‘තරග පාවා දීම’ තවත් තැනකට

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට කණ්ඩායමට ක්‍රීඩකයන් එකතු කළේ තමන්ගේ අනුමැතියෙන් තොරව බව කියමින්, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ අවසන් මහ තරගය පාවා දුන් බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පරස්පර විරෝධී තත්ත්වයක් ඇති වන ආකාරයේ ලියවිල්ලක් තමන් සතුව ඇතැයි මාධ්‍ය වාර්තා කළේය.

ඇන්ජලෝ මැතිව්ස් සහ දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් යන දෙදෙනාම 2011 අවසන් මහ තරගයට පෙර ආබාධයන්ට ලක්වූහ. ඒ හේතුවෙන්, අරවින්ද ද සිල්වාගේ  සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව චමින්ද වාස් සහ දඟ පන්දු යවන ක්‍රීඩක සුරාජ් රන්දිව් දෙදෙනාම ජාතික සංචිතයට කැඳවී ය.

මෙම ක්‍රීඩකයන් සංචිතයට එකතු කිරීමට ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි හිමි වී තිබිණ.

“අවසාන මොහොතේ දී ක්‍රීඩකයන් දෙදෙනකු ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගත්තා.

“එම ක්‍රීඩකයන් දෙදෙනා කණ්ඩායමට ඇතුළත් කිරීමට ක්‍රිකට් ආයතනයෙන් හෝ අමාත්‍යාංශයෙන් කිසිදු අනුමැතියක් ලැබුණේ නැහැ.” යැයි 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවා දුන්නේ යැයි කියමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ පසුගිය දා ප්‍රකාශ කර තිබිණ.

එහෙත්, කණ්ඩායමක් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ තේරීම් කමිටුවට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළ යුතුව තිබිණි. 2011 අප්‍රේල් 30 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංගගේ අත්සනින් යුතුව ක්‍රීඩා ඇමතිවරයා වෙත යවන ලද ලිපියක දැක්වෙන්නේ අදාළ ක්‍රීඩකයන් දෙදෙනා කණ්ඩායමට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තේරීම් කමිටුව විසින් අදාළ පියවර අනුගමනය කරනු ලැබූ බවයි.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙන්නේ ද අප්‍රේල් 2 වැනිදා ඉන්දියාවට එරෙහිව මුම්බායි හි පැවති අවසන් මහා තරගයට දින තුනකට පෙර බව වාර්තා වේ.

2011 මාර්තු 30 වන දින එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාව සිටි නිශාන්ත රණතුංග විසින් අමාත්‍ය අලුත්ගමගේ වෙත යොමු කරන ලද ලිපියක දැක්වෙන්නේ “කණ්ඩායම් කළමනාකාරිත්වය හා තවත් තේරීම් කමිටු සාමාජිකයකු වූ ෂබීර් අස්ගරලි සමඟ සාකච්ඡා කර ක්‍රීඩකයන් දෙදෙනා ඇතුළත් කර ගැනීමට තේරීම් කමිටුව තීරණය කළ බවයි.

සඳහන් වන ආකාරයට ඒ වන විට රටින් බැහැරව සිටි ශබීර් අස්ගර්අලි සමඟ දුරකථනයෙන් කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.  වාස් සහ රන්දිව් යන ක්‍රීඩකයන් දෙදෙනාට පුහුණු වීම් සඳහා කණ්ඩායමට එක් වීමට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා එදිනම අනුමැතිය ලබා දී තිබේ.

පසුගිය සතියේ දී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සිය මතය සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබා දී තිබිණි. සැකසහිත ක්‍රියාකාරකම් 24ක් විස්තර කරමින්, පිටු හයක ලිපියක් තමා විසින් ඒ වෙත ඉදිරිපත් කර ඇති බව ද  ඔහු පැවසී ය.

මේ අතර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සම්බන්ධ වැදගත් ලියවිලි රැසක් එම ඒකකයට පසුගිය 29 වැනිදා භාර දී තිබිණි. ඒ එම පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ය..

නිර්වාන් අනුත්තර

Leave A Reply

Your email address will not be published.

one × three =