල වී තිබිණි. ලංකා හොස්පිටල් සමාගමේ කොටස්වලින් සියයට 29ක් විකුණා දැමීමේ ප්‍රශ්නගත ගනුදෙනුවට ද ඔහු සම්බන්ධ බවට චෝදනා එල්ල විය.

2015දී රාජපක්ෂ ආණ්ඩුව බිඳවැටීමෙන් පසුව ශ්‍රී ලංකා විනිමය සුරැකුම් පත් කොමිෂන් සභාවේ මුදල් අවභාවිතය පිළිබඳව ඔහුට එරෙහිව පරීක්ෂණයක් ද පැවැත්විණි. ඒ කොටස් වෙළෙඳපළ ආයෝජනය දිරිගැන්වීම සඳහා තරුණයන් අතර බෙදාහැරීමට තිබූ මුදල් ප්‍රමාණයක් නාමල් රාජපක්ෂගේ ඉල්ලීම මත වෙනත් කාර්යයක් සඳහා මුදාහැරීම සම්බන්ධව ය. 2012 අගෝස්තු 27 වනදා ‘ඬේලි මිරර්’ පුවත් පත වාර්තා කළ කරුණුවලට අනුව කොටස් වෙළෙඳපළ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් පසුව චෝදනා එල්ල වූ ‘සිට්ට්‍රස් ලෙෂර්’ සමාගමට අනුබද්ධ වස්කඩුව ‘බීච් රිසෝට්’ සමාගමේ 10 වන හා 16 වන විශාලතම කොටස්කරු ලෙස නාලක ගොඩහේවා කටයුතු කර ඇත. ඔහු තවත් ප්‍රශ්නගත සමාගමක් වූ ‘කලම්බු ලෑන්ඞ් ඇන්ඞ් ඩිවලොප්මන්ට්’ සමාගමේ ද 7 වන විශාලතම කොටස්කරුවා ය. දිලිත් ජයවීර හා වරුණි අමුණුගමට සම්බන්ධ ‘දිවැස ෆයිනැන්ස්’ සමාගමේ ද සභාපතිවරයා ලෙස නාලක ගොඩහේවා කටයුතු කර ඇත.

නාමයෝජනා ලබා දීමෙන් පසුව අපේක්ෂක අංක ලබා දීමට ප්‍රථමයෙන් සිදු කළ ප්‍රචාරක කටයුත්තක දී ද ගොඩහේවාගේ ‘සුචරිතයේ තරම’ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන්නට විය. ඒ ඔහු තරග කරන ගම්පහ දිස්ත්‍රික්කයේ ඔහුගේ ම පක්ෂයේ වෙනත් අපේක්ෂකයකුගේ ප්‍රචාරක ආකෘතියකට තම මුහුණ ඇතුළත් කළ දැන්වීමක් ව්‍යාජ ලෙස සකසා ප්‍රචාරය කිරීම නිසා ය.

ව්‍යාජ තොරතුරු සමාජගත කිරීම ගැන තවත් චෝදනාවක් නාලක ගොඩහේවාට එල්ල වූයේ පසුගිය අප්‍රේල් මාසයේ දී ය. ඒ ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ කොවිඞ් – 19 මර්දනයේ දී ලබා දුන් නායකත්වය පිළිබඳ ලෝක ශ්‍රේණිගත කිරීමේ දී 09 වන ස්ථානයේ සිටින බව පැවසීමට වාර්තා සකස් කිරීම සම්බන්ධයෙනි.

ඒ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන වැනි විශ්වසනීය සංවිධානවලින් ලබා ගත් රටවල් 150ක දත්ත උපයෝගී කර ගනිමින් සිදු කර ඇති විශ්ලේෂණයකින් අනාවරණය කළේ කොවිඞ් – 19 සඳහා අධි අවදානම් සහිත රටවල් අතර ශ්‍රී ලංකාව 16 වන ස්ථානයට පත්ව ඇති බවයි.

මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු සොයා යාමේ දී ගෝඨාභය රාජපක්ෂ ලොව 09 වන ස්ථානයට පත් කළ CMA Australia නොහොත් Institute of Certified Management Accountants – Australia ආයතනයෙහි ශාඛාවක් ලංකාවේ ස්ථාපනය කොට ඇති බවත්, එහි සභාපති නාලක ගොඩහේවා බවත්, ඔහු CMA Australia  හි උප සභාපතිවරයකු බවත් යන කරුණු මේ වන විට අනාවරණය වී තිබේ. ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු ලබාගෙන ඇත්තේ  healthreviewglobal.com  නම් වෙබ් අඩවියෙනි. මෙම වෙබ් අඩවිය අරඹා ඇත්තේ මාර්තු මස 19 වැනි දිනය. ඒ අනුව ඉහත  ශ්‍රේණිගත කිරීම් වාර්තාව සකසන විට ඔවුන් ඒ සඳහා තොරතුරු ලබා ගත්තේ යැයි කියන වෙබ් අඩවිය ආරම්භ කර මාසයක්වත් කල් ගත වී නැත.

රාජපක්ෂ කඳවුර තුළ සිටින බොහෝ සුදු පිරුවට ඇඳ ගත් ‘උගත්’ යැයි කියා ගන්නා අනෙක් මහත්වරුන්ගේ කැරැට්ටුව ද මීට වඩා වෙනස් නැත. අතීතයේ වැරදි වසා ගැනීමට අද සුදනන් සේ කතා කළාට රට ගොඩනැඟිය නොහැකිය.

 

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

fifteen + three =