මාධ්‍යවේදී කෂෝගී ඝාතනය – ගිනි උදුන දල්වන්නැයි නියෝගයක් !

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ජමාල් කෂෝගී, තුර්කියේ ඉස්තාන්බූල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාල ගොඩනැගිල්ලට ඇතුළු වී පැයකට අඩු කාලයකදී එහි ඇති උදුනක් දල්වන ලෙස තමන්ට නියෝගයක් ලැබුණු බව, කොන්සල් කාර්යාලයේ සේවය කළ තුර්කි ජාතික තාක්ෂණ ශිල්පියෙකු වන සේකි ඩෙමීර් – Zeki Demir ඒරට අධිකරණයකට පවසා තිබේ.
අල්-ජසීරා – aljazeera පුවත් සේවය සඳහන් කරන්නේ තමන්ට කොන්සල්වරයාගේ නිල නිවසට කැඳවීමක් ලැබුණු බව පසුගිය සිකුරාදා (03) ඔහු අධිකරණය ඉදිරියේ අවධාරණය කළ බවයි. ඒහි ගිය පසු වහාම උදුනක් දල්වන ලෙස දැන්වූ බවත්, ඒහි පුද්ගලයන් පස් දෙනෙකු හෝ හය දෙනෙකු සිටි බවත් අධිකරණයේදී සඳහන් කර ඇති ඩෙමීර්, එහි තිබූ පරිසරය බියට පත්වන සුළු බව ද පවසා තිබේ.

මස් කුට්ටි !

ඩෙමීර් වැඩිදුරටත් අධිකරණයට පවසා ඇත්තේ මස් කපන උපකරණ සහ කපා කොටස් කිරීමට සූදානම් කර තිබූ මස් කුට්ටි ද උදුනට දැමීමේ සූදානමින් එහි තිබූ බවයි. ඒසේම උදුන වටා ඇති කිරිගරුඩ ප්‍රදේශයේ පැහැය වෙනස් වී තිබූ බවත්, ඒය රසායනිකයක් භාවිත කිරීම නිසා සිදු වන්නට ඇති බවත් ඔහු සඳහන් කර ඇත. මේ අතර කොන්සල්වරයාගේ රියදුරු අධිකරණයට පවසා තිබුණේ දේශීය අවන්හලකින් කෙබාබ් – ගින්නෙන් පිසගන්නා මස් සහ ඒළවළු අඩංගු ආහාර වර්ගයක් ගෙන ඒන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බවයි. කෂෝගීගේ සිරුර කොටස් කර, පිළිස්සීම සම්බන්ධයෙන් අනාවරණයක්, ඝාතනය සිදු වූ මුල් දිනවලම තුර්කි ආරක්ෂක අංශ මගින් සිදු කර තිබිණි. තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩෝගන් ඒ මොහොතේම පැවසුවේ සෞදි රජු අවංකව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

කෂෝගී කවුද ?

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළ දී 2018 ඔක්තෝබර් 02 දා ජමාල් කෂෝගී ඝාතනය කෙරිණි. සෞදි රජ පවුල සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ මාධ්‍යවේදියෙකු වූ කෂෝගී, පසුව රජ පවුල සමග අමනාප වී ඇත. ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයෙකු ලෙස කටයුතු කළ ඔහු, සෞදි පාලනය බරපතළ ලෙස විවේචනය කරමින් ලිපි රචනා කර තිබිණි. ඔහුගේ ඝාතනයට සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සෘජුව සම්බන්ධ වී ඇති බවට චෝදනා ඒල්ල වී තිබේ.

නායකත්වය !

ඇමෙරිකානු මාධ්‍ය ජාලයක් වන සී.බී.එස්. (CBS)හි ‘මිනිත්තු 60’ වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් සල්මාන් කුමරු කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබිණි. සෞදි රජයේ විවිධ ආයතනවල සේවය කරන පිරිසක් මෙම ඝාතනය සිදු කර ඇති බව තහවුරු වී ඇතැයි ද ඔහු මෙහි දී පිළිගෙන ඇත. කෙසේ වෙතත් කෂෝගීගේ ඝාතනයට තමන්ගේ කිසිදු මැදිහත්වීමක් නොවුවද, රටේ නායකයා ලෙස තම පුරවැසියන් පිරිසක් කළ අදාළ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් භාර ගන්නා බව ද ඔහු එහිදී සඳහන් කර තිබිණි. මීට අදාළ ව සෞදි අධිකරණයක් මගින්, සෞදි ජාතිකයන් පස් දෙනෙකුට මරණ දඬුවම ලබාදී තිබිණි.

දේශපාලන සූත්තරකාරයා !

සල්මාන් කුමරුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෂෝගීගේ පෙම්වතිය වූ හේටිස් සෙන්ගීස් මෙසේ පවසා තිබිණි. ‘ඔහු නියම දේශපාලන සූත්තරකාරයෙක්. ඔහුගේ නියෝග මත සියල්ල සිදු වී තිබියදී සෞදියේ නායකයා ලෙස තමන්ට ඇති බලය ප්‍රයෝජනයට ගනිමින් ඔහු ලෝකය රවටනවා. ඔහු නොදැනුවත්ව ඔතරම් බිහිසුණු ක්‍රියාවක් කරන්න කිසිවකුට බැහැ.’

අපේ වැඩක් !

මේ අතර ජමාල් කෂෝගී ඝාතනය දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙස, මීට පෙර සල්මාන් කුමරු විදෙස් රටවලට තර්ජනය කර තිබිණි. එංගලන්තයේ ලන්ඩන් නුවර මූලික කර ගනිමින් පවත්වාගෙන යන, අරාබි භාෂාවෙන් මුද්‍රණය කෙරෙන පුවත්පතකට සම්මුඛසාකච්ඡාවක් ලබා දෙමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ ජමාල් කෂෝගී ඝාතනයට අදාළව යුක්තිය ඉටු කිරීම තම රටේ කාර්යයක් බවයි. මේ අතරකෂෝගී ඝාතනයට සෞදියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු සෘජුව සම්බන්ධ වී ඇති බව සඳහන් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ද නිකුත් කර තිබිණි.ඊට අතිශය විශ්වසනීය සාක්ෂි ඇති බව ද එහි සඳහන් ය. මෙම වාර්තාවේ පිටු 100ක් ඇත.

බල්ලාගේ හිස !

කෂෝගී ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ සමීපතමයන් පිරිසකටයි. ඔවුන් සල්මාන් කුමරු යටතේ පවතින විශේෂ ඒකකයක් නියෝජනය කළ පිරිසකි. රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වන සවුද් අල් කටානි ‘ස්කයිප්’ තාක්ෂණය ඔස්සේ ජමාල්ගේ ඝාතනයට මොහොතකට පෙර ඝාතකයන් සමඟ සම්බන්ධ වී ඇති බවයි. ඔහු ඝාතකයන්ට පවසා ඇත්තේ ‘ඔය බල්ලාගේ හිස මට ගෙනැවිත් දෙන්න’ යනුවෙනි.

ඇමරිකානු පුරවැසියා !

මෙම ඝාතනය සිදුවීමත් සමග සෞදිය විවේචනය කළ පිරිස් සති කිහිපයක් තුළ එය වෙනස් කළහ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ, තම රටේ පුරවැසියකු වන ජමාල් කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොකරන්නේ නම්, සෞදිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බවයි. ඊට පිළිතුරු ලෙස සෞදිය පැවසුවේ, ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත ඉතිහාසයේ දැවැන්තම අවි ගනුදෙනුවකට අදාළ ගිවිසුමක් ඇතැම් විට අත්හිටුවීමට සිදු වනු ඇති බවයි. ඩොනල්ඞ් ට්‍රම්ප් ඉන් පසු ඒ ගැන කතා කරන්නටගියේ නැත. මේ අතරඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඞ් බින් සල්මාන් අතර පැවැති සාකච්ඡාවක දී ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් කෂෝගී සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර තිබුණේ නැත. රාජ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ ‘ට්විටර්’ පණිවිඩයක සඳහන් වූයේ එය මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පමණක් බවයි. එහිදී ඇමෙරිකානු පුරවැසියකු සහ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ දේශපාලන තීරු ලිපි රචකයකු වූ ජමාල් කෂෝගී සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලද බව ද ඔහු මාධ්‍යයට පවසා තිබිණි.

ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

three × 4 =