ආයිබොවන්ඩ රනිල්

ඩියට මූඩිය වගේ රාජපක්ස සමාගමට නියමෙටම සැට් වෙන්නෙ රනිල් ද – සජිත් ද…? මේ සැරේ ඉලැක්සොන් එක ඒ පුරස්නෙට උත්තර හොයන්ඩ පැවැත්වෙන ජනමත විචාරණයක් බවට පත් වෙලා තියෙන බවයි රටේ ලෝකෙ කරුණු කාරණා ගැන දන්න කියන උදවිය නං කියන්නෙ. තමුන්නැහැයි, සජිතුයි මේ දවස්වල පවත්වන වාද බයිලා තරගය හන්දා කොරෝනා මාරයාට බයේ ගෙවල්වලට වෙලා ඉන්න හුදී ජනතාව මාර ආතල් එකක් ගන්න බවත් ස්තුතිපූර්වකව සිහිපත් කොරන්න කැමතියි.

සුදු කොඩි කේස් එකට සරත් පොන්සේකා උන්නැහැව අරන් ගියා වගේ මහා බැංකු මංකොල්ලෙ ගැන කට උත්තරයක් ගන්ඩ සීඅයිඩියෙ මහත්තුරු තමුන්නැහැගෙ කකුල් කෙටි දෙකෙන් ඇදගෙන හතරවෙනි තට්ටුවට කුදලගෙන යයි කියලයි අපේ ගම් පළාත්වල පොහොට්ටු කට්ටිය මේ වෙන කං පාරම්බබා හිටියෙ. ඒත් පහුණුදා සීඅයිඩිය ඔහේගෙ කකුල් දෙක පාමුලට ඇවිත් කියවන විට ලිවීම කොරන පහේ සිස්සත්ව දරුවො ටිකක් වගේ සටහනක් ලියාගෙන ගිය හැටි දැකල ඒ පොහොට්ටු සැදැහැවතුන් මේ දවස්වල දත්මිටි කකයි ඉන්නෙ.
මහා බැංකු මංකොල්ලෙ ගැන හැබෑ කතාව රටට එළිදරව් කොළොත් දැන් ආණ්ඩු පක්සයේ ඉන්න සෑහෙන කට්ටියක් අමාරුවේ වැටෙයි කියලත් තමුන්නැහැ සීඅයිඩියේ ඇත්තන්ට තේරුන් බේරුන් කොරල දුන්න ය කියන කතාව හැබෑ ද ආයිබොවන්ඩ…? බලාගෙන යනකොට ලෝක පොලීසියටවත් හොයාගන්ඩ බැරුව ඉන්න අර අර්ජුන අහිංසකටයි අබමල් රේණුවක තරමින්වත් රටේ දේපළවලට හානියක් කොරල නැති රනිල් සෑර්ටයි හොරු හොරු කියල අපහාස කොරන එවුන්ගෙ කටවල්වලට හෙණගෙඩි කඩාපාත් වෙලත් මදි නොවෑ.

රටක් පාලනය කොරන දේසපාලන සාස්තරෙන් තමුන්නැහැ අන්තිම ෆේල් වුණාට දිය යටින් ගින්දර අරන් යාම වගේ නූල් සූස්තරවලින් නං ගිනස් වාර්තා පිහිටවපු ලෝකෝත්තරයෙක් බව මොන්ටිසෝරි දරුවෙක් වුණත් දන්නවා. ඩී.එස්., ඩඞ්ලි වගේම මුන්නැහැගෙ දේසපාලන ඇදුරුතුමා වන ජේ.ආර්. ගොයිය වැනි පතාක යෝදයන් එකතු වෙලා ගොඩනගපු යූඇන්පීය දෙබෑ කොරලා, නායක තානාන්තරේ ආරක්සා කොර ගන්න ඔහේ ගහපු තුරුම්පුව මුන්නැහැ වගෙ ඩබල් ගේම්කාරයෙකුට ඇර ලේසිපාසු පුත්තරයෙකුට කොරන්න ඇහැකි කෙළියක් ද…?

දැන් තමුන්නැහැගෙ යූඇන්පියත් හරියටම ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමෙ වගේම හොර, බොරු, වංචාවලින් තොර පරම පවිත්තර දේසප්‍රේමි පක්සයක් බවට පත්වෙලා තියෙන හන්දා ඕක ඉස්සරහටත් පිවිතුරු කෑල්ලක් එල්ලා ගත්තොත් නරක ද රනිල්…? හැබැයි ආයිබොවන්ඩ පන්සල් කෝවිල් ගාණේ යනකොට සුදු සූට් ගහල ගිහින් විතරක් මදි. හතරට පහට නැමිලා පඬුරු-පාක්කුඩම් පිරිනමන හැටි, අම්මලා අතේ ඉන්න පොඩි එවුන්ගේ නහයවල් මිරිකන හැටි වගේ උප්පරවැට්ටි ගැනත් මුන්නැහැගෙ ගජමිතුරු මහින්ද ලොක්කගෙන් අහගත්තොත් තමා හොඳ.

ඔහෙලගෙ අලි කල්ලිය දිවි පරදුවට තියලා ආණ්ඩුවක් පිහිටුවන්ඩ පයිට් කොරන කොට සජිත් ගොයියගෙ ටැලිපෝන් නඬේ සිරිකොත අල්ලන්ඩ කුරුමානං අල්ලන එක නං අන්තිම තර්ඞ් කැලෑසියේ වැඩක් තමා රනිල්. ඒක එහෙම තියෙද්දි, ඔහේව හරිමගට ගන්ඩ බැරි වුණොත්, නම්බුකාර විදිහට අයින් වෙන්ඩ ය කියල දන්නා හිටින වගට නායක පුටුවට ඇහැ ගහගෙන ඉන්න නවීන් ඉලන්දාරියා කොරලා තියෙන පොරකාසනේ නං කිඹුලා කනවා උහුලන්න ඇහැක් වුණත් කොහිල කටු ඇනෙන එක දරා ගන්ඩ අමාරු ය කියන ජාතියෙම කතාවක් ය කියල ඔහේට දැනෙන්නෙම නැද්ද ආයිබොවන්ඩ…?

විශ්වමිත්‍ර

Leave A Reply

Your email address will not be published.

four × 2 =