‘රජුන්’, පාතාලය සහ හෙරොයින් වෙළෙන්දෝ…

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) නිලධාරීන් පිරිසක් පසුගිය දා අත්අඩංගුවට පත් වූයේ ඔවුන් විසින් අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි 100කට අධික හෙරොයින් ප්‍රමාණයක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණුවාය යන සැකය මත ය. එම පිරිස මේ වන විට රැඳවුම්භාරයේ තබාගෙන ප්‍රශ්න කරන අතර, තවත් පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය පිහිටුවන්නේ එහි නිලධාරීන් අනාගතයේ දී මෙලෙස පටු අරමුණින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂාවෙන් නොව අනාගත දරු පරපුර මත් උවදුරින් බේරා ගැනීම අරමුණු කොටගෙන ය. පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම කාර්යාංශයක් වන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඉතිහාසයේ දැවැන්ත කාර්යභාරයක් කළ ආයතනයකි.

1973දී එවකට පොලිස්පති ස්ටැන්ලි සේනානායක විසින් මෙවැනි කාර්යාංශයක ඇති වැදගත්කම එවක පැවැති රජයට පෙන්වා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පිහිටුවා ආඥා පනතක් මඟින් විශේෂ බලයක් ද හිමි කර දුන්නේ ය. එදා සුළුවෙන් පැවති මත්ද්‍රව්‍ය අනාගතයේ දී ව්‍යසනයක් නොවන්නට කළ යුතු දේ කිරීම වෙනුවෙන් පොලිස්පති ස්ටැන්ලි සේනානායක විසින් මෙම කාර්යාංශය පිහිටුවා තිබේ.

කෙසේ නමුත්, කීර්තිමත් නමක් තබාගෙන පැමිණි මෙම කාර්යාංශයේ පිරිහීම පටන් ගන්නේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එහි අධ්‍යක්ෂව පැමිණීමත් සමඟ බව පොලිස් දෙපාර්තමේන්තුව තුළ මේ වන විට කතාබහක් ඇතිව තිබේ. පොලිසිය මත් කුඩු කිලෝ දහයක් අල්ලා ගතහොත්, ඉන් තුනක් නැවත දීමේ නරක ක්‍රමවේදය ඉන් පසු ආරම්භ වූ බව පොලිස් නිලධාරීහු පවසති.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පොලිස් නිලධාරීන් බඳවා ගනිද් දී, ඔවුන්ගේ හත්මුතු පරම්පරාව ම සොයාබැලීමේ ක්‍රමවේදයක් පැවතුණ ද, පූජිත් ජයසුන්දර මහතා පත්ව ඒමත් සමඟ එය වෙනස්ව යන්නේ කාටත් හොර රහසිනි. පසුව එය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

කොළඹ වෝඞ් පෙදෙසේ සිටි මොහොමඞ් ෂියාම් නමැත්තා 1990 දශකයේ හා 2000 මුල් කාලය වන තෙක් පෙනී සිටියේ මහා පරිමාණ ව්‍යාපාරිකයකු ලෙස ය. නමුත්, ඔහු මෙලෙස ධනවත් ව්‍යාපාරිකයකු වූයේ, හෙරොයින් හෙවත් මත්කුඩු ව්‍යාපාරයෙන් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැනසිටියේ ය. නමුත්, ඒ බව දැන හෝ නොදැන එවක ‘රජගෙදර’ fදාරටු සියාම් වෙනුවෙන් විවෘත විය. ඔහුට අවශ්‍ය වූ විට පූර්ව අවසරයකින් තොරව ‘රජගෙදරට’ යාමේ ඉඩ පහසුකම් හිමි වූ අතර, රාජ්‍ය නායිකාව ඇතුළු ඇමති මණ්ඩලයේ භාගයක් පමණ මොහුගේ හොඳ මිතුරන් වූහ.

කෙසේ නමුත්, ෂියාම්ගේ අනුහසින් පූජිත් ජයසූන්දර විශේෂ අවසරයකින් නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් වන්නේ ය. පසුව විශේෂ පොලිස් ඒකකයක් විසින් ෂියාම්ව අත්අඩංගුවට ගන්නා ලද අතර, ඔහුගේ නිවසේ තිබී ෂියාම් සමඟ සිටි මැති ඇමතිවරුන් ඇතුළු විශේෂ පුද්ගලයන් රැසකගේ පින්තූර හමු විය. එයත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගන්නේ ය. චන්ද්‍රිකා ආණ්ඩුව පෙරළී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වසර දෙකකට පත් වීමටත් මෙය හේතුවක් විය.

ෂියාම්ගෙන් පසු ඔහුගේ ඥාතියකු වන මොහොමඞ් මුබාරක් මොහොමඞ් මුජිහිඞ් හෙරොයින් ලංකාවට ගෙන්වා බෙදාහැරීමේ ව්‍යාපාරය අතට ගන්නා අතර, ෂියාම් සිටිය දී, ඔහුගේ කළු සල්ලි සුදුවූයේ මොහොමඞ් මුබාරක්ගේ ව්‍යාපාර හරහා ය. මොහොමඞ් මුබාරක් චිත්‍රපට නිෂ්පාදනයට ද අතගසන අතර, ‘සෙල්වම්’ හා ‘පරාවර්තන’ ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට වේ. මොහොමඞ් ෂියාම් විවාහව සිටියේ මුබාරක්ගේ වැඩිමහලු සොහොයුරිය සමඟය.

රාජපක්ෂ රජයේ කිට්ටුවන්ත මිතුරකු වූ මුබාරක් ඔහුගේ ‘සෙල්වම්’ චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට ආරාධනා කරන්නේ එවක ආරක්ෂක ලේකම් වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ය. මේ අතර 2014 වර්ෂයේ දී මහනුවර පිහිටි නිවසක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 53ක් හමුවන අතර, එහි සිටි සැකකරුගෙන් ප්‍රශ්න කරද් දී, මෙම කුඩු තොගය මොහොමඞ් මුබාරක්ගේ බව හෙළිදරවු විය.

එම අවස්ථාව වන විට මුබාරක් මැලේසියාවේ රැඳී සිටි අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ඔහුගේ නම හෙළිවීමත් සමඟ මුබාරක් නැවත ලංකාවට පැමිණියේ නැත. එසේ වුව ද, ඔහු විදේශගතව සිට මෙරට මත්කුඩු ජාවාරම f ම f හ ය වී f ම් කටයුතු දිගටම කරගෙන ගියේ ය. මොහොමඞ් මුබාරක් ද පූජිත් එහි ප්‍රධානියාව සිටිය දී නිතර එහි ආ ගිය පුද්ගලයකු බවට ද පසුව තොරතුරු හෙළි වුවත්, එම කරුණු සියල්ල යටපත්ව ගියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එම පැමිණිල්ල මෙහෙයවීම නිසාවෙනි.

නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානියාව සිටිය දී, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ද ඔහු යටතේ පැවතීම නිසා මෙම අංශ දෙකට ම මත්ද්‍රව්‍ය වැටලීමේ අවස්ථාව උදා විය. ඊට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කැමැත්තක් දක්වන්නේ නැත. දෙපාර්ශ්වයේ කඹඇදිලි මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නමගිය අපරාධකරුවකු වූ ‘කුඩු නූර්’ හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද අතර, ඉන් කිලෝග්‍රෑම් 4ක් පසුව විකිණු බවට ද තොරතුරු හෙළිවන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විමර්ශනයක දී ය.

හෙරොයින් කිලෝග්‍රෑම් හතරක් විකිණුවාය යන කාරණය මත කුඩු නූර් නිදහස් වන අතර, මෙම සිද්ධිය මුල්කර ගනිමින් ඔහු විසින් පොලිසියට විරුද්ධව මානව හිමිකම් නඩුවක් ද පවරනු ලබයි. කුඩු නූර් පසුව අබිරහස් මරණයකට උරුමකම් කියන්නේ කාටත් සැකසංකා ඉතිරි කරමිනි.

විටින්විට පොලිසිය අත්අඩංගුවට ගන්නා හෙරොයින්, ජාවාරම්කරුවන් අතටම යළි විකිණෙන බවටත්, අත්අඩංගුවට ගන්නා හෙරොයින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවට යද් දී, කොටසක් පාන් පිටි වී ඇති බවටත්, තවත් විටෙක අත්අඩංගුවට ගත් හෙරොයින් හි තත්ත්වය බාල වී ඇති බවටත් තොරතුරු හෙළි වන්නේ අධිකරණයේ දී ය. ඉන් එහාට පරික්ෂණයක් සිදු නොවන අතර, රසපරීක්ෂක වාර්තා අනුව අත්අඩංගුවට පත් වන හෙරොයින් ජාවාරම්කරුවන් නිදහස ලබා පිටව යන්නේ පොලිසියට සැලියුට් ද දමා ය.

මෑත ඉතිහාසය පුරා ම මෙලෙස අත්අඩංගුවට පත් වන හෙරොයින් යළි විකුණන බවට තොරතුරු වාර්තා වුව ද, ඉන් වැඩිම ප්‍රමාණයක් විකිණූ බවට හෙළි වන්නේ ඉකුත් සතියේ ය. මෙම කතාවට මඟපෑදෙන්නේ ඉකුත් 11 දා මිනුවන්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත කරන වැටලීමක දී ය.

ගම්පහ ප්‍රදේශයේ ගොඩනැඟිලි ද්‍රව්‍ය ව්‍යාපාරිකයකු වන ටයිල් චමින්ද නම් පුද්ගලයා පිළිබඳව පරීක්ෂා කිරීමේ දී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5ක් අත්අඩංගුවට ගන්නා ලද අතර, ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ද දැනුම්වත් කරනු ලබයි. එම දැනුම්වත් කිරීමට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මේ ගැන එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සෙනරත්ට දන්වන ලද අතර, දෙදෙනාගේම එකඟතාව මත උප පොලිස් පරීක්ෂකවරයකු මිනුවන්ගොඩ පොලිසිය වෙත යවනු ලබන්නේ සිද්ධියේ වැඩි දුර විමර්ශන සඳහා ය.

මෙම උපපොලිස් පරීක්ෂකවරයා මිනුවන්ගොඩ පොලිසියේ සිරමැදිරියට ගිය අවස්ථාවේ සැකකරු “සර් දුන්න ඒවා අහු වුණා” යනුවෙන් පවසනවා ඒ අසලින් ගිය පොලිස් නිලධාරියකුට ඇසී ඇත. විමර්ශනයට ගිය උපපොලිස් පරීක්ෂකවරයා විසින් මිනුවන්ගොඩ පොලිසිය සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිටින බවත්, ඔහු අධිකරණයට ඉදිරිපත් නොකර නීත්‍යනුකූල නොවන ලෙස පොලිසියේ රඳවාගෙන සිටින බවටත් සටහනක් ඔවුන්ගේ ලොග් සටහන් පොතේ දමා තිබේ. එය පාදක කර ගනිමින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂට හා නියෝජ්‍ය පොලිස්පතිවරයාට වාර්තාවක් ද පසුව ඉදිරිපත් වේ.

නමුත්, ගම්පහ පොලිස් කොට්ඨාසය සැකකරු සම්බන්ධයෙන් අධ්‍යයනය කරද් දී ඔහුගේ ගිණුමට කලක පටන් මසකට ලක්ෂ 10, 20 බැගින් විටින්විට මුදල් වැටී නැවත ඒවා රැගෙන තිබෙන බවට හෙළිදරවු වී තිබේ. වහා ම ක්‍රියාත්මක වූ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මේ ගැන නැවත නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත වෙත දන්වනු ලබයි. එම දැනුම් දීම මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් පරීක්ෂණය සඳහා මිනුවන්ගොඩට පිටත් කර හරියි.

ඔවුන් කළ විමර්ශනයේ දී ආරක්ෂක අංශ ද සම්බන්ධ හෙරොයින් ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වන අතර, ඔවුහු වහාම මේ ගැන ඉහළ නිලධාරීන් දැනුම්වත් කරති.

එහි දී පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් මීට පෙර මීගමුවේ දී අල කන්ටේනරයක සඟවා තිබී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝග්‍රෑම් 62ක් අතර තවත් කිලෝ 38ක් තිබී ඇති බවටත්, එම කොටස විශේෂ කාර්ය බළකාය පැමිණීමට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිරිසක් විසින් පන්නා ඇති බවටත් තොරතුරු හෙළිව තිබේ. ඊට අදාළ සී.සී.ටී.වී. දර්ශන ද ලැබීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න හමු වී තව දුරටත් සිය කොට්ඨාසයට මෙම විමර්ශන කළ නොහැකි බව පැවසීම නිසා පොලිස්පතිවරයා විසින් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මැයි මස 14 දා මහබාගේ දී සහල් මලුවල අසුරා තිබිය දී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 225 න් කොටසක් ද සැකකාර නිලධාරීන් ජාවාරම්කරුවන්ට විකුණා ඇති බවට හෙළිදරවු වේ. ඒ අනුව උප පොලිස් පරික්ෂකවරයකු, සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලද අතර, කණ්ඩායමේ මහ මොළකරු ලෙස සැලැකෙන පොලිස් පරික්ෂකවරයා මේ වන විට සැඟව ඇත.

සැකකාර නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු සැරයන්වරයාගේ මහව ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකහමාරක් හා වළ දමා තිබූ රුපියල් කෝටි තුනක මුදලක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමට සිටින පොලිස් පරීක්ෂකවරයා

සතුව තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 11ක ප්‍රමාණයක් තිබෙන බව ද ප්‍රශ්න කිරීම් හමුවේ අනෙක් නිලධාරීන් පවසා ඇත. සිද්ධියෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කේ. අපොන්සු මහතා ද, එහි අධ්‍යක්ෂ ලෙස සුජිත් වෙදමුල්ල මහතා ද පත් කර තිබේ. නියෝජ්‍ය පොලිස්පති සජිව මැදවත්ත පොලිස් සුබසාධන කොට්ඨාසයටත්, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් පොලිස් මූලස්ථානයටත් මාරු කර ඇත. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ම ප්‍රතිසංවිධානය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා නව නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වේ. මේ අතර නමගිය අපරාධකරුවන් අතර තිබී හමු වූ වැඩි ම ආයුධ තොගය පසුගිය දා හෝමාගම ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ. පළාතේ සිටින විදුලි උපකරණ අලෙවි කරන මහා පරිමාණ ව්‍යාපාරිකයකුගේ ගබඩාවක සඟවා තිබිය දී, මෙම ආයුධ තොගය සොයා ගෙන ඇත. කොට්ට කපිල නමැති අපරාධකරු මෙම ආයුධ තොගය ගෙනැවිත් සඟවා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකාය එම ආයුධ තොගය සොයාගෙන තිබේ. ‘කොට්ට කපිල’ මාතර නිලේෂා රන් භාණ්ඩ අලෙවි සල මංකොල්ල කෑමට පැමිණි පිරිසේ සිටි ‘කොස්ගොඩ

තාරකගේ’ හොඳම ගෝලයකු බව ද පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. කෙසේ නමුත්, අත්අඩංගුවට ගත් ගිනි අවිවල සැබෑ හිමිකරුවන් කවුරුන් දැයි සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ එහි අංක මකා දමා තිබීම හේතුවෙනි. රසපරීක්ෂක දෙපාර්තමේන්තුව ගිනි අවියේ අංකය මතු කර ගතහොත් පමණක් එහි සැබෑ අයිතිකරුවන් සොයාගත හැකි වනු

ඇත. ටී. 56 ගිනි අවි 12ක්, ටී 81 වර්ගයේ ගිනි අවියක් මෙහි තිබී ආරක්ෂක අංශ සොයාගෙන ඇති අතර, තවත් ගිනි අවි 10ක් වෙනත් අපරාධකරුවකුට දී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගන්නා තුරු එම ගිනි අවි සොයා ගැනීමට හැකියාවක් නැත. මෙය ආරක්ෂක අංශයකින් පිට කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. ඉකුත් පළමුවැනිදා ද හෝමාගම දී ම ග්‍රෙනේඞ් 07ක්, උණ්ඩ පිර වූ කොපු 77ක් ද, වෙඩි නොවදින කබා දෙකක් ද සොයා ගැනීමට පොලිසිය සමත් විය. කොස්ගොඩ තාරක හා කංජිපානි ඉම්රාන් අතර කාලයක පටන් පවතින ගැටුම මත කංජිපානි ඉම්රාන් අධිකරණයට රැගෙන යන අවස්ථාවක දී ඝාතනය කිරිමට අනෙක් ගිනි අවි 10 සඟවා ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

eight + twenty =