කුරුණෑගල NTJ පුහුණු කඳවුරක් ගැන තොරතුරෙන් 06ක් අත්අඩංගුවට

කුරුණෑගල ප්‍රදේශයේ පොල් ඉඩමක යම් පිරිසක් පුහුණු කඳවුරක් පවත්වා ඇති බවට ලැබුණු තොරතුරක් මත කරන ලද විමර්ශනවලදී සැකකරුවන් 06 දෙනෙකු මේ වනවිට අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

මුලින්ම එම පොල් ඉඩමේ හිමිකරු, මෙම පුහුණු වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු කළ පුද්ගලයා සහ එම වැඩසටහනේ දේශකයකු යන තිදෙනා මැයි මස 09 වනදා අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ව මැයි 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔවුන්ගෙන් ලද තොරතුරු මත කුරුණෑගල රෝහලේ ඊ.සී.ජී. අංශයේ සේවකයකු සහ තවත් අයෙකු අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම රෝහල් සේවකයාගේ බැංකු ගිණුමට නොයෙකුත් පුද්ගලයින් වරින් වර විශාල මුදල් ප්‍රමාණයක් බැරකර ඇති බවත් ප්‍රකාශ කළේය. ඔවුන් දෙදෙනා කුරුණෑගල පොලිසිය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙමින් පවතී.

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සුචිගත කිරීමේ නිලධාරියකු වශයෙන් සේවය කළ පුද්ගලයකු පසුගිය 18 වනදා අත් අඩංගුවට ගැනීමට හැකිවූයේ ඉහත සඳහන් කළ සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමෙන් ලද තොරතුරු මත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. ඔහුවත් රඳවා ගැනීමේ නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කෙරේ.

එසේ අත් අඩංගුවට පත් ජමාල්ඩීන් නවුෂාඩ් නමැත්තා 2006 වසරේ සිට පාර්ලිමේන්තුවේ සේවය කර ඇත. තවුහිද් ජමාත් සංවිධානය ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා පවත්වන ලද දේශන මාලාවෙහි ප්‍රධානතම දේශකයකු ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වනවිට 89 දෙනෙකු රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙන අතර ඔවුන්ගෙන් 69 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත් 20 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේත් පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.

LNW

Leave A Reply

Your email address will not be published.

sixteen + 15 =