රනිල් හොරුන්ට දඬුවම් දෙනකං බලං හිටපු අපිට නෙවෙයිද ඕයි පිස්සු?

රනිල් සිය ‘යහපාලන’ ආණ්ඩු කාලයේ ශිරන්ති රාජපක්ෂගෙන් කටඋත්තර ගන්නට සීඅයිඩී ය ශිරන්තිගේ ගෙදරට යැව්වේය. අද මහින්දලාගේ ගෝඨලාගේ ආණ්ඩු කාලයේ රනිල්ගෙන් කටඋත්තර ගන්නට සීඅයිඩී ය රනිල්ගේ ගෙදරට යවන්නේය. දෙදෙනාටම එල්ලවූයේ දූෂණ චෝදනාය.
ඉතින් මේවා ඉතාම ලොජිකල්ය. ඒ නිසාම මැජිකල් නොවිය යුතුය. බැඳුම්කරයෙන් කිසිම ලොකු ලොක්කෙක් ගෝඨලා මහින්දලා යටතේත් වදරකරුවන් නොවීමට නියමිතව තිබීම ද මැජිකල් නොව ලොජිකල් රියලිසම්ය.
පහුගිය කාලයේ පොඩි දේශපාලන කයියක් සඳහා අප අල්ලාගැනීමට උත්සුක වූ අපේ ඇතැම් අතීත මිතුරන්ට වුවමනා වූයේ කයියක් ගහනවාට වඩා ප්‍රශ්න විචාරන්නටය. ඒ ඇතැමක් ප්‍රශ්න සහ උත්තර, පොදු අවකාශයක බෙදාහදාගත්තාටත් කමක් නැතැයි සිතෙන ඒවාය.
මේ එවන් එක ප්‍රශ්නයකි.


”ඇයි අප්පා රනිල් අවුරුදු පහක් ඉඳලත් අඩු තරමෙ හොරු අල්ලන එකවත් නොකෙරුවෙ?”
ඇත්ත තමාය. බොහෝ දෙනෙකුට මෙය මරාගෙන මැරෙන්නට තරම් දරුණු ප්‍රශ්නයකි. ඒත් අපට පෙනෙන හැටියට නම්, මරාගෙන මැරෙන්නට තරම් සංකීර්ණකමක් මේ ප්‍රශ්නයේත් නැත.
”මෙහෙමයි, කවුරුත් කියන විදියට රනිල් ප්‍රජාතන්ත්‍රවාදියෙක්නෙ, තවත් ප්‍රබේධගත කෙරුවොත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක්නෙ. දේශපාලනය ගැන එයාගෙ ‘අදහසත් එක්ක’ ගත්තාම ඒ කියමනට දැනට එහෙම තියෙන්න අරිමු.
හැබැයි රනිල්ගේ ඒ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීකම ලංකාවට ආදේශ කරනකොට, ඒ යට පොඩි කොස්සක් ති‍යෙනවා.
රනිල්ට අනුව ලංකාව කියන්නෙ විශ්වීය අරුතෙන් හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදයකින්, ලිබරල් ප්‍රජාතන්ත්‍රයකින් පාලනය කරන්න පුළුවන් තරම් ශිෂ්ට සම්පන්න, සංස්කෘතිකගත, දේශපාලනිකව දියුණු තැනක් නෙවෙයි. මේකෙ ඉන්න වහල් මානසිකත්වයක් තියෙන, රජගොල්ලො හාමුදුරුගොල්ලො පස්සෙ විතරක් නෙවෙයි රාවණාල, ගංගාමෑණිල පස්සෙත් පිස්සුවෙන් වගේ දුවා ඇවිදින, වඳින පුදන ගමයො එක්ක වැඩකරනකොට ප්‍රජාතන්තරේ වුණත් ටිකක් තලල, කරකවල, නවල, අඹරල ගන්න වෙනවා. ඒ විදියට නවල ගත්තාම ලංකාවට හරියන ප්‍රජාතන්තරේ කියන්නෙ හොරකං නැතුව දුවවන්න පුළුවන් එකක් නෙවෙයි.
සරල උදාහරණයක් ගනිමු. මේ තියෙන ඡන්ද ක්‍රමේ හැටියට අපේක්ෂකයෙක් ඡන්දෙකින් දිනන්න වියදම් කරන මහා ධනස්කන්ධය, තමන්ගෙ ධූරකාලය ඇතුළෙ ලැබෙන පඩිනඩි දීමනාවලින් විතරක් මේ සම්මජ්ජාති පියවාගන්න පුළුවන් එකක්ද? ඉතින් මේ වගේ තැනක ප්‍රජාතන්තරේ කියන එක දුවවන්නත් සයිඩ් එකෙන් හොරකම කියන එක තියෙන්නම ඕනෑ. නැත්නම් ක්‍රමය පවතින්නේ කොහොමද?
වැඩිමනත් කාරණයක් විදියට, අපේ රටේ පහළම ආණ්ඩුවෙ රස්සාව කරන එකාගෙ ඉඳලා ඉහළම බිස්නස්කාරයා දක්වා හැම එකාම තම තමන්ගේ තරාතිරමේ හැටියට හොරුනේ. හොරකම කියන්නෙ යැපුම් මාර්ගයක් විතරක් නෙවෙයි. ඒක විනෝද මාර්ගයකුත්නේ. කොච්චර හොඳින් කෑවත් රහක් නෑ. හොරෙන් කෑවොත්නෙ රහ. ඒ හොරකම දැන් අපේ ලේවලටම ප‍ත්තියම් වෙච්ච එකක්නේ. ඉතින් මේ වගේ තැනක මේ ක්‍රමේ පවත්වගෙන යන්නනම් හොරකම කියන එක මේ අදියරේවත් යම් පමණකට තියාගන්නම ඕනෑ.
හැබැයි රනිල් මෙතනදිත් අනිත් බොහෝදෙනෙකුට වඩා සිස්ටමැටික්. එයාට අනුව හොරකමටත් තිරිත්තුවක් තියෙන්න ඕනෑ. ඒකට විධිමත් ක්‍රමවේදයක් ඕනෑ. ලෝකෙ වටේ ගිහින් හිඟාකාල ගන්න ණයෙනුත් වැඩි පංගුව හොරාකාල ගෙදර ගෙනියන්න නෙවෙයි, රනිල් අනුදැන වදාරන හොරකම හුදෙක්ම මේ සිස්ටම් එක දුවවන්නයි.

මේකට හරියනම මෑතක උදාහරණෙ තමයි සුප්‍රසිද්ධ බැඳුම්කර ගනුදෙනුව. බැඳුම්කරෙන් හොරාකාපු සල්ලි ගෙදර ගෙනිච්ච අය කොතෙකුත් ඇති. ඒත් රනිල් ඒ සල්ලි ගෙදර ගෙනිච්චෙ නෑ කියන එක කාරණා කාරණා දන්න අය දන්නවනේ. එයා මහින්දගෙ කාලෙ අජිත් නිවාඩ් කබ්‍රාලුත් කෝටි 1047ක් වෙනකං ‘එහා මෙහා කරපු’ බැඳුම්කර ක්‍රමවේදයට සල්ලි ටිකක් හොල්ලන්න අනුමැතිය දුන්නෙ, තියෙන තොරතුරුවල හැටියට, ඊළඟ මැතිවරණවලට පක්ෂයේ ඡන්ද යන්ත්‍රය දුවවන්න මුදලක් හොයාගන්නයි. ඒ කියන්නෙ මේ පෙජාචංචවාදෙ දුවවන්ඩම තමයි.

හොරකම නැතුව මේ සිස්ටම් එක දුවවන්ඩ බැරිනම් හොරු අල්ලල හරියනවද? හොරු අල්ලල හිරේ විළංගුවෙ දාල සිස්ටම් එකට කෙලවනවා වෙනුවට පරණ හොරාකෑම් රනිල්ට පේන්නෙ දේශපාලන වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් පොඩිපහේ ආයුද ගබඩාවක් විදියට විතරයි. කොටින් කිව්වොත්, ”මං ‘හොරා හොරා’ කිව්වට පසසෙ ඔයාලත් ‘හොරා හොරා’ කියල කෑගහන්ඩ” කියල පාර්ලිමේන්තුවෙ කියන්ඩ වගේ දේවල්වලට. ඒ පරණ හොරාකෑම් චෝදනාවලින් ඊට වැඩිය සීරියස් වැඩක් ගන්ඩ යන්ඩ හොඳ නෑ.
හැබැයි මෙච්චර කාලයක් වෙච්ච හොරකම් හැම එකකටම රනිල් එකඟයි කියන එක නෙවෙයි ඒකෙ තේරුම. මහ දවාලෙ මංකොල්ල කාල රටට එන ණය සල්ලිත් ගෙදර අල්මාරියට හරෝන එකට එයාගෙ එකඟත්වයක් කොහෙත්ම නැතුව ඇති. ඒ වෙනුවට හොරකමට ‘ශීලාචාර, විනීත’ පෙනුමක් දීලා ඒක සිස්ටම් එක දුවවන්ඩයි, සිස්ටම් එක දුවවන අයව දුවවන්ඩයි විතරක් තියාගන්න එක තමයි එයාගෙ ආර්ථික කළමණාකරණයේ ‘සොරාකෑම’ නම් රහස්‍ය පරිච්ඡේදයේ න්‍යාය.
දැන් පේනවද, දේශපාලන අදහස වශයෙන් ගත්තාම රනිල් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියල ගත්තට, පාලකයෙක් හැටියට මේ පොළොවේදී ප්‍රායෝගිකව එයා තනිකරම සිස්ටම් එකක් වෙනුවෙන් පෙනී සිටින්නෙක් කියලා.
ඉතින් මේ විදියට සිස්ටම් එක දුවවන්න හොරකම නැතුව බෑ කියලා සූත්‍රගත කරන, සිස්ටම් එකක් රකින බහිරවයෙක් වෙච්ච පාලකයෙක් හොරුන්ට දඬුවම් දෙනකං බලං හිටපු අපිට නෙවෙයිද පිස්සු?

ඒ වෙනුවට අපි චෝදනා කරන්න ඕනැ එයා තමන් බලයෙ හිටපු කාලෙ අඩු තරමෙ එයාගෙ න්‍යායට-සුත්‍රයට හරියන විදියටවත් හොරකම ව්‍යූහගත කරන්න කිසිදෙයක් නොකරපු එකටයි. මොකද අපට ආයෙ පේන තෙක්මානෙක එහෙම හොරකම ව්‍යූහගත කරන්න, පද්ධතිගතකරන්න, සිස්ටම් එකේ අවශ්‍යතාවට විතරක් සරිලන විදියට ආයතනගත කරන්න පුළුවන්, එහෙම දැක්මක් තියෙන හොරෙක්-හොර ගෙඩියෙක්-හොර නායකයෙක්- පහළවෙයි කියල හිතන්න බැරි හින්දා.
රනිල් පැහැරහැරියේ ඒකට තිබුණු අන්තිම අවස්ථාව.
ඉතින් ඔහු අතින් ස්ට්‍රක්චර් එකකට නොවැටුණු හොරකම, මේ ආපහු ඇවිල්ල ඉන්න කම්බ හොරු අතින් චෞරත්වයේ සමන්තකූටයටම නගින එක වළක්වන්න සක්කරයටවත් බෑ!
ඒ ඓතිහාසික වරදෙන් නම් රනිල්ට කවදාවත් නිදොස් වෙන්න බැරිවෙයි!!”

-සනත් බාලසුරිය

Leave A Reply

Your email address will not be published.

1 × five =