‘සස්නක සංසද’ කල්පිටියේ කඩොලාන සිටුවයි

දිවයිනේ ප්‍රමුඛ සමාජ සේවා සංවිධානයක් වන “සස්නක සංසද”, අනාගත ජීවයේ සුරක්ෂිතතාව අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරන “Re Green Earth” පරිසර වැඩසටහන් මාලාවේ පළමු පියවර පසුගිය දා කල්පිටිය අම්මාතෝට්ටම් කලපු වෙරළ තීරයේ දී සාර්ථක ව දියත් කරන ලදී. ඒ එම වෙරළ තීරය ආශ්‍රිත ව 500කට අධික කඩොලාන පැළ ප්‍රමාණයක් රෝපණය කරමිනි.
‘සස්නක සංසද’ සභාපති හසිත විජේසුන්දරගේ උපදේශකත්වය සහ මඟ පෙන්වීම යටතේ සංවිධානය වූ මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද්දේ ‘සස්නක සංසද’ විද්‍යාර්ථීයන් වන ශෙහාන් දිසානායක සහ චලිත් විජේසිංහ විසිනි. වැඩසටහන සඳහා සහභාගි වෙමින් හසිත විජේසුන්දර, සියලු දෙනාගේ ආකල්පය සහ කැපවීම අගය කළ අතර තරුණ පරපුර ලෙස රටෙහි අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඇති වගකීම පැහැදිලි කළේය.

වැඩසටහනෙහි කාලීන වැදගත්කම හඳුනා ගනිමින් මෙම මොහොත සඳහා වැඩම කළ පරිසරය හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ, පූජ්‍ය වෑකඳවල රාහුල ස්වාමීන් වහන්සේ මතක් කර දුන්නේ, පරිසරයට අප අතින් සිදු වන හානි අප විසින් පෙරළා පුරවා තැබිය යුතු බවයි. අපගේ පැරැන්නන් අතීතයේ දී එය අකුරට ම ඉටු කළ බවත්, එම ගුණාංගය අද පරපුර තුළ ද රෝපණය විය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

සුදීස කඩොලාන ආයතනයේ අධ්‍යක්ෂ ඩග්ලස් තිසේරාගේ මෙහෙයවීම යටතේ කඩොලාන පැළ රෝපණය කිරීම සිදු වූ අතර අම්මාතෝටටම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමිය මෙන් ම ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය. සස්නක සංසද විද්‍යාර්ථීයන් ඇතුළු පරිසරයට හිතැති 100කට ආසන්න පිරිසක් ව්‍යාපෘතිය වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන් අතර ඉදිරියේ දීත් ව්‍යාපෘතියේ තවත් පියවර කිහිපයක් ම දියත් කිරීමට අපේක්ෂිතයි.

එසේම ‘සස්නක සංසද’ මඟින් ශ්‍රී ලාංකේය සිසු දරුවන්ගේ ගණිතය විෂයෙහි සාධන මට්ටම ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් “ගණිත සවිය” ජාතික සම්මන්ත්‍රණ මාලාව, භාෂා මාධ්‍ය ත්‍රිත්වයෙන් ම දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ ම පවත්වනු ලබයි. එලෙස ම රුක් රෝපණ වැඩසටහන්, ව්‍යවසායකත්ව සංකල්පය ප්‍රචලිත කිරීමේ වැඩසටහන්, නායකත්ව පුහුණු හා වෘත්තීය පුහුණු වැඩසටහන්, නව නිපැයුම් දිරි ගැන්වීමේ වැඩසටහන්, උසස් පෙළ හා විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන්, පාසල් තුළ STEM පන්ති කාමර හා ගණිතාගාර ස්ථාපනය කිරීමේ වැඩසටහන් සහ දුෂ්කර පාසල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන් ආදී ව්‍යාපෘතීන් ගණනාවක් ම සස්නක සංසද මඟින් දියත් කරනු ලබයි.

වර්ෂ 1997 දී ආරම්භ වූ ‘සස්නක සංසද’, රජයේ ලියාපදිංචි සමාජ සේවා සංවිධානයකි. ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු සහ නීතිඥයෙකු වන හසිත විජේසුන්දර එහි වත්මන් සභාපතිත්වය දරන අතර විද්වතුන්, වෘත්තිකයන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීයන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු සමස්ත දිවයින ම නියෝජනය කරන 400කට ආසන්න සක්‍රිය සාමාජිකත්වයකින් සස්නක සංසද සමන්විත වේ. ‘සස්නක සංසද’ මඟින් දියත් කරන නොනිමි සමාජ මෙහෙවර හා අත්වැල් බැඳ ගැනීමට ඔබටත් අවකාශය පවතින බව ඔවුන් දන්වයි.

Leave A Reply

Your email address will not be published.

four × five =