ඩොලර් ත්‍රිත්වයේ’ මියැසි පෙළහරින් ලොවක් මත්කළ ඉතාලිනායනු ගාන්ධර්වයානෝ නික්ම යති

 

‘ඩොලර් ත්‍රිත්වය’ නමින් ප්‍රකට වූ ‘A Fistful of Dollars,’ ‘For a Few Dollars More,’ හා ‘The Good, the Bad and the Ugly’ සිනමාපටවලට රසිකයන් මෝහනය කළ පසුබිම් සංගීතයක් නිර්මාණය කළ ඉතාලි ජාතික සංගීතඥ එන්යෝ මොරිකෝනේ (Ennio Morricone) ඊයේ (06) උදෑසන රෝමයේ පෞද්ගලික රෝහලකදී මෙලොවින් සමුගත්තේය.
මිය යනවිට ඔහු 91 වැනි වියේ පසුවිය.
’60 දශකයේ නිර්මාණය වී අද දක්වාත් සිනමා රසිකයන් අමන්දානන්දයට පත්කරමින් අමරණීයව වැජැඹෙන ‘ඩොලර් ත්‍රිත්වය’ (‘Dollars Trilogy’) ඉතාලි ජාතික සිනමාකරු සරජියෝ ලියොන් ගේ අධ්‍යක්ෂණයෙන් ද, ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ රංගනයෙන් ද ඔපවත් වූ අතර, මොරිකෝනේ ඒවාට නිර්මාණය කළ සංගීතය සිනමා පසුබිම් සංගීතයේ වෙනමම අනන්‍යතා සලකුණක් තැබීය. ඒවා සිනමා සංගීතයේ වඩාත්ම බලපෑම් සහගත සංගීත නිර්මාණ අතරෙහි ලා සැලකුම් ලබයි.
මොරිකෝනේගේ සංගීතය western හෙවත් ‘ගොපලු චිත්‍රපට’ දහරාවට එහිම වූ අර්ථකතනයක් සැපයීමට උපකාරී වූ නමුත් මොරිකෝනේ එතැනින් ඉදිරියට යමින් සියලු ශානරයන්ගේ සිනමාපට වෙත සිය සංගීතය දායක කළේ ය.
ඔස්කාර්, ගෝල්ඩන් ග්ලෝබ්, ග්‍රැමි හා BAFTA ඇතුළු සම්මාන අසූවකට අධික ගනණකින් පිදුම් ලැබූ ඔහු සිනමා හා රූපවාහිනී නිර්මාණ 400කට අධික ප්‍රමාණයකට සංගීතයෙන් දායක වූ අතර, ඔහු අතින් රචනාවූ සම්භාව්‍ය සංගීත රචනා සංඛ්‍යාව 100කට අධිකය.
සිය සංගීත රචනා සඳහා මවුත්ඕගනය, මරියාචි ට්‍රම්පට්, හාප්, පෞරාණික චීන වාද්‍ය භාණ්ඩයක් වූ ඔකරිනාව ආදී අසාම්ප්‍රදායික සංගීත භාණ්ඩ ද යොදාගත් මොරිකෝනේ, ඒ සංගීත රටා සිවුරුහන් හඬ, කසපහරවල හඬ, වෙඩිහඬ හා කොයෝටයන්, වන සුනඛයන් බඳු වනසතුන්ගේ නාදවලට සමාන නාද සමග පර්යේෂණාත්මක ලෙස මුසුකළේය.
මොරිකෝනේට 2016 දී ඔස්කාර් ඇතුළු සම්මාන රැසක් හිමිකරදුන් ක්වන්ටීන් ටැරන්ටීනෝගේ The Hateful Eight සිනමාපටයේ සංගීත නිර්මාණය භාරගැනීමෙන් පළමුව ඔහු කරඇරියේ ය. අවසන ඔහු ඊට එකඟ වූයේ එක් කොන්දේසියක් මතය. ‘පනස් අවුරුද්දකට කලින් කරපු ගොපළු චිත්‍රපටිවල සංගීතයෙන් මුළුමනින් මිදිලා මේක කරන්න ටැරන්ටීනෝ ඉඩ දෙනවනං විතරක්’ යන්න ඒ කොන්දේසිය විය.
“ඒක හරියට කටු ඔටුන්නක් වගේ. මට තේරෙන්නෙ නෑ, මං මෙච්චර චිත්‍රපටිවලට සංගීතය සපයල තියෙද්දිත් මිනිස්සු ‘A Fistful of Dollars’ ගැනම හිත හිත ඉන්නෙ ඇයි කියලා. එයාල අවුරුදු තිහකට එහා අතීතෙක හිරවෙලා.” ඔහු 2007 දී රොයිටර් පුවත් සේවයට කියාසිටියේ ය. “ගොපලු චිත්‍රපටවල තියෙන්නේ මං කරපු සංගීත නිර්මාණවලින් සියයට හතහමාරයි නැත්නම් අටයි.”
“මට තේරෙන්නේ නැතැ”යි මොරිකෝනේ කීවත්, සිනමා රසිකයන්ට ඒ ගොපළු සිනමාපටවල සංගීත ඛණ්ඩ කිසිදා අමතක කළ නොහැක්කේ මන්දැයි ඒවාට සවන්දෙන්නකුට අද පවා පැහැදිළි වනු ඇත.
1928 දී ඉතාලියේ රෝම නුවර උපන් මොරිකෝනේ ට්‍රම්පටය අතට ගෙන සිය පළමු සංගීත රචනය නිමවන විට ඔහු සය හැවිරිදි දරුවෙක් විය.
‘සිනමා පසුබිම් සංගීතයට කවදා හෝ පුද්ගල නාමයක් පර්යා වීනම් ඒ එන්යෝ මොරිකෝනේ ය’යි ඔහුගේ අභාවය නිමිත්තෙන් The Guardian පුවත්පතට සටහනක් ලියන Adam Sweeting කියාසිටී.

-සනත් බාලසුරිය 

Leave A Reply

Your email address will not be published.

17 − 2 =