මහින්දානන්දට එරෙහිව පැමිණිල්ලක්

මහින්දානන්දට එරෙහිව පැමිණිල්ලක්

 

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පාවා දුන් බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශයට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින්, පසුගිය දා සමාජවාදී තරුණ සංගමය,  Save the Sports සංවිධානය එක්ව ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් භාර දෙන ලදී.

ඊට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, නීතිඥ සුනිල් වටගල, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චරිත් ගලහේන, මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි සහ ගීත රචක රවී සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වූහ.

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගය ඉන්දියාවට පාවා දී ඇතැයි කියමින්, සිදු කරන ලද සාවද්‍ය පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රීඩා පනතේ අලුත් සංශෝධන අනුව 13 වැනි වගන්තිය යටතේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට නඩු පවරා එයට වරදකරු කොට වසර 03කට සිරගත කළ හැකි බව නීතිඥවරු පැවසූහ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ද මහින්දානන්දට එරෙහිව නඩු පැවරිය හැකි ආකාරය පිළිබඳව කළ සොයාබැලීමක දී මේ බව හෙළිව ඇතැයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

හිටපු අමාත්‍ය මහින්දානන්ද විසින් ඉදිරිපත් කරන ලද තර්ක හා ලේඛන සාවද්‍ය ඒවා බව කුමාර සංගක්කාර හා අරවින්ද ද සිල්වා විසින් ද පසුගිය දා ක්‍රීඩා අමාත්‍යාංශයේ දූෂණ විමර්ශන ඒකකයට ලබා දුන් ප්‍රකාශ අනුව තහවුරුව ඇති බවයි පැවසෙන්නේ.

ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පාවා දීම පිටුපස ක්‍රිකට් ක්‍රීඩකයන් නැති බව තමා පැහැදිලිව ප්‍රකාශ කර තිබියදීත්, ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිස් විමර්ශන ඒකකය ක්‍රිකට් ක්‍රීඩකයන් කැඳවීම ප්‍රශ්නසහගත බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නාවලපිටියේ දී ප්‍රකාශ කළේ ය. ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් තොරතුරු නැතැයි පවසා විමර්ශන කටයුතු අවසන් කිරීමට තීරණය කරනු ලැබුවේ වැරැදි ලෙස පරීක්ෂණ ආරම්භ කිරීම නිසා ඇති වූ ගැටලු වසා ගැනීමට බවයි හිටපු අමාත්‍යවරයාගේ අදහස වන්නේ.

“එක්කෙනෙක්ගෙන් කට උත්තර අරගෙන පරීක්ෂණය වහන්න පුළුවන් ද? මේ විදියට තමයි, පොලිසිය යහපාලන ආණ්ඩුව කාලයේ කටයුතු සිදු කළේ. පොලිස් ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.”යි මහින්දානන්ද අලුත්ගමගේ එහි දී සඳහන් කළේ ය.

නිර්වාන් අනුත්තර

Leave A Reply

Your email address will not be published.

thirteen + seven =