“අප්පච්චි, ඔයාට මාව නවත්තන්න බැරි වුණා”

මට ගුරුවරයෙක් ගැන තරහක් කෝපයක් ඇරියස් එකක් තියෙනව නම් ඒ තියෙන්නෙ වෙන කිසිම ගුරුවරයෙක් එක්ක නෙමෙයි. මගේම අප්පච්චි එක්ක.

මං පහේ පන්තියට වෙනකල් ගිය අලව්ව කණිටු විදහලේ මගේ අප්පච්චිත් ගුරුවරයෙක් විදිහට වැඩ කළා. විදුහලේ බාහිර වැඩ කටයුතු කරට අරන් කෙරුවෙ එවකට තරුණ ගුරුවරයෙක් වෙච්ච අප්පච්චි තමයි. හැබැයි මම කවදාවත් අප්පච්චිගෙ පන්තියෙ ශිෂ්‍යයෙක් විදිහට ඉඳල නෑ. මං හිතන්නෙ හිතා මතාම මාව ගත්තේ නෑ.

කතාව මෙහෙමයි. ඒ කාලෙ පාසැලට ගීයක් තිබ්බෙ නෑ. අප්පච්චි මුල් වෙලා ගීයක් ලියවලා, තනුවකුත් දා ගත්තා. ඒක උදේට රැස්වීමෙදි ගායනා කරන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතුරින් ගායක කණ්ඩායමක් තෝරා ගැනීම ඇරඹුණා. හොඳ ගායන හැකියාවක් තිබ්බ අප්පච්චිම තමයි මේ තේරීමත් බාරව හිටියෙ. මාත් මේ පරීක්ෂණේට සහබාගි වුණේ මේක කැපිල පේන්න තියෙන අවස්ථාවක් හින්දා.

ඒ වුණාට අප්පච්චි මාව කණ්ඩායමට තෝර ගත්තෙ නෑ.

මං හැමදාම ඉස්කෝලෙ ගි​යේ ආවෙ අප්පච්චිත් එක්ක බයිසිකල් එකේ. මේ ගායක කණ්ඩායමේ පුහුණුවීම් කෙරුවෙ පාසැල ඇරුනට පස්සෙ. ඒ වැඩේ ඉවර වෙනකල් මට පාලු ඉස්කොලෙට වෙලා නිකං ඇවිද ඇවිද ඉන්න සිද්ද වුණා.

මං නන්නත්තාර වෙලා ඉන්නව දැකපු ගුරුවර ගුරුවරියන් කීප දෙනෙක් ම ” මේ දරුවවත් කණ්ඩායමට ගන්නකෝ” කියල අප්පච්චිට කියනවා මට ඇහිල තියෙනවා. “මූට ගායන හැකියාවක් නෑ” අප්පච්චිගෙ උත්තරෙ වුනේ ඒක. “ඒකට කමක් නෑ. පැත්තක ඉඳන් කට හොල්ල හොල්ල ඉඳීනේ” තවත් අය කිව්වා. “මේකෙ ඉන්නෙ හොඳටම සිංදු කියන්න පුළුවන් ළමයි. නිකං කට හොල්ලන කවුරුත් නෑ” එහෙම කිව්වාම ආයෙ කවුද තර්ක කරන්න යන්නෙ?

අප්පච්චි අන්තිම මොහොතෙදි හරි මට චාන්ස් එකක් දෙයි කියල මං බලාගෙන හිටියා. එහෙම වුණේ නෑ. ඒ ගායක කණ්ඩායම පාසැල් රැස්වීම් දාට පීඨීකාව මත නැගිලා සාඩම්බර ලීලාවෙන් පාසැල් ගීය ගායනා කරන හැටි මං පහළ ඉඳන් බලාගෙන හිටියෙ පුදුමාකාර ශෝකයකින් හා කෝපයකින්. මං ලොකු මානසික ඇද වැටීමකට ලක් වුණා. ඒ ඇති වෙච්ච හැඟීම මට තාමත් හොඳට මතකයි.

මගේම අප්පච්චි මට ගායකයෙක් වෙන්න තිබ්බ අවස්ථාව අහුරලා දැම්මෙ ඒ විදිහට.

ඒ ඉස්කෝලෙන් අයින් වෙනකල් ම අර පීඨිකාව මත නැගලා අනිත් අයගෙන් කැපිල පේන්න මට අවස්ථාවක් උදා වුණේ නෑ.

ඒ අවස්ථාව ආයෙත් උදා කර ගන්න මට අවුරුදු තිහක් තිස් පහක් විතර කාලයක් බලාගෙන ඉන්න සිද්ද වුණා. මගේම අප්පච්චි මට නොදුන්න චාන්ස් එක මාව පෞද්ගලිකව නොහඳුනන විදුහල්පති වරයෙක් මට ලබල දුන්නා. මෑතක දි ඒ පාසැලේ ත්යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා විදිහට ධජය එසවීම සඳහා මං ඒ පීඨිකාවට නැංගා. ඒ මොහොතෙදි මට මේ අතීත සිදුවීම සිහිපත් වුණා.

“අප්පච්චි, ඔයාට මාව නවත්තන්න බැරි වුණා” ඒක අප්පච්චිගෙම මූණට කියා ගන්න තිබ්බ නම් කොච්චර දෙයක් ද?
-අරුණ ප්‍රේමරත්න

(උදාහරණයට ගත ඡායාරුපයක් පමණි)

Leave A Reply

Your email address will not be published.

six + 18 =