Formula 1 වර්ගවාදයට එරෙහිව දණ නමයි!

දිනය පසුගිය ජුලි 05 වනදා ය. ස්ථානය ඔස්ට්‍රියාවේ ස්පිල්බර්ග් ධාවන පථය ය. අවස්ථාව මෝටර් රථ ධාවන තරගයන්හි ලොව විශාලතම සහ ඉහළම ධාවන තරගාවලිය ලෙස සලකන Formula 1හි 2020 තරග වාරයේ පළමු තරගය ය.

වෙනදා Formula 1 තරගයක් නරඹන්නට සාමාන්‍යයෙන් සහභාගි වන එක්ලක්ෂ පනස් දහසක් පමණ වන නරඹන්නන් මෙවර පැමිණ සිටියේ නැත. ඒ කොවිඞ් වසංගත අවදානම හේතුවෙන් නරඹන්නන් නොමැතිව තරග පවත්වන්නට ගත් ආරක්ෂක පියවර නිසාවෙනි. කෙසේ නමුත් මානාගත් දිගුදුර ලෙන්ස සහිත කැමරා සහිතව රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යවේදීන් බලා සිටියේ ලෝකයේ වේගවත්ම තරගයක රූපරාමු සිය මාධ්‍ය ආයතන වෙත යුහුසුළුව ලබාදෙනු රිසිනි.

සුපුරුදු ලෙස සවස තුන පසුවී මිනිත්තු 10 කණිසමට තරග ආරම්භය යෙදී තිබිණි. එයට මිනිත්තු දහ හතරකට පෙර සත්කාරක ඔස්ටි්‍රයාවේ ජාතික ගීය වාදනය වීම ඇරඹිණි.

සාමාන්‍යයෙන් වෙනදා රියැදුරන් සිටගෙන ජාතික ගීයට ගරු කිරීම සිදුවුණද, බ්‍රිතාන්‍ය ජාතික රියදුරු ලුවිස් හැමිල්ටන් සිය වම් දණහිස බිම නමා, තම දෑත් එකිනෙක හරස් ලෙසට දකුණු පාදය මත තබා වර්ගවාදයට හා ජාතිවාදයට එරෙහි සුප්‍රසිද්ධ (Kneeling) සංකේතය දැක්වුවේය. ඔහුගේ අඩක් විවෘත කර තිබූ ආරක්ෂිත ධාවන ඇඳුම අතරින් වර්ගවාදයට හා ජාතිවාදයට එරෙහි ‘Black Lives Matter’ සඳහන් කළු පැහැ සැහැල්ලු කමිසය දිස්විය.

වර්තමාන Formula 1 තරගකරුවන් අතර සිටින එකම කළු ජාතිකයා වන හැමිල්ටන් අනුව යමින් තවත් තරගකරුවන් දහතුන් දෙනෙක් සිය දණ නමා වර්ගවාදයට හා ජාතිවාදයට එරෙහිව සිය මතය නිහඬව ලොවට ප්‍රකාශ කළහ. ඉතිරි තරගකරුවන් සයදෙනා හැමිල්ටන්ට සහ සිය සගයන්ට පිටුපසින් සිටගත්හ.  ‘Black Lives Matter’ පාඨය ප්‍රදර්ශනය කළ හැමිල්ටන් හැර අනෙක් සියලු තරගකරුවන්, වෙනදාට පළඳින තමන්ගේ කණ්ඩායමේ හා අනුග්‍රාහකයන්ගේ ලාංඡන සහිත වෛවර්ණ ඇඳුම් වෙනුවට ‘End Racism’. පාඨය සඳහන් කළු පැහැති ඇඳුමින් සැරසී සිටියහ. හැමිල්ටන් සහ අනෙකුත් රියැදුරන්ට ඉදිරියෙන් වූ තරග ආරම්භක හා අවසාන රේඛාව මත ‘End Racism’ පින්තාරු කර තිබිණි.

තරගකරුවන් විසිදෙනාගෙන් හය දෙනෙකු සුප්‍රසිද්ධ Kneeling සංකේතය දැක්වීමට සිය දණ බිම නොතැබූ නමුදු ඔවුන්ව නියෝජනය කරමින් මොනාකෝ ජාතික රියැදුරු චාල්ස් ලෙකාර්ක් පැවසුවේ තමන් එසේ Kneeling නොදක්වන්නේ ජාතිවාදයට හා වර්ගවාදයට පක්ෂව නොවන බවයි.

මේ සියල්ලට පසුපසින් කණ්ඩායම් 10කට අයත් තරගකරුවන් 20කගේ සහායක තාක්ෂණික කණ්ඩායම් සිය දණ බිම තබා ජාතිවාදයට එරෙහි අදහස ලොවට කියාපෑවෝය. දණ නමා සිටින සියලු දෙනා අතර හැමිල්ටන් ධාවනය Formula 1 රථය කැපී පෙනිණි. ඔහු හා Mercedes කණ්ඩායම නියෝජනය කරන අනෙක් රියැදුරා වන ස්වීඩන් ජාතික වැල්ටර් බොටාස්ගේ රථ දෙක, ඔවුන්ට සුපුරුදු අළු පැහැය වෙනුවට වර්ගවාදයට හා ජාතිවාදයට එරෙහි සංකේතයන් ලෙස කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබිණි.

පසුගිය වසරේදී දශක හතක් සපිරුණු Formula 1 තරග බිමට මේ විරෝධතාව ආගන්තුක විය හැකි නමුදු මේ සියල්ල ඇරඹුණේ සති පහකට පෙර මැයි 25වනදා ඇමෙරිකාවේ මිනියාපොලිස් ප්‍රාන්තයේ කළු ජාතිකයකුගේ ඝාතනයත් සමඟය. අත්අඩංගුවට ගැනීමකදී පොලිස් නිලධාරියකු කළ අමානුෂික ක්‍රියාවක ප්‍රතිඵලය වශයෙන් සිදුවූ ජෝජ් ෆ්ලොයිඞ් නම් කලු ජාතිකයාගේ මරණය, වර්ගවාදයට හා ජාතිවාදයට එරෙහි ලෝක විරෝධතා රැල්ලකට මූලබීජය විය. සමාජ ඒකරාශීවීමෙන් පැතිර යා හැකි ලෝක මට්ටමේ වසංගතයක් වූ කොවිඞ් – 19 වෛරසයට, වර්ගවාදයට හා ජාතිවාදයට එරෙහි මිනිස් හදවත් දුර්මුඛ කිරීමට නොහැකිවිය. ජෝජ් ෆ්ලොයිඞ් ඝාතනය නම් ආසන්න සිදුවීමෙන් උත්තේජනය ලද ‘මිනිස්’ ක්‍රියාකාරීන් වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණ, විරෝධතා ලොව පුරා පවත්වන්නට විය.

ඔස්ට්‍රියා Formula 1 තරගයට සතියකට පෙර අන්තර්ජාල හමුවක් හරහා එකිනෙකා හා සම්බන්ධ වූ Grand Prix Drivers’ Association (GPDA) හි සාමාජික රියැදුරන් විසිදෙනා (ලුවිස් හැමිල්ටන්, වල්ටරි බොටාස්, සෙබස්තියන් වෙටාල්, ඩැනියෙල් රිකාඩෝ, ලැන්ඩෝ නොරිස්, ඇලෙක්ස් ඇල්බොන්, රොබර්ට් කුබිකා, රෝමන් ග්‍රෝජෝන්, සර්ජියෝ පෙරෙස්, පියරේ ගැස්ලි, එස්ටබාන් ඔකොන්, කෙවින් මැග්නසන්, ලාන්ස් ස්ට්‍රෝල්, ජෝර්ජ් රසල්, නිකොලස් ලටිෆි, මැක්ස් වෙස්ටපාන්, චාල්ස් ලෙකාර්ක්,  කාර්ලෝස් සේන්ස් ජුනියර්, කිමී රයිකොනන්, ඇන්ටොනියෝ ජියෝවිනාස්සෝ, ඩැනිල් ක්වයාට්) වර්ගවාදයට එරෙහි තම මතය ප්‍රකාශ කිරීමේ වේදිකාවක් බවට ඔස්ට්‍රියා තරගය පත් කරගැනීමට තීරණය කළහ.

බ්‍රිතාන්‍යය – කළු ජාතිකයෙක් වශයෙන් තරගයට පෙර දණ නැමීමේ ඉරියව්ව ප්‍රදර්ශනය කිරීමට තීරණය කර සිටි හැමිල්ටන් පසුව ප්‍රකාශ කළේ එම ඉරියව්ව දක්වන ලෙස තමන් අනෙකුත් රියදුරන් ගෙන් ඉල්ලා නොසිටි බවත්, ඉහත රියැදුරන්ගේ සංගමයේ අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කරන ප්‍රංශ-ස්විස් ජාතික රෝමන් ග්‍රෝජෝන් හා ජර්මානු ජාතික සෙබස්තියන් වෙටාල් එම යෝජනාව ගෙන ආ බවත් ය. කෙසේ වෙතත් රියදුරන්ගේ මෙම ප්‍රකාශනය තමන්ට හා වර්ගවාදයට එරෙහි සටනට ජවයක් බවත් ඔහු සඳහන් කළේය.

මෙහිදී තරගකරුවන් විසිදෙනාගෙන් හය දෙනෙකු සුප්‍රසිද්ධ Kneeling සංකේතය දැක්වීමට සිය දණ බිම නොතැබූ නමුදු ඔවුන්ව නියෝජනය කරමින් මොනාකෝ ජාතික රියැදුරු චාල්ස් ලෙකාර්ක් පැවසුවේ තමන් එසේ Kneeling නොදක්වන්නේ ජාතිවාදයට හා වර්ගවාදයට පක්ෂව නොවන බවයි.

“අපි, රියැදුරන් විසිදෙනාම වර්ගවාදයට, ජාතිවාදයට හා සමාජ අගතියට එරෙහිව ජාතීන් අතර විවිධත්වය හා සමානත්මතාවට ගරු කරනවා. එමෙන්ම සමහර රටවලදී මතභේදයට තුඩුදිය හැකි සංකේතාත්මක ඉරියව්වකට වඩා එදිනෙදා ජීවිතයේ අපේ හැසිරීම් වඩා වැදගත් බව මා විශ්වාස කරනවා. ණබැැකසබට ඉරියව්ව නොදැක්වීමෙන් කියවෙන්නේ නැහැ මා වර්ගවාදයට එරෙහි වන්නේ  අනෙක් අයට වඩා අඩුවෙන් බව.”යි චාල්ස් වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවත් ඉහළ පන්තියේ හා මිල අධික ක්‍රීඩාවක් ලෙස සැලකෙන Formula 1 තරග බිමෙන් ප්‍රදර්ශනය වූ මේ විරෝධය ජාතිවාදය හා වර්ගවාදය ලෝකයෙන් තුරන් කිරීමේ සටනට මහත් ආශ්වාදයක් හා ආශිර්වාදයක් වනවා නොඅනුමාන ය.

 

රුෂාන් කොඩිකාර

Leave A Reply

Your email address will not be published.

1 + 7 =