සමරිසි ස්ත්‍රීන්ගේ ප්‍රේමය බහුලව සිතුවම්ට නැගූ Henri de Toulouse-Lautrec

 

The Bed ලෙස නම් කෙරෙන මේ සිතුවම 1892 දි අඳින්නේ, පශ්චාත් උපස්තථිවාදී (Post – Impressionist) සිත්තරෙක් ලෙස ප්‍රකට, ප්‍රංශ ජාතික Henri de Toulouse-Lautrec (1864 – 1901) විසින්.

ක්ලෝඩ් මැනේ, එඩ්ගා ඩෙගාස් වැනි උපස්තිථිවාදී ශිල්පීන්ගේ නිර්මාණ ආභාශය Henri de Toulouse-Lautrec ගේ මුල්කාලීන නිර්මාණ තුළ දකිත හැකි වුවද, පසුකාලීනව ඔහු සෙසාන්, ගොගෑන්, වැන්ගෝ වැන්නවුන්ගේ නිර්මාණ අනන්‍යතාවන් හෙවත්, පශ්චාත් උපස්තිථිවාදී කලා ආභාශයන්, ඔහුගේ සිතුවම් හී වර්ණ භාවිතාව විසින් හා එකී කලා භාවිතාවේ සුලභ ලකුණක් වන long, thinner brush strokes භාවිතා කරනු දැකගත හැක.

ඉතා කෙටි දිවි සැරියකට උරුමකම් කී Henri de Toulouse-Lautrec පැරීසියේ අඳුරු ජීවිතවල රාත්‍රී දිවිය සිතුවම් කිරීම කෙරෙහි වෙසෙස්ව නැඹුරු විය.

ගණිකාවන්, පාදඩයන් වැන්නවුන් මෙන්ම අශ්ලීලයැයි සම්මත සමාජ හැසිරීම්වල විචිත්‍රතා හා ඒවායෙහි මානුෂීය සුවිශේෂතා Henri de Toulouse-Lautrec තම නිර්මාණ තුළ ප්‍රකට කළේය.

The Bed ලෙස නම් කරන මේ සිතුවම සමරිසි ස්ත්‍රීන් දෙදෙනෙකු ප්‍රේමාලිංගනයකින් පසු දීර්ඝ හා සැහැල්ලු නින්දකට වැටී සිටින අයුරු නිරූපිතය.

ඔවුන්ගේ මුහුනුවල නින්දේදී පවා මතුවන සැහැල්ලු හා නිදහස් හැඟුම් විසින් තමන් අත්පත්කරගත් තෘප්තියේ උණුසුම්බව කියාපායි. ඔවුන්ගේ හිස් වලට ඉහලින් ඇති දීප්තිමත් තැඹිලි පැහැය විසින් ඒ හැඟුම වඩාත් මතුකර දැක්වීමට Henri de Toulouse-Lautrec සමත් වෙයි.

මා මුලින් කී පරිදි පශ්චාත් උපස්තිථිවාදී කලාවේ වර්ණ භාවිතාවන් හා ශිල්පීය භාවිතාවනවල ලකුණු මොනවට ප්‍රකට කරන මෙම සිතුවම කලා භාවිතාවන් දෙකක් (impressionism and post impressionism) අතර ලකුණු කියාපාන, චිත්‍ර කලා අධ්‍යයනයේ මා වැනි දුහුනෙකුට විශාල අධ්‍යයන අවකාශයක් සපයන සිතුවමකි.

එක් පසෙකින් එඩ්ගා ඩෙගාස් වැන්නවුන්ගේ මිනිස් රූ ඇඳීම් හා චලන ලක්ෂණ මේ සිතුවම තුළ නිරූපිත අතර, අනෙක් පසින් වැන්ගෝ හා ගොගෑන්ගේ වර්ණ භාවිතාවන් විසින් ප්‍රකට කළ සුවිශේෂතාවල අභාශයද නිරූපිතය.

සමරිසි ස්ත්‍රීන්ගේ ප්‍රේමය තමන්ගේ සිතුවම් බොහෝ ගණනකට Henri de Toulouse-Lautrec තේමා කර ගත්තේය.

ඒ බොහෝ අවස්ථාවල Henri de Toulouse-Lautrec ඔවුන්ව ඇන්දේ ඝන පොරෝනා අතර සිටින්නවුන් ලෙසය. ආන්තික සමාජ කණ්ඩායම් වෙත පිටත හෙවත් අධිපති සමාජයේ කුරිරු සීතල ඇතිකරන පීඩනය, ආත්මීය උණුසුම විසින් සමනය කරන අයුරු ඒ තුළ සංකේතාත්මකව නිරූපිතයැයි මට හැඟේ.
-ජනක ඉනිමන්කඩ

( Henri de Toulouse-Lautrec  ගේ වෙනත් එවන් නිර්මාණ )

 

Leave A Reply

Your email address will not be published.

seven + sixteen =