සපෙත්තෙන් සැදුණ හිම මලක අසිරිය

“සීතලට හිරි වැටෙන
තුන් යමේ අතර මැද
ඒ යුගේ
නුඹ ඇවිත් සීරුවෙන්
දැමු පොරෝනාවේ උණුහුම
දැනේ හැමදාම මට
වරින් වර”

සුදු පැහැ බිත්තිය තලා ගොස් ඇත්තේ ඉරි වලින් ය. ඒ මේ අත විසිර ඇති රේඛා ඔස්සේ විවිධ රටා මතු වෙයි. අවපැහැව ගිය බිත්තියේ කොනක එල්ලා ඇති රතු කබායකි. මේ කලක හිඳ තනිව ගම්, නගර පීරමින් ඇවිද යන මතකයන් වන්නට ද හැකිය. එසේත් නැතිනම් මතක පොදි ගැට ගසා සිරකර තබන නගරයක් වීමට ද ඉඩ ඇත. සියක් අනුමාන, කල්පනා අතරින් අපට හිටි හැටියේ ‘ලතු අතුළ නගරය’ හමුවෙයි.

ජගත් ජී. එදිරිසිංහ කවියා දෙදහා වසරේදී  ‘සිසිරයේ පිපුණු මල්’ මිටක් අප අතර ගෙනවිත් තබයි. ඉන්පසු‘ රාජාලි පියාපත’ නමින් තම දෙවන කාව්‍ය සංග්‍රහය ද, දෙදහස් පහළොව වසරේ දී  ‘වියෝලය දරාගත් මිනිසා’ කාව්‍ය සංග්‍රහය ද සහෘදගත කරයි. වසර පහක කාව්‍යමය නිහැඬියාවකින් පසු නැවත ඔහු අපට හමු වන්නේ ‘ලතු අතුළ නගරය’ තුළින් ය.

වවරව ඇති ජනෙල් කවුළුවක් ය. කවුළුවෙන් අපිට ඝන කළුවර ය. දිගුකර ඇති අතක් ය. එහෙත් ජනේලය වසා දැමීමට තරම් දුර අත දිගු කළ හැකිදැයි යන්න ප්‍රශ්නාර්ථයකි. ඊට යාබද පිටුවේ ‘සීතල’ හිසැති කවියකි.

කවුද ඇර දමා ගොස්

කාමරේ ජනේලය

රුදු සීත ගලා විත්

නින්ද නෑ මේ රැයෙත්

හාමිනේ කවුරුත්

නැද්ද මේ ජනේලය

වහන්නට ළඟ පාත?

 

සීතලට හිරි වැටෙන

තුන් යමේ අතර මැද

ඒ යුගේ

නුඹ ඇවිත් සීරුවෙන්

දැමු පොරෝනාවේ උණුහුම

දැනේ හැමදාම මට

වරින් වර

සීතල, ජනේලය, සුදු හාමිනේ එක්ව මතකයේ පැටලී ඇති ඔහු ළඟ පාත හොයන්නේ කවුරුන් ද!

මෙහි එන ‘ඒ යුගේ’ ආදරණිය උණුහුම අපට ද හමු වන්නේ පොරෝනාවක් ලෙසය. අතීත සැමරුම් නැවතුම් ලියවී ඇති ආකාරය නැවත නැවතත් අපව කවිය සමග තනි කරයි. ඒ මෙසේ ය.

නළලත තබා උණුහුම් අතක්

ඇසෙන්නට නෑසෙන්නට

මිමිණු වදනක් පවා

කෙතරම් උණුසුම් විද එදවස

අඩමාන සිතිවිලිම බිහිකරන

වාරු නැති මගේ හිත

සොයා යයි නුඹ වත

හාමිනේ නුඹ කොහිද

නොසිටීද ළඟ පාත

වහන්නට ජනේලය?

අඩමාන සිතුවිලි හා ජනේලය ළඟ මදක් නැවතී හිඳ පසු පිටු පෙරළමින්, කියවමින් ඉදිරියට පැමිණෙන විට පසු පසට ගිය ‘රතු රිබන්’ පටියක් හමු වේ. ඒ ලතු අතුළ නගරයෙහි මීළඟ නැවතුම ලෙසයි. තරමක් දිගු වුවද නිදහසේ ගලා යන්නට කවිය පෙළගැස් වී ඇති ආකාරය ‘කෝපි මල් හිනාවක්’ අප හිත් වල ද තැන්පත් කරයි.

වහලේ හිල්

පොළවෙ පස්

අපෙ පන්ති කාමරේ

දුක හිතිල වෙන්න ඇති

අපේ මන්තිරි තුමා

ඉස්කෝලෙ අලුතින්ම

හැදු පන්ති කාමරේ

වීවෘතෙට ආව දා

පෙන්නන්න අපි හැදු

විවිධ ප්‍රසංගයට

බඳින්නට මගෙ කොණ්ඩෙ

රතුපාට රිබන්නෙකක්

(රතුපාට නෙවි අනේ

මොන පාටකින්වත්)

තිබුණෙ නෑ අපේ ගෙදර …..

කටුක පරිසරයක වල් වැදී ගිය පාසල් වටපිටාවක් සමග ඇරඹෙන ‘රතු රිබන්’ කවියෙහි සිසුවියක හමුවේ. පාසලේ ඇති අඩුපාඩු දැක ඔවුන් පිළිබඳ දුක හිතී මන්තිරිතුමා අලුත් ගොඩනැගිල්ලක් සදා දෙන්නට ඇතියැයි පවසන ආකාරය උපහාසාත්මක ය. කොරෝනාමය කාලවකවානුවෙහි පාසල්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන තුළ මාර්ගස්ථ ඉගැනුම් ක්‍රම ඇරඹෙන්නේ මෙවන් මහ පොළවක හිඳය.

මන් ඉතින් අම්මගෙන්

අහන්නට ගියෙත් නෑ..

ඇහුවොතින් හුල්ලයි

පිටි අතිං

කඳුළු කැට පිහදමයි…

අනේ උන්දෑ කොහෙන්

ගේන්නද රිබන් පටි..?

කොණ්ඩ කරලක් ගොතං

ඔන්න ඔහෙ

මං ගියා

ඉස්කෝලෙ…

“කෝ පුතේ කොණ්ඩ පටි..?”

අපේ මිස් ඇහුවෙ නෑ

කඳුළු පුරෝගත් ඇහින්

බලං හිටියා මිසක්..

ඉම්පස්සේ මං දැක්ක

පිටි අතින්

හොරෙන් වගෙ

පිහිදැම්ම ඇස් දෙකම…

හෙමින් සීරුවෙ ගිහින්

මන්තිරි උතුමා කපපු

රතු පීත්ත පටියෙන්ම

කෑල්ලක් කපාගෙන

බැන්දානෙ මගෙ කොණ්ඩෙ…

“අපූරුයි” ඈ කිව්වා

අත් දෙකම එක්කරන්

ඇස් වලින් හිනැහෙමින්..

ඒ වුණත් මට බයයි.

“පීත්ත පටියෙන් ටිකක්

අඩු වුණා කියාලා

දැනේවිද මන්තිරිට…?”

අපේ මිස් හිනැහුණා

කෝපි මල් හිනාවක්

“නෑ පුතේ එයාලට

ඔය වගේ පුංචි දේ

දැනෙන්නෑ අපිට වගෙ…”

මන්තිරි තුමා, පන්ති කාමරේ, රිබන් පටිය සංකේත කරගනිමින් කියවෙන මේ අවනඩුව සුලබ එකකි. තක්කඩි දේශපාළුවන් හට පිළිගැනීමේ ගීත,

පිළිගැනීමේ කතා පුරුදු පුහුණුව ඇරඹෙන්නේ පාසලෙන් ය. එතැන් පටන් මරණය තෙක්ම ඔවුනගේ ගුණ ගායනය අප ජීවිත වල කොටසක්ය. අවසානයේ ගුරුතුමිය සිසුවියට ලබා දෙන පිළිතුර පීත්ත පටියකින් එහා ගිය කතන්දරයකි. මේ කව කියවන අප ඒ අසල නවතා තබන අවසානයකි.

ලතු අතුළ නගරයේ අවසන් නැවතුම ලෙස කවි පේළි දහයක් අප ඉදිරියේ ය. කෙටි වචන පෙළක නො අඩුව දැනෙන ප්‍රේමයකි. අනෙකා පිළිබඳ ආදරණීය කෝණයකින් විමසීමට මේ කව අපට යෝජනා කරනවා යැයි සිතේ. සිසිරයේ හිම ගුළී  අතර සපෙත්තෙන් ලියවුණු හිම මලයි මේ…

සිසිරයේ සිසිලස ය

හිම ගුළි ය

සපෙත්තෙන් සැදුණ

හිම මලක අසිරිය ය

මම ලියමි රස කරමි

එය නුඹට නොවැටහෙන

බව දනිමි

එය නුඹේ වරදකැයි

නොම සිතමි

ඒත් මම තව ලියමි

 

පසන් සංජය සමරතුංග

Leave A Reply

Your email address will not be published.

16 − seven =