“හැම ආණ්ඩුවක්ම බලයට ආවේ ජාතිවාදය එක එක ප්‍රමාණවලින් අවුස්සලා”

රට ඉදිරියේ තිබෙන අභියෝග ජය ගන්න නම් මාලිමාව දිනවන්න යැයි ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරු රටේ ජනතාවට ආරාධනා කළේ ය.

ඒ අද (08) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ලේ සහාගීත්යෙන් මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මහාචාර්ය කුමාර් ඬේවිඞ්

මේ රටේ හැම ආණ්ඩුවක්ම බලයට ආවේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදය එක එක ප්‍රමාණවලින් අවුස්සලා. ඒ නිසා මේ කිසිදු පාලකයෙකුට රටේ ජාතික ගැටලුව විසඳන්න උවමනාවක් නැහැ. ඒක විසඳිය හැකි නිවැරදිම වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා තියෙන්නෙ ජාතික ජන බලවේගයයි. ඒ නිසා රට ගැන හිතන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු සහෝදර සහෝදරියන්ට මම කියන්නේ දෙගිඩියාවකින් තොරව ජාතික ජන බලවේගය දිනවන ලෙසයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන අබේරත්න

මේ වනවිට එම්.සී.සී. ගිවිසුම ගැන ලලිතසිරි ගුණරුවන් කමිටු වාර්තාව ඇවිත් තිබෙනවා. ඉන් ශ්‍රී ලංකාවට බරපතළ හානිකර තත්වයක් උදාවන බව පෙන්වාදී තිබෙනවා. පාලකයෝ දැන් සෘජු උත්තරයක් නොදී ගිවිසුම වටේ කැරකි කැරකී ඉන්නවා. අපි නියත වශයෙන්ම කියනවා, මේ කල් මරන්නේ මැතිවරණය ඉවර වෙනකං පමණයි කියලා. ඡන්දෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඔය ගිවිසුම ගහනවා.

සමරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

අපේ ජාතික ලැයිස්තුවේ ඉන්නේ මේ රටේ වටිනා විද්වතුන් පිරිසක්. ඒ වගේම ගෞරවනීය පිරිසක්. අද අපේ රට හැම අතින්ම බිඳ වැටිලා. පුද්ගල ගෞරවය බින්දුවටම බැහැලා. ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය බිඳවැටිලා. මෑත සිදුවීම් පමණක් ප්‍රමාණවත් අපේ රටේ තත්වය බලාගන්න.

සන්නද්ධ නිලධාරීන් දහස් ගණනින් මැරුව කියන අය මේ ආණ්ඩුව හොඳින් රැක බලා ගන්නවා. අනෙක් පැත්තෙන් බැඳුම්කර වංචනිකයින් අත්අඩංගුවට ගැනීම ඉහළ නියෝගයකින්ම අත්හිටුවලා තියෙනවා. මේ ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙනවා ස්වාධීන කොමිෂන් සභා ටිකත් අහෝසි කරන්න. අවුරුදු 72ක් ජනතාව රවට්ටපු සමහර දේශපාලුවෝ කියනවා, අපේ පැත්තෙන් පොල් ලෙල්ලක් දම්මත් දිනනවා කියලා. ඡන්ද දායකයාගේ ගෞරවය ඒ තරමටම හෑල්ලු කරලා.

විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය

රටේ අධ්‍යාපනයට අදාල නිවැරදි තීන්දු-තීරණ ගැනීමට නම් ඒ සඳහා සුදුසු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. මේ වනවිට රාජ්‍ය අධ්‍යාපනයත් පෞද්ගලීකරණය කරමින් පවතිනවා. නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමට නම් ඒ සඳහා අවංකව අරගල කරන පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ඔන්ලයින් අධ්‍යාපනය මේකට එකම විසඳුම නොවෙයි. සමහර විශ්වවිද්‍යාලවලට සහ ශිෂ්‍යයන්ට ඒ සඳහා පහසුකම් නැහැ. ඔන්ලයින් අධ්‍යාපනය අධ්‍යාපනයේ එක ක්‍රමවේදයක් පමණයි. අධ්‍යාපනය ලැබීමේ සම අවස්ථා රටේ දරුවන්ට අහිමි වෙලා.

දැන් නැවත අලුත් විශ්වවිද්‍යාල පනතක් ගේන්න යනවා. එය නවීන තත්වයන්ට ගැලපෙනවා නම් අපි ඒකට විරුද්ධ නැහැ. නමුත් ඒක මොන වගේ පනතක්ද ඒකෙන් නිදහස් අධ්‍යාපනය ගැන මොනවද කියන්නේ කියලා අපි දන්නේ නැහැ.

Leave A Reply

Your email address will not be published.

8 − one =