ළමා මනසක වර්ණ-රේඛා සහ හැඩතල

ඇය මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ දෘශ්‍ය කලා ඉතිහාසයට අයත් ය- ඇගේ නිර්මාණ අතීත, වර්තමාන, අනාගත යන කාලාවකාශ තරණය කරමින් ශිෂ්ටාචාරයේ විවිධ වූ කලා ආස්ථාන හරහා ගමන් කරතැයි විශ්වාසයෙන් යුතුව මෙම සටහන තබන්නට කැමැත්තෙමි.

සිබිල් වෙත්තසිංහ නම් වූ කෘතහස්ත චිත්‍ර ශිල්පිනිය දහනමවන වියෙන් ආරම්භ කළ චිත්‍ර කලා ජීවිතය ඉකුත් ජූලි මස පළමුවන දින අනූ තුන්වන වියෙන් අවසන් කළේ මෙරට ළමා (ළමයින් සඳහා වූ) චිත්‍ර කලා ශානරය තුළ නිදහස් කලා ශෛලියක් මඟින් ශ්‍රී ලාංකික සලකුණ දෘශ්‍ය කලා ඉතිහාසයට එක් කරමින් යැයි කියතොත් නිවැරැදි ය.

නිදහස් දෘශ්‍ය කලා ශෛලියක් සහිත කලාකෘතියක් ප්‍රේක්ෂක කියවීමට ලක්වීම මඟින් ඒ හා බැඳුණු වින්දනීය අවකාශයක් නිර්මාණය වීම හෝ කියවීම බුද්ධිමය කතිකාවක් දක්වා සංවර්ධනය  වීමේදී කෘතියට ආශක්ත වූ ප්‍රේක්ෂක ගණයක් නිර්මාණය වීම සාමාන්‍යයෙන් සිදු වේ.

එලෙස කලා කෘතිය සඳහා වූ ප්‍රේක්ෂක ගණයක් නිර්මාණය වීම එම කෘතියේ ගුණ නැවත ඉල්ලා සිටින සංස්කෘතික අවකාශයක් බිහි කිරීමට බලපාන අතර, එහි දී අර නිදහස් භාෂිත කෘතිය කලා ඉතිහාසයට නව ශානරයක් හෝ නව උප ශානරයක් ලෙස ඊට අනන්‍ය වූ ගුණවලින් යුක්ත කලා කෘති නිර්මාණය කිරීමට මෙන් ම එහි වූ ගුණ ඓන්ද්‍රීයව වර්ධනයකට ලක් කිරීමට කලාකරුවාගේ පරිකල්පනය මෙහෙයවීම සිදු කරයි.

නිදහස්කාමී කලා භාවිතයකට එළඹීම ද, කෘතිය වෙනුවෙන් ප්‍රේක්ෂක ගණයක් නිර්මාණය වීම ද ප්‍රේක්ෂක ගණය විසින් කෘතියේ අනන්‍ය ගුණ යළි ඉල්ලා සිටීම සහ එම අනන්‍ය ගුණ ඓන්ද්‍රීයව වර්ධනය කිරීම තුළ නව ශානර හෝ උප ශානර බිහි වීම ද දක්වා වන ක්‍රියාවලිය කිසිසේත් මේ දක්වා ලියන ලද වචන කිහිපය තරම් සරල හෝ කෙටි නොවන අතර, එකී වචන ප්‍රමාණයෙන් කිසිසේත් සවිස්තර කළ හැකි සංස්කෘතික කාර්යයක් නොවේ- එය යම් කලාකරුවකුගේ ජීවිත කාලය තුළ ඇය හෝ ඔහු විසින් මානසික වශයෙන් වැය කරන ලද පරිකල්පන බුද්ධිය ද, කායික වශයෙන් වැය කරන ලද ශ්‍රමය ද ඒකාත්මික වූවකි.

ඇගේ සිතුවම් හුදු සන්නිදර්ශන චිත්‍රය අභිබවා යන්නේ ඉහත දාර්ශනික පසුබිම තුළ ය. එබැවින්, ඇගේ සිතුවම් ශෛලිය ‘ආඛ්‍යාන චිත්‍ර’ ලෙස නම් කිරීමට කැමැත්තෙමි. ඒ ඇගේ කතන්දර පොත්වල ද, චිත්‍ර කතාවල ද සාහිත්‍යය විසින් දරා ගන්නා ප්‍රකාශනයට නොදෙවැනිව සිතුවමේ ප්‍රකාශනය පෙනී සිටින බවට දැනෙන හෘදයාංගම  සංවේදනාව හේතුවෙනි.

සිබිල් වෙත්තසිංහ තම ජීවිතය කාලය තුළ නිදහස්ව ගොඩනඟා ගත් චිත්‍ර ශෛලියකින් චිත්‍ර කතාව ද, ළමා සන්නිදර්ශන චිත්‍රය ද ප්‍රවර්ධනය කළ අතර, නිදහස්කාමී කලා භාවිතය පිළිබඳ න්‍යාය ද, නිදහස් ඇඳීම තුළ ඇති මනෝ විද්‍යාත්මක එළැඹුම් ද තම නිර්මාණ වෙතින් මෙරට කලා සංස්කෘතියේ පෙරබිමට කැඳවා ඇත.

යටත්විජිතකරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙරට දෘශ්‍ය කලා සංස්කෘතියට සම්පර්කයක් වූ ශාස්ත්‍රාලීය චිත්‍ර කලා සම්ප්‍රදායයෙන් පටන්ගෙන විසිවන සියවසේ නූතනවාදී කලා ප්‍රවණතාව වර්ධනය වීමේ සිට සමකාලීන දෘශ්‍ය කලාව දක්වාම අගනගරය කේන්ද්‍රීය දෘශ්‍ය කලා සංස්කෘතියක් බිහි වීම ද බොහෝ විට මධ්‍යම පාන්තික මුහුණුවරකින් පෙනී සිටින්නට වෙර දරන දෘශ්‍ය කලා සංස්කෘතියක් හිමි වර්තමාන මොහොත දක්වා වූ සංස්කෘතික වපසරිය සිබිල් වෙත්තසිංහගේ කලා භාවිතය අභිමුඛව අභියෝගයට ලක් වෙයි.

ඒ අගනගරයේ පෞද්ගලික ගැලරියක චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීම මඟින් ප්‍රේක්ෂක අතළොස්සක් දිනා ගැනීම සමඟ තම කලා කෘති විසින් දරා ගත් න්‍යායාත්මක සහ දාර්ශනික ප්‍රකාශන ඉදිරිපත් කිරීම මඟින් ‘මහානුභාවසම්පන්න’ කලාකරුවන්, කලාකාරිණියන් ලෙස සමාජගත වීම ද, දෘශ්‍ය කලා සංස්කෘතිය තුළ සමාජ ධුරාවලි පරතරය පුළුල් කිරීම ද කලා ලෝකය දිනා ගැනීමේ ‘විමුක්ති මාර්ගය’ ලෙස සලකන ඊනියා දෘෂ්ටිවාදය සිබිල් වෙත්තසිංහගේ ළමා චිත්‍ර හමුවේ අතාර්කික වීම නිසා ය.

ඇගේ නිර්මාණ වෙත ආශක්ත වූ ප්‍රේක්ෂක ගණය ළමයින් ය- ඇගේ නිර්මාණ යළි ඉල්ලා සිටියේ මෙරට ළමා ප්‍රජාවය- සිබිල් වෙත්තසිංහ මෙරට කලාකාරිණියක ලෙස දෘශ්‍ය කලා ඉතිහාසය තුළ ස්ථානගත වන්නේ සමස්ත ශ්‍රී ලංකා ළමා ප්‍රජාවට වින්දනීය මානසික අවකාශයක් සලසන සෞන්දර්ය වේදිනියක ලෙස ය- ලාන්විත නිදහස් රේඛාවෙන් ද, ඇතැම් විට නුමුහුම් වර්ණයෙන් ද ළමා නෙත් ග්‍රහණය කර ගත හැකි සිතුවම්වල සංස්කෘතික දේශපාලනය උඩු දුවන්නේ එම සිතුවම් සරල ආඛ්‍යාන සිතුවම් වීම නිසා ය- එමෙන්ම ඇය කලාකාරිණියක වන්නේ චිත්‍රයට කතා කියන චිත්‍රයට කතාව ද කතාවට චිත්‍රය ද මුහු කරන ‘සිබිල් නැන්දා’ වීම නිසා ය- ආදරණීය කතා කීම තුළ ය.

ඇගේ සිතුවම් හුදු සන්නිදර්ශන චිත්‍රය අභිබවා යන්නේ ඉහත දාර්ශනික පසුබිම තුළ ය- එබැවින්, ඇගේ සිතුවම් ශෛලිය ‘ආඛ්‍යාන චිත්‍ර’ ලෙස නම් කිරීමට කැමැත්තෙමි- ඒ ඇගේ කතන්දර පොත්වල ද, චිත්‍ර කතාවල ද සාහිත්‍යය විසින් දරා ගන්නා ප්‍රකාශනයට නොදෙවැනිව සිතුවමේ ප්‍රකාශනය පෙනී සිටින බවට දැනෙන හෘදයාංගම  සංවේදනාව හේතුවෙනි.

ළමා සිතුවම් කලාව සමස්ත ශ්‍රී ලාංකික ළමා පුරවැසියන් වෙත ගෙන යාමට දැරූ අප්‍රතිහත ශ්‍රමය සිබිල් වෙත්තසිංහ ජය ගත්තේ ඇගේ කලා ශෛලිය තුළ භාෂාව හසුරුවන උපක්‍රම නිසා බව කලා ජීවිතය පුරා පළ කළ දෙසීයක් පමණ වූ පොත්වලට ඇඳ ඇති ආඛ්‍යාන සිතුවම්වලින් හෙළිදරව් වෙයි.

සිබිල් වෙත්තසිංහගේ චිත්‍රවලට හා කතාවලට පාදක වන වස්තු විෂයයන් මෙරට ජන සමාජයේ ප්‍රචලිත ජනකතා හෝ සුරංගනා කතා එසේත් නැතිනම්, එම කතාවල ආභාසයෙන් ගොතන ලද ස්වාධීන කතා ඇසුරු කර ගත් චිත්‍ර හෝ කතා ය- සිබිල් වෙත්තසිංහගේ කලා භාවිතයට මෙරට ළමා චිත්‍ර සම්ප්‍රදායයේ වැදගත් තැනක් හිමි වන්නේ කලක පටන් මෙරට භාවිත වූ මුද්‍රිත කතාන්දර චිත්‍ර අතර සැරිසැරූ යුරෝකේන්ද්‍රීය චරිත වන සින්ඩරැල්ලා, හිමකුමාරි, තම්බලීනා වැනි චරිත වෙනුවට කුඩ හොරා, බඩගිනි පූසි, උඩ ගිය බබා වැනි දේශීය චරිතවල ආගමනය සනිටුහන් වීම ය- එම චරිතවල ආගමනය නිසා මෙරට ළමුන් සිය සංස්කෘතිය තුළ ස්වාධීන චිත්තරූප නිර්මාපකයන් වීම, තම යථාර්ථ ජීවිතය වෙනුවෙන් සිහින දකින්නන් වීම, සංස්කෘතික අගැයුම් ග්‍රහණය කර ගන්නන් වීම මෙන්ම ස්වාධීන වාස්තවික ලෝකය සිතුවමින් අත්දකින සෞන්දර්ය ප්‍රීතිකයන් බවට පත් වීම සිදු විය.

මානව ශිෂ්ටාචාරය තුළ ළමයා වැඩිහිටියකු ලෙස සමාජානුයෝජනය කිරීමේ දී සංස්කෘතික ප්‍රතිමාන සහ ධර්මතා සහිත අගැයුම් පද්ධතිය ඉගැන්වීමේ ඓතිහාසික ක්‍රමයක් ලෙස භාවිත වන්නේ කතා කිරීම ය- සමාජ චර්යා, සිරිත්-විරිත්, සමාජ සම්මතයන් මෙන්ම ආචාරධර්ම ඉගැන්වීමේ දී සෞන්දර්ය අභිප්‍රේරණයක් ඉවහල් කර ගැනීමේ අවශ්‍යතාව ලෝකයේ බොහෝ ශිෂ්ටාචාරගත සංස්කෘති තුළ පිළිගැනෙන සාධකයකි- කතා කීම හෙවත් කතාන්දර කියා දීම එම සෞන්දර්ය අභිප්‍රේරණයේ ප්‍රමුඛස්ථානය හිමි කරගෙන ඇති අතර, ඊට හේතුව වන්නේ කතාව ඇසීම තුළ ඒ හා බැඳුණු චිත්තරූප මවා ගැනීමේ හැකියාව නිසා ළමයින් තමන්ට අනන්‍ය වූ චිත්ත රූපයක් මඟින් සංස්කෘතික අගැයුම් පද්ධතිය ග්‍රහණය කර ගන්නා බැවිනි.

එමෙන්ම චිත්ත රූප මවා ගැනීම තුළ පරිකල්පනාත්මක ශක්‍යතාව වර්ධනය වන අතර, ජීවත් වන අවට ලෝකය සහ එතුළ තම පැවැත්ම තමාට ආවේණික රූපයකින් පහසුවෙන් ඥානනය කර ගැනීමට ළමයින් පෙළඹෙන නිසා ය- එමෙන්ම නිර්මාණකරණයේ දී තමාට ආවේණික දෘශ්‍ය භාෂාවක් හසුරුවමින්, තමා අවට ලෝකයේ භෞතික දේ පහසුවෙන් ප්‍රතිනිර්මාණය කිරීමට පෙළඹීමේ හැකියාව කතා ඇසීම තුළ නිපුණතා සංවර්ධනයක් අත් කර ගැනීම නිසා ය.

සිබිල් වෙත්තසිංහ තම ළමා චිත්‍ර නිර්මාණ වෙත ග්‍රහණය කරන්නේ මෙම ළමයින් තුළ ඇති වන සෞන්දර්ය අභිප්‍රේරණය හා බැඳුණු ළමා මානසිකත්වයයි- ළමා කතාන්දරයට ළමා චිත්‍රය මුසු කිරීමේ කාර්යය බැරෑරුම් වන්නේ සිබිල් වෙත්තසිංහ වැඩිහිටියකු වශයෙන් ළමා මනසක් ‘ඉල්ලා ගැනීම’ තුළ ය.

ළමා චිත්තරූපී අඩවිය තුළ මූලධර්ම නැත. සම්බාධක නැත- නිශ්චිත ව්‍යාකරණ හෝ නිශ්චිත ආකෘති නැත. සිහිනමය ස්වභාවයක් දරන මනෝමූලික ප්‍රපංච එක් එක් ළමයාට දරන්නේ සාපේක්ෂතාවකි- එහෙත්, එම චිත්තරූප සිතුවමක් ලෙස දෘශ්‍ය පඨිතයකට පොළාපැනීමට සැලැස්වීම සමඟ ඊට ආවේණික මූලධර්ම යම් පමණකින් සපයා ගත යුතු ය- මාධ්‍යයක් සපයා ගත යුතු ය-  වර්ණ හා හැඩ සපයා ගත යුතු ය- සිබිල් වෙත්තසිංහ ළමා චිත්‍ර නිර්මාණය කිරීමට මෙම සපයා ගැනීම්වලට පෙර සිදු කර ඇති කාර්යය වන්නේ ළමා මනසක් සපයා ගැනීමයි- ළමා මනස තුළ වන සම්බාධකවලින් තොර නිදහස් කාමය විසින් ඇය පසුව සපයා ගත් පෝස්ටර් තීන්ත හෝ දියසායම් කඩදාසි මත හැඩතල නිර්මාණය කිරීමේ කාර්යය පවරාගෙන ඇති බව දැකිය හැකි ය- රිද්මයානුකූල නිදහස් රේඛා රිසි පරිදි මහත් වීම ද, සිහින් වීම ද විටෙක අඛණ්ඩව ද විටෙක කඩ රේඛා ලෙස ද සිතුවම් තුළ සංවිධානය වී ඇත්තේ ළමා මනස තුළ නිදහසේ විවිධ චිත්ත රූප මැවෙන්නට ඇති සාපේක්ෂතාවට අනුරූපව ය- එමෙන්ම නිශ්චිත වර්ණ කාණ්ඩයක් තුළ සීමා මායිම් ලකුණු නොකරන සිබිල් වෙත්තසිංහගේ ළමා සිතුවම් තුළ ඇත්තේ බහුවර්ණ සමුදායකි.

එමෙන්ම වර්ණ උපයෝගී කර ගනිමින් රේඛා හා හැඩතල හසුරුවන නිදහස් ළමා සිතුවම් අවකාශය තුළ ත්‍රිමාණ ලක්ෂණ දැක්වීම, පර්යාවලෝක රීතීන් දැක්වීම හෝ තලය සංවිධානය කිරීම් සම්බන්ධ නියත රීති නැත- පැතලි වර්ණ පදාස ද, ඒ මත ඇඳෙන රේඛා ද ළමා ඇස සුන්දරත්වය දැකීමේ උත්කර්ෂයට ගෙන එයි- බොහෝ විට නුමුහුම් තද වර්ණ විචිත්‍රවත් සිහිනමය ළමා ලෝකයක්  ප්‍රතිනිර්මාණය කරයි.

පොත් සඳහා රූප ඇඳීම උසස් කලා කටයුත්තක් ලෙස නොසලකන වාණිජ කලාවක් ලෙස පරාමිතිගත කොට තිබෙන සහ මෙහි පෙර සඳහන් කළ පරිදි ‘උසස් කලාව’ සහ ‘කලා ලෝකය’ දිනා ගැනීම් පිළිබඳ ඊනියා දෘෂ්ටිවාදය සහිතව කලාකෘති ධුරාවලි ගතකරන, කලාකරුවන් ධුරාවලි ගත වන කලා සංස්කෘතියක් තුළ සිබිල් වෙත්තසිංහගේ චිත්‍රවල දකින ආකර්ෂණීය දෘෂ්ටිගෝචරත්වය වාණිජත්වය අතික්‍රමණය කරමින් සාකල්‍යවාදී කලා අඩවියක් දෙසට හැරෙන්නේ මෙම කරුණු හේතුවෙනි.

පසන් සමරදිවාකර

Leave A Reply

Your email address will not be published.

ten + 15 =