මාධ්‍යයෙන් පෙනෙන ඔබේ පෙනුම ගැන වදවෙන්න!

මාධ්‍යවේදියාගේ පෙනුම ගැන නොව
මාධ්‍යයෙන් පෙනෙන ඔබේ පෙනුම ගැන වදවෙන්න!
ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධනගේ කමිසයෙන් අල්ලාගෙන පොලිස් මුරපොළක් වෙත බලහත්කාරයෙන් රැගෙන ගිය, වැලිකඩ හිරගෙදරදී සිරකරුවන් 27 දෙනෙක් ඝාතනය කිරීමේ අපරාධ නඩුවේ ප්‍රධාන චූදිතයා වන පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව අවසානයේ මාධ්‍යවේදියාගෙන් සමාව ගත්තේය.
සමාව ගැනීමට වැඩිමනත්, ඔහු කියාසිටියේ ‘මාධ්‍යවේදියාගේ පෙනුම අවුල් නිසා’ මෙය සිදුවූ බවයි. ”මාධ්‍යවේදියෙක් කියල කියපු එයාගෙ පෙනුම සැකසහිත වුණා… මං ඒ වෙලාවෙත් ඒ මල්ලිට කතාකරල කිව්වා ඔයාගෙ පෙනුම අවුල් නිසා තමයි ඒ වගේ දෙයක් වුණේ කියලා. ඒක දැක්මේ අවුලක්.”
එහෙත් ‘මාධ්‍යවේදියාගේ පෙනුමේ අවුල’ හෙවත් ‘දැක්මේ අවුල’ තිබුණේ රංගජීවට පමණක් නොවේ. ඊට වඩා බොහොම බලගතු අයටද ‘මාධ්‍යවේදියාගේ පෙනුම අවුලක් වීමේ ව්‍යාධිය වැළැඳුණු ඉතිහාසයක් අපි පසුකර ආවෙමු.
රංගජීවගේ ‘දැක්මේ අවුලත්’ සමග අප මතකය එක්වරම දිව යන්නේ මෙයින් වසර 12ක් එපිට අතීතයකටය.

ෆොන්සේකාට පෙනුණු පෙනුමේ අවුල


2008 වසරේ මැදභාගයයි. යුද්ධය තදින්ම ඇවිලෙමින් තිබිණි. යුද්ධයම කඩතුරාවක් කරගනිමින් සිය විරුද්ධවාදීන්ගෙන්, විවේචකයන්ගෙන් පමණක් නොව පෞද්ගලික කෝන්තරකාරයන්ගෙන් ද ප‍ළිගන්නා පසුබිමක් රට පුරා නිර්මාණය වී තිබිණි.
ඒ අප රටතුළ රැඳීසිටිමින් ජනමාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද, සමස්ත ප්‍රජාතන්ත්‍රවාදය හා මානවහිමිකම් වෙනුවෙන්ද ශක්තිමත් කඳවුරක් සේ සටන් වැදුණු යුගයයි.
ඒ වනවිට හමුදාපතිවරයාව සිටි සරත් ෆොන්සේකා ද අපේ ජනමාධ්‍ය සංවිධාන ක්‍රියාකාරීත්වයන් නයාට අඳුකොළ බවට පත්කරගත්තෙකි. ඒ කෝන්තරය බද්ධ වෛරයක් බවට හැරුණේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාමේ සිද්ධියෙනි.

කීත් නොයාර් පැහැරගැනීම

අද කවුරුන් මොන මොන ජාතියේ කතන්දර කීවත් මධ්‍යම රාත්‍රියට ආසන්නයේ ඔහුගේ නිවස අසළ දී පැහැරගත් කීත් පාන්දර ජාමයේ ඒ පැහැර ගත්තවුන්ට අත්හැර දමා යන්නට සිදුවූයේ, සිදුවීම ආරංචි වූ තැන් පටන් හැකි සියලුම ආකාරවලින් ඔහු ගැන තොරතුරක් සොයාගැනීමටත්, ඔහුගේ දිවි ‍ගලවාගැනීමටත් දැඟලූ ජනමාධ්‍ය සංවිධාන ක්‍රියාකාරිකයන්ගේ බලවත් උත්සාහය නිසාය. අපේ ඒ මැද්හත්වීම හේතුවෙන් අවසන කීත් අත්හැරදමා යාම හැර වෙන කළහැක්කක් පැහැරගත්තවුන්ට නොතිබිණි.
කීත් පැහැරගත් දාට පසුදාම අපි ඒ පැහැරගැනීමට එරෙහිව උද්ඝෝෂණයක් කොල්ලුපිටිය මංසන්ධියේ සංවිධානය කළෙමු. පැය තුන හතරක් ඇතුළත සංවිධානය කළ උද්ඝෝෂණය, මර්දනය නොතකා සාමූහික නිදහසට කැපවූ ජනමාධ්‍යවේදීන්ගේ මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු අනෙකුත් සමාජ ක්‍රියාකාරිකයන්ගේ ඉහළම සහභාගීත්වයකින් පැවැත්විණි.

ඔත්තුකාර බලඇණි
එහෙත් සංවිධායකයන් මෙන්ම සහභාගීවන්නන් ද බියගැන්වීම පිණිස අතිවිශාල හමුදා හා පොලිස් ඔත්තුකරුවන් පිරිසක් උද්ඝොෂණය වටළමින් මෙහෙයවා තිබිණි. ඔවුහු අපේ මුහුණු ඉදිරියටම පැමිණ ඡායාරූප ගනිමින් ද, වාචික තර්ජන හා ප්‍රකෝපකාරී ශාරීරික අභිනයන්ගෙන් අප අවුස්සාගැනීමට උත්සාහ කරමින් ද සිටියහ.
”ඕගොල්ලො අමුතුවෙන් පින්තූර ගන්න මහන්සි වෙන්න ඕනැ නෑ. ආපු හැමෝගෙම පින්තූර අපි හවසට එවන්නං. මොකද මේක කවර් කරන්නෙ ඔයාලට වඩා හොඳ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රෆර්ස්ලනෙ” ආදී වූ අපට හුරුපුරුදු සරදම් වලින් පමණක් අපි ඔවුන් ලිස්සා යැවීමට උත්සාහ කළෙමු. එහෙත් එය අප සියල්ලන්ට භීෂණය තදින්ම දැනුණු එක් ප්‍රධාන උද්ඝෝෂණයක් වබව කිවයුතුය.
මේ උද්ඝෝෂණයට අදාළ තවත් වැදගත් සිදුවීම් ද, ඒවායේ අති භයංකර පසුකාලීන ප්‍රතිඵල ද පිළිබඳ සිදුවීම් ඇතත්, මේ වූකලි, තවම නොලියූ ඒ ඉතිහාසය දිගහැරීමට අවස්ථාව නොවේ.
කෙසේවෙතත්, අතට අල්ලාගත් ගොදුර ගිලදමන්නට නොහැකි වීමෙන් ද, සැබවින්ම දැවැන්ත වූ මේ උද්ඝෝෂණයෙන් ද, එහි කියැවුණු දේවලින්ද පැහැරගැනීම මෙහෙයවූවෝ ජනමාධ්‍ය සංගම් නායකයන් හා බැඳගෙ‍න සිටි වෛරය උපරිමයට නංවාගත්හ.

“මාධ්‍යවේදියො නෙවෙයි, රස්තියාදුකාරයො රොත්තක්”

මේ සිද්ධියෙන් සති කිහිපයකට පසු එවකට හමුදාපති, අද සුදු අඳින දේශපාලක සරත් ෆොන්සේකා එක්ත‍රා රූපවාහිනී නාලිකාවකට (මතක හැටියට ITN) සිය නිලඇඳුමත් ඇඳගෙන පැමිණියේය. ඔහු එදා එතැනදී අප ජනමාධ්‍ය සංගම් ක්‍රියාකාරිකයන් ගැන කීවේද අද ඔය රංගජීව කියනවාට එහා ගිය දේවල්ය.
”මටනං එයාල ජනමාධ්‍යවේදීන් වගේ පේන්නෙ නෑ. මට එයාලව පේන්නෙ නිකං කොහෙද යන රස්තියාදුකාරයො ටිකක් වගේ. පේන්නැද්ද හැටි! රැවුල් වවාගෙන, කොණ්ඩ වවාගෙන!!”
ඉන් වැඩිකාලයක් ගියේ නැත. යුද්ධය රුහිරු ගංගාවක් මැද අවසන් විය. මිලිටරි බලවතා වූ ෆොන්සේකාත්, දේශපාලන බලවතුන් වූ මහින්ද – ගෝඨා දෙබෑයනුත් අතර යුද වීරත්වය උදෙසා ගැටුම් හටගැනිණි. අන්තිමේදී මහින්දට විරුද්ධව 2010 ජනාධිපතිවරණයට තරගවැදී පරාජය වුණු ෆොන්සේකා ‘මිනීමරුවෙක් – හොරෙක් – තක්කඩියෙක් ඇදගෙන යන්නාක් මෙන්’ කුදලාගෙන ගොස් හිරේ විලංගුවේ දැමූහ.
ඔහුට එරෙහිව සිදුවූ මේ දේශපාලන පළිගැනීම් පිළිබඳ තතු ද ලෝකයට ගියේ ජනමාධ්‍ය ඔස්සේ මිස අංජනම් මාර්ගයෙන් නොවේ. ඔහු ජනමාධ්‍ය සම්බන්ධයෙන් දැරූ ආකල්පය කුමක්දැයි යන්න නොසිතා, කොන්දකුත්‍, වෘත්තීයභාවයකුත් ඇති ජනමාධ්‍ය ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් මාධ්‍ය භාවිතාවේ නියැලුණහ.

රස්තියාදුකාරයන් වෙනුවෙනුත් පෙනීසිටින්නට සිදුවීම

එයින් ටික කලකට පෙර ‘කොහෙද යන රස්තියාදුකාරයන් රොත්තක්’ ලෙස පෙනුණු ජනමාධ්‍යවේදීනුත්, ඔවුන් එදා සටන් වැදි, තමන්ට එදා නයාට අඳුකොල බදු වූ ජනමාධ්‍ය නිදහසත් ජනාධිපතිවරණ සටනේදීත්, හිරේ විලංගුවේ වැටී සිටියදීත් ෆොන්සේකාට කතාකරන්නට, පෙනීසිටින්නට තරම් වැදගත් දේවල් බවට’ පත්විය. එදා රස්තියාදුකාරයන් ලෙස පෙනුණු ඇතැම් මාධ්‍යවේදීන්ගේ නම් ගම් පවා මතක් කරමින්, ඔවුන්ට රාජපක්ෂලාගෙන් සිදුවූ මර්දනය ගැනත් කතාකරන්නට ඒ ගැන කම්පාවන්නට සිදුවිය.
ඉතින්, මෙහෙම ඉතිහාසයක් පසුකර ආ අපි අපි රංගජීවලා වැනි කුලීකාරයන්ගේ ‘දැක්මේ අවුල ගැන’ පුදුම වියයුතුද?
ජනමාධ්‍ය සර්ව සම්පූර්ණ හෝ අති පාරිශුද්ධ නැත. එසේ තිබීත් නැත. අනාගතයේ තිබෙන්නේත් නැත. ඇත්ත වශයෙන්ම නම් ජනමාධ්‍ය අද ගෝලීය මට්ටමින්ම අර්බුදයකට මුහුණ දෙමින්, පරණ වටිනාකම් වෙනුවට ‘අලුත් හැඩතල’ අත්පත්කරගනිමින් පවතී.
එහෙත් ජනමාධ්‍යයේ බලපෑම නම් එහෙම ලේසියෙන් අඩුවී යන පාටක් පේන්නටත් නැත.

මාධ්‍යවේදියාගේ පෙනුම සහ ඔබේ පෙනුම


එබැවින් මේ මහත්තුරුන්ට අපට කියන්න ඇත්තේ මෙපමණෙකි. පෑනත්, කැමරාවත් පිටිපස්සේ ඉන්නා කෙනාගේ පෙනුමේ අවුල් හොයන්නට යනවා වෙනුවට ඒවායෙන් නිශ්පාදනය වන ජනමාධ්‍ය නම් දර්ප‍ණයේ පිළිබිඹු වන ඔබේම පෙනුම ගැන වදවෙන්න. එහි පිළිබිඹු වන ඔබේ පෙනුම මිනීමරුවෙක්ද, හොරෙක්ද, මංකොල්ලකාරයෙක්ද යන්න ගැන වදවෙන්න. ඔබ එහෙම පෙනෙන්නේ කැමරාකාරයාගේ, ලියන එකාගේ පෙනුමේ අවුල නිසා නොව, ඔබේ ඇත්ත මුහුණුවරේ අවුල නිසාය යන යථාව තේරුම්ගන්න.
ඔබට ජනමාධ්‍යවේදීන් දෙතුන් දෙනකු මරාදමන්නටත්, තව දෙතුන් දෙනකු බයකරන්නටත්, තව දෙතුන් දෙනකු සල්ලිවලට ගන්නටත් හැකිවන්නට පිළිවන.
ජනමාධ්‍ය අයිතිකාරයන් රොත්තක් අපාය‍ සහායකයන් හා ගජමිතුරන් කරගන්නටත් හැකිවන්නට පිළිවන.
එහෙත් ඔබට සමස්ත ජනමාධ්‍යයේ කට වහන්නටවත්, සමස්ත ජනමාධ්‍යය මරාදමන්නට, බයකරන්නට හෝ සල්ලිවලට ගන්නටවත් බැරිය.
ඒ නිසා ඔබ කැමැති විදියට ඇඳගෙන ඉන්නා ජනමාධ්‍යවේදීන් මෙන්ම පෙනුමේ අවුල් තිබෙන ජනමාධ්‍යවේදීන්ද ඔබට ඔබේ මුළු දිවිය පුරාම හමුවන්නට නියමිතය යන සත්‍යයට ඇහැරෙන්න!
-සනත් බාලසුරිය

Leave A Reply

Your email address will not be published.

eighteen + seven =