මේ නම් යක්ෂ කෙල්ලක් !

විසිවෙනි සියවසේ තුන්වෙනි දසකය අවසන් වීමට ආසන්න කාලයේ එක්තරා දවසක, මල් පලතුරු වගේම කිතුල්, දෙල්, පොල්, කොස් ගස්කොළං හේඩාවෙන් අයස්කාන්ත වූ සුන්දර ගිංතොට ග්‍රාමයේ එක් නිවෙසක අඳුරු කාමරයක් ඇතුළෙ ගැහැනියක් විලිරුජාවෙන් කෙඳිරිගාමින් හිටියා. ඇගේ පියාණන් විසින් නිවෙසටම ගෙන්වා ගන්නා ලද වෛද්‍යවරයෙක් සහ හෙදියක් කුස හුන් දරුවා බිහි කිරීමට අවශ්‍ය පහසුව සලසමින් හිටියෙ තරමක කලබලයකින්. දරුවා බිහි කිරීමට තරම් ශක්තියක් විලිරුජාවෙන් කෑමොර දෙන ගැහැනියට තිබුණෙ නැහැ. අම්මට අමාරුයි! දරුවගෙ කිසිම දැඟලිල්ලක් නැහැ! හැමෝටම  අවශ්‍ය වෙලා තිබුණෙ මව බේරා ගැනීමේ උවමනාවක්. තමාගේ ජීවිතය වන්දියට තියල ඒ ගැහැනිය දරුවා මෙලොවට බිහි කළා. අම්මගේ ජීවිතේ බේරා ගැනීමට කැපවෙලා හිටිය වෛද්‍යවරයා වෙතින්, ලේ ගොඩක් සහිත වැදමහ පොකුරට මැදිවෙලා තිබුණ මස් ගුළිය ගැන අවධානය ගිලිහිලා තිබුණෙ. ඔහුට අවශ්‍ය වුණේ අම්මගෙ ජීවිතේ බේරගන්න. අම්මගේ ජීවිතය සුරක්ෂිතයි කියල දැනගත් ඇසිල්ලේ ම වෛද්‍යවරයා, ලේ කැටියක්ව තිබුණ දරු සිරුර කකුල්වලින් අල්ලගෙන ඉහළට උස්සලා, දෙපැත්තට වනමින් පිටිපස්ස පැත්තට තදින් පහරක් ගැහුවා. ‘මේ ලෝකයට ආ බව කියන්න පණක් තියේ නං හඬාපන් දරුවෝ’ කියන දාරක සෙනෙහසින් වෙන්නැති. ආශ්චර්යක්! දරුවා හඬන්නට පටන් ගත්තා. ඒ ගැහැනු දරුවෙක්.

“මේ නම් යක්ෂ කෙල්ලක්!”

මේ ගැහැනු දරුවට මාපියන් නම තිබ්බෙ සිබිල් කියලා. පිය පාර්ශ්වයෙන් ‘ද සිල්වා’ එකතු වුණ නිසා ඇය සිබිල් ද සිල්වා. ඒ වුණත් ගමේ හැමෝටම මේ හුරතල් ගැහැනු ළමයා ‘කළුෑ’ වුණා. කළුෑ කෙල්ල, කළුෑ දූ. කළුෑ නංගි. කළුෑ අක්කා.. හැමතැනම කළුෑ.. කළුෑ. කළුෑ.. ඒ නිසාම වැනියං කළුෑ වැනීයං.. රෑට බතට වැනීයං.. බත් කන්නට වැනීයං.. නිදාගන්න වැනීයං.. කියලයි නෑසනුහරේ අය මේ දැරිවියට ආදරේ කළේ. කළුෑගේ ජීවිතය ගිංතොට දොළ අයිනක සුන්දර ගමක සැප දුක අතරෙ ගෙවිල යද්දි කළුෑගේ ලෝකය අවදි වුණේ අවට ගහ කොළ, සතා සීපාව, ගැහැනු පිරිමි, ළමයි බමයි එක්ක. ඒක හරි අපූරු ලෝකයක්! ඒ ලෝකෙ හිනාවෙන්න, අඬන්න, බය වෙන්න, දුව පැන ඇවිදින්න, තනියම ඉස්කෝලෙ යන්න, ඇළ අයිනෙ උණ පඳුර ළඟ ඉඳගෙන හැමදේ ගැනම හිතන්න නිදහස තිබුණා.  පිය උරුමෙන් ලැබුණ චිත්‍ර කලා ශිල්පෙයි, මව් උරුමෙන් ලද මැහුම් ගෙතුම් කලා විස්මයයි අතරේ සිය ජානගත උරුමය හොයන පුංචි කළුෑ, පින්සලට පැන්සලට අතට හුරුවෙන්නත් කලින් හීන් කෝටු කෑලිත් එක්ක වැලි පොළොවෙ සිතුවම් ඇන්දා. ගෙදර ඉන්න පූස ව, මහ කම්මැලියෙක් වෙච්චි බල්ලා, ‘වයිට’ ව. ගස් උඩ දුව පනින රිලා වඳුරු මොටයියන් ව, කුරුල්ලන් ව, ගහකොළ මල් විතරක් නෙමෙයි අත්තලව, අම්මව තාත්තව, මාමලව නැන්දලව, ලොකු අම්මලව පුංචම්මලව, අක්කලව අයියලව, නංගිලව මල්ලිලව මිදුලෙ වැලි පොළොවෙ රටාවන් විදිහට ඇන්දා. ඒ විතරක් ද? මේ පුංචි කළුෑ, ගෙදර බලි තොවිල් ශාන්තිකර්මයක් තියෙන වෙලාවක බලිරූප අඹන, අඳින මාමලත් එක්ක හරිහරියට බලි ඇන්දා. එදා බලියාගයේ ලොකු මාමල ඇඳපු බලි අතරෙ කළුෑගේ බලි රූපත් තිබුණා. ඒව දැකපු අය කිව්වෙ,

සිබිල් නැන්දා කියන්නෙ ළමා පොත් ලියන ලේඛිකාවක් විදිහට රාමුගත කරල බිත්ති සැරසිල්ලක් විදිහට නඩත්තු කරන්න පුළුවන් ලේඛිකාවක් නෙමෙයි. සිබිල් නැන්දා කියන්නෙ අතීතයක්. ඒ වගේම වර්තමානයක්. අවසන් නොවන වර්තමානයක්. සදාකාලික වර්තමානයක්.

“මේ නම් යක්ෂ කෙල්ලක්!.”

දකුණු පළාතෙ යක්දෙස්සො කියන මන්තර ඇහෙන කොට යක්ෂ, කුම්භාණ්ඩ, පෙරේතයො විතරක් නෙමෙයි මනුස්ස පරාණත් ගල් ගැහෙනවලු. ඒත් මේ අපූරු දැරිවිය අවුරුදු හතර පහ වෙද්දිම, ගමේ ‘යක්දෙහි මුත්තා’ ලෙඩට දුකට නිතර තොල් මතුරන මන්තර, කටපාඩමෙන් කියන්න පටන් ගත්තා. ඒ නිසාම කළුෑගෙ අම්මගෙ හිත ලෙඩ වෙන්න පටන් ගත්තා. එයා හැම වෙලාවෙම උත්සාහ කළේ කළුෑගේ මතකයෙන් ඒ යක්ෂයන් දමනය කරන මන්තර අමතක කරවන්න. අම්මා නිතර නිතර කළුෑට කව් සීපද කියා දුන්නා. කළුෑ ඒ කව් සීපද බොහොම උනන්දුවෙන් අහගෙන හිටියා. තවත් ටික දවසකින් අලුත් කව් සීපදත් එක්ක පරණ මන්තරත් කියන මේ පුංචි කළුෑට ගමේ ඈයෝ කියන්න පටන් ගත්තා,

“මේ නං යක්ෂ කෙල්ලක් !”

කළුෑගෙ මව් පාර්ශ්වයෙ අත්තා හිටියෙ පානදුරේ. ඉස්කෝල නිවාඩු කාලෙ දවසකදි එහෙ ගිය වෙලාවක කළුෑට හම්බ වෙනවා අරුම පුදුම නිධානයක්. ඒ නිධානයෙ තිබුණෙ අත්තල ගෙදර පාවිච්චියෙන් ඉවත් කරන කැඩුණු බිඳුණු භාණ්ඩ රැස්කරල තියෙන අඳුරු කාමරේක. ඒ තමයි පාට පාට වීදුරු කැබලි තොගයක්. කොළපාට, රතුපාට, දුඹුරුපාට, කහපාට, නිල්පාට මේ වීදුරු කැබලි කිහිපය කළුෑගෙ ජීවිතේ වෙනස් කරනව. නිවාඩුවෙන් පස්සෙ ආපහු ගිංතොට සුන්දර පාරාදීසයට එන කළුෑගේ ජීවිතයට ගොඩවෙන්නෙ නව ලෝකයක්. හුදෙකලා වන හැම වෙලාවකම එයා ලෝකය දිහා බලන්න ගත්තෙ පානදුර අත්තලගේ ගෙදරින් හංඟාගෙන ගෙනා පාට වීදුරු කැබලි අතරින්. ඒක හරි ලස්සන වැඩක්. වෙනද දැක්ක හැමදේටම අලුත් වර්ණයක් ලැබිල. මහ ආඩම්බරකාර ඉර දිහා පවා බලන්න පුළුවන් තරමට කළුෑගේ වර්ණවත් ලෝකය තෙදවත් වුණා. තමන් පෙර දුටු ලෝකයම නව වර්ණ පදාසයකින් ආලෝකවෙද්දී, කළුෑගෙ මනස අතුළෙ හිටිය පොඩි ළමයා සදාකාලයටම දරුවෙක් විදිහටම කළුෑගේ ලෝකයේ නිදන් වෙනව. ඒක පාට පාට ලස්සන ලෝකයක්! නිල්පාට.. රතුපාට.. කොළපාට.. ඒ වර්ණ ඇතුළෙන් දර්ශනය වන මහා සුන්දරත්වය කළුෑට පමණක් වින්දනය වන අපූරු විස්මයක්. අවුරුදු හයේදි කළුෑ කොළඹ එන්නෙ ගමේදි අවදි වුණ නව වර්ණවත් ලෝකයට තුරුලු වෙලා.

ඉන්පස්සෙ තමන්ට උරුම ජීවිතේ මහ ගමන යද්දි කළුෑ දැරිවිය සිබිල් ද සිල්වා විදිහටත් ඉන් පස්සෙ සිබිල් වෙත්තසිංහ විදිහටත් ජීවිතේ දරලා අවුරුදු අනුතුනක පරම ආයුෂත් විඳලා, සිබිල් නැන්දා විදිහට අමරණීය වෙනවා. ඒක මහ දිග කතාවක්. සුන්දර කතාවක්. ළමා ලෝකය ගැන කතා කරන හැම මොහොතකම සජීව වෙන ප්‍රපංචයක්.

“ඒ නිසාම ඇය අපටත් යක්ෂ කෙල්ලක් !”

සිබිල් නැන්දා කියන්නෙ ළමා පොත් ලියන ලේඛිකාවක් විදිහට රාමුගත කරල බිත්ති සැරසිල්ලක් විදිහට නඩත්තු කරන්න පුළුවන් ලේඛිකාවක් නෙමෙයි. සිබිල් නැන්දා කියන්නෙ අතීතයක්. ඒ වගේම වර්තමානයක්. අවසන් නොවන වර්තමානයක්. සදාකාලික වර්තමානයක්. මුද්‍රණය සමඟ වැඩුණ සිංහල සාහිත්‍යයේ ළමා උරුමය ඔප්නංවන ආකාරයෙන් දිදුලන පරමාදර්ශ දෙකක් පමණයි අපට තියෙන්නෙ. ඉන් එකක් ආනන්ද රාජකරුණා, ඇස්. මහින්ද හාමුදුරුවො සහ මුනිදාස කුමාරතුංග වැනි කවීන් ඇසුරේ උරුම කෙරුණ ළමා කව් ගී සාහිත්‍යය. අනෙක තමා සිබිල් නැන්දාගේ ළමා නිර්මාණ සාහිත්‍යය. ඒ අතරේ තියෙන අන් ළමා නිර්මාණ කියවා අමතක කෙරෙන බව කිව යුතු නැහැ. සිබිල් නැන්දගේ නම අමරණීය කරන්නෙ ඇගේ නිර්මාණ විසින්. පරම්පරා පහක් අඛණ්ඩව වින්දනය කර හයවැනි පරපුරකටත් සිය නිර්මාණ ඉදිරිපත් කළ සිබිල් නැන්දාගේ ලිවි සැරිය සත් දසක පූර්ණයි. මේ වසර හැත්තෑව තුළ ඇය අතින් ඇඳි සිතුවම් ප්‍රමාණය දහස් ගණනක්. නිර්මාණය කළ කතන්දර පොත් ගණන දෙසීය ඉක්මවනවා. එයින් කිහිපයක්ම විදෙස් භාෂාවලට පරිවර්තනය වෙලා ජාත්‍යන්තර පැසසුමට ලක්වෙනවා. මේ නිර්මාණ සියල්ල පසුපස තියෙන්නෙ දැරිවියක් විදිහට ගිංතොට සුන්දර ගම්මානයේ දී, පාට පාට වීදුරු කැබලිවලින් හඳුන ගත්ත අතිසුන්දර ළමා ලෝකය. ඒ නිසාම ඇගේ ළමා කාලය අමරණීය වෙනවා.

සිබිල් නැන්දා කියන්නෙ කතා ලියන්නියක් පමණක් නෙමෙයි. කතන්දර සජීවත්වයට පත්කරන්නියක්. සිය පිය පාර්ශ්වයෙන් උරුම වුණ චිත්‍ර කලා උරුමය මගින් ළමා සාහිත්‍යයෙහි දිලෙන ස්වයං සිද්ධි චිත්‍ර රටාවක් බිහිකළ එකම ලාංකික කලාකාරිණියත් සිබිල් නැන්දා කීම අතිශයෝක්තියක් නෙමෙයි. ජපානය වැනි රටවල සිබිල් අනන්‍යතාව ළමා චිත්‍ර කලාවේ මහිමයක් විදිහටයි සලකන්නෙ. ඒ නිසා සිබිල් නැන්දා කියන්නෙ සදාකාලික අනාගතයක් කරා දිවෙන පුරාවෘත්තයක්.

ළමයින් උදෙසා වචන පමණක් නොව රූපයෙන් ද ලිවිය යුතු බවට ඈ තුළ වූ විශ්වාසය ලෝක ළමා සාහිත්‍ය ආදර්ශවලට සමපාත වන්නක්. ගැමි නිවෙසක ඇතුළත චිත්‍රයක දී එම ස්ථානයට අනන්‍යවූ සියල්ලම චිත්‍රයට නගන එකම ළමා නිර්මාණකාරිණිය ඇයයි. එය සනාථ කරගැනීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ ඇගේ නිර්මාණවල මුළුතැන් ගෙයකට, සාලයකට, ගෙපිලකට ඇතුළු වන එක පමණයි. ඇය සිතුවම් කරන හැම මුළුතැන්ගේකම පූසා ද සිටින අතර ඌ සිටින්නෙ ගැමි මුළුතැන්ගේක පූසෙකුට හිමි නියමිත තැනක. ඒ සිතුවමේ බල්ලා ඉන්නව නම් ඌ ඉන්නෙ පිළිකන්නේ. ගෙදර පිලේ බල්ලාට හිමි ස්ථානයයි පූසාගෙ ස්ථානයයි දෙතැනක්. අකුරු සමඟ මේ සිතුවම් කියවන විට ළමයා ලබන්නේ අක්ෂර අර්ථය ඉක්මවූ විසල් ජීවිත පරිඥානයක්. ඒ ඔස්සේ ළමයා වින්දනය කරන්නෙ වර්ණනාවිෂයාතික්‍රාන්ත ආනන්දයක්.

සිබිල් නැන්දා සිංහල ළමා කතන්දර ලෝකයේ මහා මැවුම්කාරිය යි කියන්න මං වඩාත් ම කැමතියි. ‘කවීරේ ප්‍රජාපති’ කියල සංස්කෘත පඬිවරුන් කිව්වෙ මෙවැනි ලේඛකයන්ට. ප්‍රජාපති කියන්නෙ මැවුම්කාර දෙවියෙකුට. ඔහුට කළ නොහැක්කක් නැහැ. කුරුල්ලෙකුට මහ මුහුදේ ගැඹුරු පත්ල තරණය කරන්න ඉඩක් දෙන්න, මාලුවකු අහසේ ඈතට පියඹා යවන්න, අලියෙකුව කටුස්සෙකු ලවා පරාජයට පත් කරවන්න, වලාකුළක් අතේ පෙම්වතියට පණිවුඩයක් යවන්න, මිනිහෙකුව අහසේ පියඹා යවන්න ලේඛකයන්ට පුළුවන්. මේ ශක්තිය ‘කිවි වරම’ ලෙස හඳුන ගනු ලබන, ලේඛකයන්ට පමණක් සුවිශේෂි තත්ත්වයක්. ඒ මහා ආශ්චර්යවත් කිවි වරම තමා නිරත සාහිත්‍ය ප්‍රවර්ගයේ ප්‍රගමනය වෙනුවෙන් භාවිතයට ගත් ලාංකික මහා ලේඛිකාව, සිබිල් නැන්දා ම පමණයි. ඔව්! ඇත්ත. ඒ ඇය ම පමණයි.

ළමයින්ට ඔවදන් දීම ළමා සාහිත්‍යය යැයි සිතන ලේඛක ප්‍රජාවක් ළමයින්ගේ ලෝකය නොව තමාගේ ලෝකය තුළ සිට ලියන කියන දෑ දකිනවිට, සිබිල් නැන්දාගෙන් ළමා ලෝකය හඳුන ගන්නයි කියල කියන්න සිද්ධ වෙනවා. රචකයෙක් සහ චිත්‍ර අඳින්නෙක් ලෙස දෙදෙනකු නිර්මාණයක් තුළ සිටින විට ඇති දුරස්ථ වින්දනය, ළමා නිර්මාණ වින්දනයේ පූර්ණාස්වාදයට බාධාවක්.

ළමයින්ට ඔවදන් දීම ළමා සාහිත්‍යය යැයි සිතන ලේඛක ප්‍රජාවක් ළමයින්ගේ ලෝකය නොව තමාගේ ලෝකය තුළ සිට ලියන කියන දෑ දකිනවිට, සිබිල් නැන්දාගෙන් ළමා ලෝකය හඳුන ගන්නයි කියල කියන්න සිද්ධ වෙනවා. රචකයෙක් සහ චිත්‍ර අඳින්නෙක් ලෙස දෙදෙනකු නිර්මාණයක් තුළ සිටින විට ඇති දුරස්ථ වින්දනය, ළමා නිර්මාණ වින්දනයේ පූර්ණාස්වාදයට බාධාවක්. රචනය පමණක් නොවේ සිතුවම් රචනයත් සමසමව එකම මනසකින් බිහි වනවිට ඉපදෙන නව රසවින්දනය අති ප්‍රබලයි. අකුරු සහ රූපවල අර්ථයන් එකම සිතුවමක් විදිහට විඳින්න තියෙන හොඳම උදාහරණය සිබිල් නැන්දා. ඒ අර්ථයෙන් ගත්තාම ඇගෙන් පස්සෙ, සිංහල ළමා සාහිත්‍යයේ රික්තයක් සංඥාවෙනවා. ඒක මහා කළු කුහරයක් වේවි ද? නැද්ද? සාහිත්‍යයක් එහෙම අවසන් වෙන්න තරමට සිබිල් නැන්දාගේ ආධිපත්‍යය බලවත්ද? ඇයි එහෙම වුණේ? මෙන්න මේ වගේ ගැටලු ගොඩක් ඉතිරි කරලයි සිබිල් නැන්දා අපෙන් සමුගත්තෙ.

නිර්මාණාත්මක කලාකරුවෙකුගෙ මරණයක් පිළිබඳ අහන්න ලැබීම හිත රිදවන කාරණයක්. උපත සමග වැඩෙන මරණයට අවනත නොවී ඉන්න කාටද පුළුවන්. එහෙම දැන දැනත් වුණත් කලාකාරයෙකුට මරණයකින් සමුදෙන එක දරා ගන්න අමාරුයි. සිබිල් වෙත්තසිංහ කියන්නෙ ඒ අමාරුව මහා වේදනාවක් බවට පත් කරන අමිල කලා නිධානයක්.

හැම ආරම්භයකම අවසානයක් තියෙනව. සිබිල් නැන්දා අපට ඒ බව පසක් කරනවා. වටිනාකම තියෙන්නෙ ආරම්භයේ සිට අවසානය දක්වා අපගෙ භාවිතය තුළයි. ඒ නිසා මේ සටහන හමාර කිරීම පිණිස මට කියන්න තියෙන්නෙ, සිබිල් වෙත්තසිංහ කියන අප සහෝදර ජ්‍යෙෂ්ඨ ලේඛිකාව මිය ගිය බව ඇත්තක්. එයාගෙ සජීව ක්‍රියාකාරීත්වය, හඬක් විදිහටවත්, රූපයක් විදිහටවත් අපට මින් පස්සෙ දකින්න අහන්න ලබෙන්නෙ නැහැ. ඒත් සිබිල් නැන්දා කියන ළමා කතන්දර ලෝකයේ මහා විස්මය තවදුරටත් අමරණීය යි. ඇය අපේ ලෝකයේ තවත් බොහෝ කාලයක් ජීවත් වේවි. අපගේ අවසානයෙන් පසුවත් ඇය ජීවත් වේවි. ඉන් පසුවත්, ඉනුත් පසුවත්, ලියන කියවන ළමයින්ගේ ලෝකය සජීවී ව පවතින තාක් කල්ම සිබිල් නැන්දාගේ නාමය අමරණීයව පවතීවි.

“එනිසාම ළමා නිර්මාණ ලෝකයට ඇය අමරණීය වූ යක්ෂ ළමයෙක්!”

සිබිල් වෙත්තසිංහ ජ්‍යෙෂ්ඨ නිර්මාණකාරිණියනි,  ඔබට සුබ ගමන්..!

අනුරසිරි හෙට්ටිගේ

Leave A Reply

Your email address will not be published.

three × 4 =