රට ගිනි තියන නූතන හනුමන්තලා

පසුගිය අප්‍රේල් 21 වන දින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව විසින් රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව ඇති කරන ලද්දේ බරපතළ අවිනිශ්චිත තත්ත්වයකි. ප්‍රහාරය පිළිබඳව දැනගන්නට ලැබුණු පළමු අවස්ථාවේ මුළු මහත් සමාජයම එය ඇසීමෙන් වික්ෂිප්තභාවයට පත් විය. එහෙත්, සිදුවීමට සම්බන්ධ වූයේ ජාතික තව්හිද් ජමාත් නම් අන්තවාදී ඉස්ලාම් කණ්ඩායමක් බව සිදුවීමෙන් දිනක් ගත වන්නටත් පෙර අනාවරණය වූ අතර, ඒ සමග ඇති ජාත්‍යන්තර සබඳතා ජාලය පිළිබඳවත් තොරතුරු ඉක්මනින්ම හෙළි විය. එය මෙරට පොදු මුස්ලිම් ප්‍රජාවගේ අවශ්‍යතාවක් මත ගොඩනැනැගුණු කණ්ඩායමක් නොවන බවත්, බහුතර මුස්ලිම් ප්‍රජාව තුළම ඔවුන් සම්බන්ධයෙන් විශාල අප්‍රසාදයක් ගොඩනැඟී ඇති බවත් පැහැදිලි වන කරුණු කාරණා රැසක් ද ඉන් පසුව මුස්ලිම් ප්‍රජාව තුළින් ප්‍රකාශයට පත් විය.

ප්‍රහාරයෙන් පසු

කෙසේ වෙතත්, සිදුවීමෙන් පසු පියවරෙන් පියවර ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමත්, ඊට අනුබල දුන් පිරිසත් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන විට මේ අන්තවාදී උමතුව පිළිබඳ එතෙක් අනාවරණය නොවූ තොරතුරු රැසක් හෙළිදරවු වූයේ කිසිවකුටත් සිතා ගත නොහැකි පරිද්දෙනි.

  • ප්‍රහාරයට සම්බන්ධ වූවන් පිළිබඳ පළමු තොරතුර අනාවරණය වන්නේ දෙමටගොඩ, මහවිල උද්‍යාන මාවතෙනි. ඒ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු කළ ප්‍රහාරකයා හෝටලයට ලබා දී තිබුණු ලිපිනය නිසාය. ඒ අනුව ප්‍රහාරය සිදු වී පැය කිහිපයක් යන්නටත් මත්තෙන් මෙහෙයුම් ආරම්භ විය. දෙමටගොඩ නිවස හා ඒ ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ඊට සම්බන්ධ පිරිසක් බෝම්බ පුපුරුවාගෙන ජීවිිිතක්ෂයට පත් වූ අතර, එම නිවසේ ගෘහමූලිකයා ලෙස සැලකෙන තැනැත්තා ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගනු ලැබීය.
  • එමෙන්ම සිදුව ඇති පිපිරීම් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ අවසන් වන තුරු, සාවද්‍ය ප්‍රවෘත්ති හුවමාරු වීම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට ද ආණ්ඩුව තීරණය කළේ ය. ඒ අනුව ෆේස්බුක්, වට්ස් ඇප්යූ ටියුබ් ඇතුළු සියලූම සමාජ මාධ්‍ය ජාලවලට පිවිසීම අවහිර කරනු ලැබීය
  • 21 වන දින දිනයේ සිදු කළ බෝම්බ පිපිරවීම් සඳහා පුපුරන ද්‍රව්‍ය කොළඹට ගෙන ආ බවට සැකපිට වෑන් රථයක් වැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනිණි.
  • එසේම මෙම ප්‍රහාර සම්බන්ධ කටයුතු සඳහා භාවිත කළ බව කියන පානදුර ප්‍රදේශයේ නිවසක් පිළිබඳව ද තොරතුරු හෙළි කර ගත් අතර, ඒ හරහා තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගන්නා ලදී.
  • කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ මාර්ගයක තිබී හමු වූ බෝම්බයක් ගුවන් හමුදාව විසින් නිෂ්ක්‍රිය කරන්නේ 21 වන දින රාත්‍රී 11.10ට පමණය.
  • 22 වන දින කොච්චිකඩේ පිපිරීම සිදු වූ ස්ථානය ආසන්නයේ නවතා තිබූ වෑන් රථයක සවි කර තිබූ බෝම්බයක් නිෂ්ක්‍රිය කරනු ලැබිණි.
  • ඉන් පසු සිදු කරන ලද සෝදිසි කිරීම්වල දී කොළඹ පෞද්ගලික බස් නැවතුමේ තිබී බෝම්බ සෑදීමට ගන්නා ඩෙටනේටර් 87ක් සහ කොච්චිකඩේ දේවස්ථානය අසල නවතා තිබූ මෝටර් රථයක තිබී තවත් ඩෙටර්නේටර් 12ක් ද සොයාගෙන ඇති බව සඳහන් විය.
  • 22 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. මහජන ආරක්ෂණ පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙසේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව වරෙන්තු නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට ආරක්ෂක අංශවලට බලය පැවරීය.
  • ඉස්ලාම් ආගමික අන්තවාදීන් විසින් එල්ල කෙරුණු ප්‍රහාරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි සියලූම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ඉතාම පැහැදිලිව හඳුනාගෙන තිඛෙන බවත්, ප්‍රහාරයට සෘජුව සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිවේදනය කරනු ලැබීය
  • සිදුවීමට අදාළව වගකීම් පැහැර හැරීමේ චෝදනා එල්ල වූවන්ගෙන් අයකු වූ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නේ අප්‍රේල් 25 වන දිනයේදීය. එදින පස්වරු 5.30ට පමණ සිය අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
  • කොළඹ නගරයේ සැරිසැරූ බවට කියන සැකසහිත ඇළුමිනියම් ආවරණයක් සහිත WP DAE 4179 දරන ලොරිය අප්‍රේල් 26 වන දින අත්අඩංගුවට ගනු ලැබිණි. වැල්ලම්පිටිය, නවගම්පුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීම් මඟින් ලොරිය පොලිස්භාරයට ගැනීමට හැකි වී ඇත. එම ලොරිය ලියාපදිංචි කර ඇත්තේ, ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට අනාවරණය වී ඇති දෙදෙනාගෙන් අයකු වන සහරාන් හෂීම්ගේ නමින් බවද සඳහන් විය.
  • පාස්කු ඉරිදා දිනයේදී එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 359ක් නොව 253ක් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
  • සමන්තුරෙයි ප්‍රදේශයේ කළ මෙහෙයුමක දී නිවසක් තුළ තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් සහ බෝම්බ නිෂ්පාදනයට ගන්නා උපකරණ, වෙඩි ඛෙහෙත් තොගයක් සොයා ගැනිණ. ඒ අප්‍රේල් 26 වන දිනයේ දී ය.
  • එදිනම කල්මුණේ සයින්දුමරුදු ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට සූදානම් වන විට ඒ තුළ පිපිරීමක් සිදු වූ අතර, ඉන් පසුව ආරක්ෂක අංශ හා ත්‍රස්තවාදීන් යැයි සැක කෙරෙන කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් සිදු විය. ඉන් පසුව පිපිරීම සිදු වූ ස්ථානයේ තිබී මළ සිරුරු 15ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඒ අනුව අදාළ නිවස තුළ තිබී පිරිමි මළ සිරුරු 3ක් කාන්තා මළ සිරුරු 3ක් සහ ළමයින්ගේ මළ සිරුරු 6ක් හමු වී ඇත.
  • මීගමුව නියෝජ්‍ය නගරාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රී මොහොමඩ් අන්සාර් යන අය පොලිසිය විසින් අත්අඩංගුවට ගනිමින් ඔහු සතුව තිබූ කඩුවක්, මන්නා පිහියක් සහ ජංගම දුරකථන බැටරි 38ක් පොලිස් භාරයට ගන්නේ මේ අතරතුරය.
  • පසුගිය 21 වැනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති ජාතික තව්හිද් ජමාත් සංවිධානයත්, ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම්, විලායත් අස් සෙයිලානි යන සංවිධානත් ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කරන්නේ අප්‍රේල් 27 වෙනි දිනය.
  • කොළඹ කොම්පඤ්ඤ වීදියේ, පල්ලිය වීදියේ පිහිටි මුස්ලිම් පල්ලියක තිබී කඩු 49ක්, බෝම්බ සවි නොකළ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සහ හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ද සොයා ගන්නේ ද අප්‍රේල් 27 වන දිනයේ දී ම ය. මේ භාණ්ඩ සමග එම දේවස්ථානයේ සිටි මුස්ලිම් පූජකවරයා ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
  • පාස්කු ඉරිදා දිනයේ එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු නාවලපිටිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් සදික් අබ්දුල් හක් සහ මොහොමඩ් සාහිද් අබ්දුල් හක් නමැති පුද්ගලයන් දෙදෙනෙකි.
  • පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙහි මූලිකයා බව කියන සහරාන් හෂීම් නමැත්තාගේ පියා සහ සොහොයුරන් කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සමග සිදු කර ගත් වෙඩි හුවමාරුවෙන් සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇති බව වාර්තා වෙයි. සහරාන් හෂීම්ගේ පියා වූ මොහොමඩ් හෂීම් සහ සහෝදරයන් දෙදෙනා වූ සයිනී හෂීම් සහ රිල්වාන් හෂීම් යන අය වෙඩි හුවමාරුවට පෙර නිකුත් කළ වීඩියෝ පටයෙන් හඳුනා ගත් බව සහරාන්ගේ බිරිඳගේ සොහොයුරකු වන නියාස් ශරීෆ් විසින් ප්‍රකාශ කරන අතර, ප්‍රහාරයෙන් තුවාල ලබා සිටියදී ආරක්ෂක අංශ විසින් රෝහල්ගත කර ඇත්තේ සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදියා සහ ඔවුන්ගේ දියණිය වන සිව් හැවිරිදි මොහොමඩ් සහරාන් රුසෙයිනා යන දෙදෙනා බව තහවුරු කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
  • පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සෘජුවම සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයකු අප්‍රේල් 28 වන දින රාත්‍රියේ වත්තල, එඩේරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලදී. එමෙන්ම ජාතික තව්හිද් ජමාත් පල්ලියේ ප්‍රධාන පූජකවරයා වන තව්ෆීක් මවුලවි නමැත්තා ද ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගනු ලබයි.
  • පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනා භාවිත කළ වාහන 18ක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගනු ලැබේ. ඒ අතර වෑන් රථ 6ක්, කාර් 02ක්, කැබ් රථයක් සහ යතුරුපැදි 09ක් ඇති බවත්, ඒවා අතුරින් අත්අඩංගුවට ගෙන නොමැති වාහන 12ක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක අංශ පවසයි.
  • බස්නාහිර පළාතේ සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලූම යුද්ධ, නාවික, ගුවන් හමුදා සහ පොලිස් ස්ථාන ඇතුළත් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයක් අප්‍රේල් 29 වන දින ස්ථාපනය කරනු ලැබීය. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මෙම ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරී වශයෙන් පත්කෙරිණ.
  • ප්‍රහාරයට සම්බන්ධ බවට තහවුරු වී තිබූ, ආරක්ෂක අංශ සොයමින් සිටි ලොරියක් පොළොන්නරුව ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගන්නේ අප්‍රේල් 30 වන දා පෙරවරුවේ දී ය. පොළොන්නරුව, සුංගාවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලබන අංක EP PX 2399 දරන මෙම ලොරි රථය සමග සැකකරුවන් තිදෙනකු ද පොලිස් භාරයට ගනු ලැබීය.
  • කාත්තන්කුඩි නගරයේ පිහිටි දේශපාලන කාර්යාලයක තිබී හමුවූ ඔ 56 උණ්ඩ 48ක් සමග නැෙඟනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ කාර්ය මණ්ඩලයේ යැයි පැවසෙන පුද්ගලයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණ.
  • ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාව සිටිය දී ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම්වරයකු ඇතුළු එම සංවිධානයේ 26 දෙනකුට ආරක්ෂක අමාත්‍යාංශය හරහා වැටුප් ගෙවා ඇති බව හෙළි වෙයි.
  • මුලතිව්, ආලම්පිල් ප්‍රදේශයේ මැයි 01 වන දින කළ සෝදිසි මෙහෙයුම්වල දී ආරක්ෂක අංශ විසින් භාවිත කරන වෝකිටෝකි නවයක් හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සොයා ගනු ලැබීය.
  • කල්පිටිය, මණ්ඩාවල ප්‍රදේශයේ එදිනම සිදු කළ සෝදිසි මෙහෙයුමකින් සැකකටයුතු පුද්ගලයන් 31 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
  • යුද හමුදාව, නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලිසියේ ද සහාය ඇතිව මැයි 2 වන දින සවස දිවයින පුරා ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ආරම්භ කරනු ලැබූ අතර, එහි දී අවි ආයුධ, පුපුරන ද්‍රව්‍ය සහ වෙනත් යුද උපකරණ රැසක් සොයාගනු ලබයි. පුල්මුඩේ ප්‍රදේශයේ දී ඩෙටනේටර් 89ක්, ඩෙටනේටර් සේද නුල් 32ක් (අඟල් 16 බැගින්), ජෙල් වතුර ටියුබ් 8ක්, ඩෙටනේටර් චාජර් 2ක් සහ එක් සැකකරුවකු ද මහනුවර, නාවලපිටිය, ගම්පොළ, පේරාදෙණිය, අකුරණ, කටුගස්තොට, මඩවල සහ අනෙකුත් ප්‍රදේශයන්හි දී සැකකරුවන් 27 දෙනකු සහ කඩු 02ක්, පතුරම් 10ක්, ආරක්ෂිත ෆියුස් 03ක්, ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ පොත්පත් සහ ලියකියවිලි, එම සංවිධානයේ බැනර් 04ක්, ඊට අයත් කමිස 17ක්, සංවිධානයට බඳවා ගැනීමේ අයදුම් පත් 05ක්, ව්‍යාජ උප්පැන්න සහතික 06ක්, ව්‍යාජ ජාතික හැඳුනුම් පත් 06ක්, ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර 11ක්, ව්‍යාජ වාහන අංක තහඩු 11ක්, ව්‍යාජ රියැදුරු බලපත්‍ර 01ක්, සැකකටයුතු බැංකු රිසිට් පත් 06ක්, ජංගම දුරකථන 16ක්, සිම්පත් 18ක්, මෙමරි කාඩ්පත් 03ක්, යතුරු පැදි 01ක්, ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අයත් සංයුක්ත තැටි 76ක්, වීඩියෝ කැමරා 04ක්, පටිගත කිරීම් යන්ත්‍ර 15ක් සහ මෙරට නොමැති රුධිරය එකතු කිරීමේ සිරින්ජර් පෙට්ටි 02ක් සොයාගෙන ඇත.
  • මීගමුව පෝරුතොට ප්‍රදේශයේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලබන්නේ මැයි 05 වන දින රාත්‍රියේ දීය. ඒ පසු දින උදෑසන 7 දක්වාය.
  • ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අයත් බවට සැකකෙරෙන අක්කර 15ක පමණ ඉඩමක් මඩකලපුව කාත්තන්කුඩි, ඔල්ලික්කුලම් ප්‍රදේශයෙන් සොයාගෙන තිබූ අතර, එහි රැඳී සිටි පුද්ගලයකු ද අත්අඩංගුවට ගනු ලබයි.
  • ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ සොහොයුරකු වූ රිල්වාන් හෂීම් සමග සමීපව සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයන් දෙදෙනකු විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් අත්අඩංගුවට ගන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේදීය.
  • ත්‍රස්ත ප්‍රහාරය නිසා ආරම්භ කිරීම කල්දැමුණු පාසල් මැයි 06 වන දින සිට විවෘත කරන බව දැනුම් දෙයි. ඒ අනුව 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති නැවත ආරම්භ කෙරිණි. දරුවන්ගේ ආරක්ෂාව සඳහා යම් විධිවිධාන යොදා තිබුණ ද, දරුවන් පාසල් පැමිණීමේ අඩුවක් පෙන්නුම් කළේය.
  • පොලිසිය හා යුද හමුදාව එක්ව දිගන කුඹුක්කඳුර ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමක දී කුඹුක්කඳුර නිවසක තිබී පිහි 3ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට පත් විය.
  • කොළඹ මාලිගාවත්ත මුස්ලිම් පල්ලියක් අසල පොදු ළිඳක තිබී කඩු 58ක්, කිනිසි 04ක්, කුඩා පිස්තෝලයක්, පතරොම් 04ක් සහ අන්තවාදී මුස්ලිම් සංවිධානවලට අයත් සී.ඩී. තැටි 26ක් සොයා ගන්නා ලදී.
  • ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් රට පුරා ක්‍රියාත්මක කරන සෝදිසි ආවරණය කිරීම සඳහා මාධ්‍ය කණ්ඩායම් සහභාගි කර නොගන්නා ලෙස ජනාධිපතිවරයා නියෝග කරයි. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විශේෂ පරීක්ෂණ කමිටුවේ දෙවන අතුරු වාර්තාව නීතිපතිවරයාට ඉදිරිපත් කරනු ලබන අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් මඟින් එම වාර්තාව සකස් කෙරිණි. ඒ පසුගිය මැයි 08 වැනි දින ය.
  • ආරක්ෂක අංශවල දැනුම්වත්භාවයක් නොමැතිව හෝ අනවසරයෙන් ළඟ තබාගෙන සිටින පුපුරන ද්‍රව්‍ය ආරක්ෂක අංශ වෙත වහාම භාර දීම සඳහා දින තුනක සහන කාලයක් ප්‍රකාශයට පත් කරන අතර, ඒ අනුව මැයි 11 වන දින පෙරවරු 06 සිට මැයි 14 වන දින පෙරවරු 06 දක්වා එම කාලසීමාව බලපැවැත්වීය.
  • පාස්කු දිනයේ සිදු වූ ප්‍රහාරයත්, ඔවුන්ටම සම්බන්ධ පිරිසක් සමග සයින්දමරුදු ප්‍රදේශයේ දී ඇති වූ ගැටුමත් හැර රට තුළ කිසිදු ප්‍රහාරයක් හෝ අලූත් ප්‍රහාරයක සැලසුම් පිළිබඳ නිල තොරතුරු මේ අතරතුර අනාවරණය වූයේ නැත. සෝදිසි මෙහෙයුම් තුළ දී මේ ප්‍රහාරවලට සම්බන්ධ සහ වෙනත් අනීතික කටයුතුවලට සම්බන්ධ විවිධ අවි ආයුධ සැලකිය යුතු ප්‍රමාණයකින් අත්අඩංගුවට පත් විය. මෙතෙක් හෙළි නොවී තිබූ රහස් ගනුදෙනු සහ සම්බන්ධකම් රැසක් ද අනාවරණය විය.

කෙසේ වුව ද, මේ අයුරින් රට තුළ ආරක්ෂක තත්ත්වය සාපේක්ෂව සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබිය දී, මීගමුව ප්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වන්නේ පෞද්ගලික ගැටුමක් වශයෙනි. එලෙස ආරම්භ වූ ගැටුම ඉක්මනින්ම ජාතිකත්වයන් අතර ගැටුමක් බවට පරිවර්තනය විය. ත්‍රීවීල් කිහිපයක්, යතුරුපැදි කිහිපයක්, වෙළෙඳ සල් කිහිපයක් විනාශ කරමින් පැතිර යමින් තිබූ ගැටුම අතරමඟ නතර වූයේ දෙපාර්ශ්වයේම ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙනි.

ආරක්ෂාවට එහා ගිය ගැටළුව

සිංහල සහ මුස්ලිම් සමාජය මත සැකයත්, අවිශ්වාසයත් ඇති වීම ස්වාභාවික තත්ත්වයක් නොවීය. විවිධ දේශපාලන කල්ලි, කණ්ඩායම්වල බලලෝභීත්වය මත නිර්මාණය කළ අනෙකා පිළිබඳ සැකය වගා කරන්නට වූයේ මීට බොහෝ කාලයකට පෙර සිට ය. එදා සිංහලේ වීර විදහනෙන් ආරම්භ කර විවිධ සිංහල අන්තවාදී කණ්ඩායම් හරහා අඛණ්ඩව සිංහලයා මත භීතිය වපුරමින් තිබිණි. පසුගිය ආසන්නම කාලසීමාව තුළ බොදු බල සේනා, සිංහල රාවය, රාවණා බලය, මහසොහොන් බළකාය ආදී දේශපාලකයන්ගේ පූර්ණ අනුග්‍රහය ලත් කුඩා අන්තවාදී කණ්ඩායම් ඊට අවශ්‍ය භෞතික සහ ආකල්පමය සහයෝගය ලබා දුන්නේය. ඊට සමාන්තරව, විය හැකි පරිද්දෙන්ම මුස්ලිම් දේශපාලන කඳවුර ‘දේශපාලනය කිරීම’ පසෙක තබා සිය ‘ව්‍යාපාරික අවශ්‍යතා’ සපුරා ගනිමින් සිංහලයාට එරෙහිව මුස්ලිම් ජනයා ජාතිවාදී පදනමින් පෙළගැස්වීය. එහි ප්‍රතිඵලය වූයේ එකී දේශපාලකයන්ට පවා පාලනය කර ගත නොහැකි ලෙස මරාගෙන මැරෙන කල්ලි, කණ්ඩායම් මුස්ලිම් සමාජය තුළ ගොඩනැඟීමයි. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු මේ විනාශ දැක දැකත් මෙකී අන්තවාදී දේශපාලන නායකයෝ එම අන්තවාදී වුවමනාවන් අත් නොහළහ. ඒ වෙනුවට තව දුරටත් අන්තවාදයම පෝෂණය කළහ.

පාර්ලිමේන්තුවේ මුස්ලිම් දේශපාලනඥයන් සිව්දෙනකු ඉලක්ක කර ගනිමින් විනාශයේ වගකීම සම්පූර්ණයෙන් ඔවුන් පිට පටවමින් චෝදනා එල්ල කළ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි බුද්ධ චීවරය දරමින්ම එහි පෙරමුණු කසකාරයකු විය. රතන හිමි පසුපසින් ඉක්මනින්ම ඒ පෙරහැරට වැටුණේ විෙජ්දාස රාජපක්ෂ ය. ඔහු ද එක්සත් ජාතික පාක්ෂික මන්ත්‍රීවරයෙකි. කොහොමටත් ‘ඊනියා දේශප්‍රේමය’ තම දේශපාලනය කර ගත් අය මුස්ලිම් විරෝධය අවුළුවාලීය. වෙනෙකක් තබා ‘පව් නොදී මෙහෙන් යනවා’ යැයි කීමට තරම් ඔවුහු පසුගාමී වූහ.

අඳබාල ප්‍රකාශ

තත්ත්වයේ බරපතළකම නොදත් හෝ හිතාමතාම මඟහැරීමට උත්සාහ කළ මුස්ලිම් නියෝජිතයෝ පමණක් නොව මුස්ලිම් කටයුතු භාර ඇමතිවරයා ද වගකීමෙන් කටයුතු කරනවා වෙනුවට අමන ප්‍රකාශ නිකුත් කළහ. තැන් තැන්වල හසු වුණු බව කියන අවි ආයුධ අසල පිහිටි සොහොන් බිම් හෙළි පෙහෙළි කිරීමට ගෙන ආ ඒවා විය හැකි යැයි මුස්ලිම් කටයුතු භාර ඇමතිවරයා කීය. කඩු ළඟ තබාගෙන සිටින්නේ සිය ගැහැනු දරුවන් ආරක්ෂා කිරීමට බව තවෙකෙක් කීවේය. ඒවා අ~න්නට සිටියවුන්ගේ ඇසට ඇඟිල්ලෙන් ඇනීමක් විය.

ආණ්ඩුව, විපක්ෂය සහ ජනමාධ්‍ය

එසේම ආණ්ඩුව ලෙස ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් දෙදෙනාගේ නොරිස්සුම්කම් පිට කිරීමට මෙය අවස්ථාවක් කර ගත්තේය. ජාතික ව්‍යසනයක දී රටත්, ජනතාවත් එක්ව ගෙන පෙරළා ව්‍යසනයට එරෙහිව සටන් කරනවා වෙනුවට මේ දෙදෙනා කරනු ලැබූයේ දෙදෙනාගේ අසමඟිය සහ බල ව්‍යාපෘතිය මේ ප්‍රශ්නය මතට ඇද දැමීමයි. දේශප්‍රේමී විපක්ෂ නායකවරයා තම සහචරයෝ ද සමග ජාතිවාදී බොර දියේ මසුන් මරන්නට වූහ. තමන්ගේ නිරුවත් ජවනිකා එළිපිටම රඟදක්වමින් මහින්ද පිලේ පියල් නිශාන්ත මන්ත්‍රීවරයාත්, ආණ්ඩුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලත් රට ගිනි තබන සිදුවීම්වල නිරත වූහ.

මෙලෙසම මෙරට ජනමාධ්‍ය ද හැසිරෙන්නට වූයේ සිය ප්‍රාග්ධන සහ දේශපාලන හාම්පුතුන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුවය. උදෑසන පත්තර කියවන මොහොතේ සිට ඊනියා දේශපාලන සංවාද ද රස කර කර තළුමරන, මරණයම විකුණන ප්‍රවෘත්ති විකාශයන් ද ඉතාමත් හොඳින් ඒ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නට විය. විශ්වාස කළ හැකි කිසිවක් ජනතාව අතට දීමට මේ මාධ්‍යයන්ට හැකියාවක් නොතිබිණි.

සැලසුම් කළ භීතිය

මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වූයේ අවසන් මැයි 13 වන දින සිදු වන බවට පෙරනිමිති කියූ, හිමිකරුවකු නොමැති ලිපියක් සමාජගත වීමයි. එය විශ්වාස කිරීමට තරම් ඒ වන විටත් ජන මනස සූදානම් කර තිබිණි.

එනිසාම කර්තෘ අඥාත එම ලිපිය සමාජය මත සාධාරණ භීතියක් නිර්මාණය කළේය. අප්‍රේල් 21 වන දා මෙන්ම අනතුරුදායක යමක් මැයි 13 වන දින සිදු වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ. එහි ප්‍රකාශනයක් ලෙස මුස්ලිම් තරුණයකුගේ මුහුණු පොතේ කොමාවක් නොමැතිව පළව තිබූ ඉංග්‍රීසි වැකියක් හලාවත ගිනි තැබීය. ඒ මැයි 12 වන දාය. එනිසාම 13 දා අනියත බිය තව දුරටත් විශ්වාස කිරීම වැළැක්විය නොහැකි විය.

එම භීතියම කුලියාපිටියත්, හෙට්ටිපොළත්, නාත්තන්ඩියත්, රස්නායකපුරත්, අවසානයේ මිනුවන්ගොඩත් ගිනි තැබීය. මේ ගිනි පිටුපස දයාසිරි ජයසේකරත්, මධුමාධව අරවින්දත් සිටි බව දැනටමත් හෙළි වී තිබේ. නාමල් කුමාර එතැනට පැමිණ සිටියේ කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකිනි. ජාතිවාදී පෙරමුණු දෙකක් මෙහෙයවමින් සිටින අමිත් වීරසිංහ සහ ඩෑන් ප්‍රියසාද් යන දෙදෙනා ද මේ පිටුපස සිටින බව අනාවරණය විය. බිංගිරියේ් දී නාමල් කුමාර ප්‍රසිද්ධියේ සිදුවීමට මැදිහත් වී පිටව යන තුරුත් ඔහුව අත්අඩංගුවට ගන්නේ නැත. දයාසිරි සමග සිටි නාමල් කුමාර අත්අඩංගුවට ගත්තේ 14 වන දින සවස් වන විටය. අමිත් වීරසිංහ සහ ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගන්නේ ද සිදුවීම ආරම්භ වී දින දෙකකට පසුව ය. ඔවුන් කුළියට හිරේ යන්නවුන් බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. එහෙත්, චූදිතයන් පිරිසක් එක් පොලිසියකින් තවත් පොලිසියකට රැගෙන ගොස් පොලිස් ඇප මත නිදහස් කර ගත් දයාසිරි තවමත් නිදැල්ලේය. මධු මාධව අරවින්ද ද නිදැල්ලේය. ගැටුම සැලසුම් කළ තවත් පිරිස් සිටින බවට ද සැකයක් නැත. ඔවුන් ද නිදැල්ලේය.

කෙසේ වෙතත්, කලහකාරීත්වයට සම්බන්ධ යැයි සැක පිට තවත් පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මේ ගැටුම්වලට සම්බන්ධ නැති බවට ප්‍රකාශ දැනටමත් නිකුත් වී තිබේ. ඒ ප්‍රකාශ නිකුත් වන්නේ නිකම්ම නොවේ. ඒවායේ ඊ ළඟ දිගුව වනු ඇත්තේ ‘අහිංසකයන්’ අත්අඩංගුවට ගැනීමට එරෙහි ප්‍රචණ්ඩත්වයකි. ඉතිහාසයේ සිදු වූ පරිදිම එහි පෙරමුණ ගනු ඇත්තේ ද ගැටුම සැලසුම් කළ තෝරුන් සහ මෝරුන්මය.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

four × two =