පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකුගේ කතාව

පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, ලිපිය ආරම්භයේ ම පිහියකින් ඇන්නා වගේ එහෙම ප්‍රශ්නයක් ඇහුවම මට දැනෙනවා නිකං මොකක්දෝ නොගැළපෙන ගතියක්. මං හිතන්නේ මට තිබුණා වෙන විදියකට මේක පටන් ගන්න. හරියට මේ වගේ. මානසික රෝහලක අවුරුදු තුනක් ගත කළ පුද්ගලයෙකුට ලේඛකයෙක් වෙන්න පුළුවන්ද? ඔව්, එහෙම අහන එක වැඩිය හොඳයි. එතකොට පොඩි ශිෂ්ට ගතියක් වගේම ලේඛනයකට ගැළපෙන බවකුත් තියෙනවා. ඒත් ඉතින් එක අතකට සම්මත නීති – රීති, සම්ප්‍රදායන් පයිසෙකට මායිම් නොකර ලියපු මිනිහෙක් ගැන ලියන්න ආයෙ අමුතුවෙන් ශිෂ්ට ගතියක්, ගැළපෙන බවක් මොකටද? හරි, කමක් නැහැ! ඕනෙ එකක්. කොහොම හරි ඉතින් ඇත්තටම මානසික රෝහලක අවුරුදු තුනක් ගත කළ පුද්ගලයෙකුට ලේඛකයෙක් වෙන්න පුළුවන්ද?
ඔව්, පුළුවන්! ඔය වෙලා තියෙන්නෙ; ඔය ලියල තියෙන්නෙ; තාමත් ලියන්නෙ! අන්න ඒක නිසා, වෙන මොකක් නැතත් මට බය නැතුව පාවුලෝ කොයියෝ පෙන්නලා ඕනෙ කෙනෙකුට කියන්න පුළුවන් පිස්සෙකුටත් පොත් ලියන්න පුළුවන් කියලා. අන්න මම ආයිත් වරද්ද ගත්තා. ඇත්තටම මම අදහස් කළේ මානසික රෝහලක අවුරුදු තුනක් (ඊට වැඩි හෝ අඩු කාලයක් හරි) ගත කළ පුද්ගලයෙකුට වුණත් ලේඛකයෙක් වෙන්න පුළුවන් කියලා.

පාවුලෝට පුංචි කාලෙ ඉඳලම ඕනෙ වෙලා තිබුණෙ ලේඛකයෙක් වෙන්න. නමුත් ඉංජිනේරුවෙක් වුණ කොයියෝ මහත්මයට කවදාවත් තමන්ගෙ පුතා ලේඛකයෙක් වෙනව දකින්න අවශ්‍ය වුණේ නැහැ. ඔහුගෙ කැමැත්ත තිබුණේ පාවුලෝ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් එහෙමත් නැත්නම් නීතිඥයෙක් විදියට වැඩ කරනවා දකින්න. ඒ ආසාව ගැන ඔහුට දොසක් කියන්නෙ කොහොමද? මොන තාත්තද අකැමැති තමන්ගෙ පුතා හොඳට කාල, ඇඳල ඉන්න පුළුවන් රස්සාවක් කරනවට! නමුත් පුතා නෙවෙයි තාත්ත කියන දේ කනකටවත් ගත්තේ. මේ සදාතනික පිය – පුතු ගැටුම උච්චස්ථානයට පැමිණි වෙලාවක පාවුලෝගෙ අම්මගෙන් ඔහුට ලැබෙනවා උපදේශයක්.
“ඔයාගෙ තාත්ත ඉංජිනේරුවෙක්. ඔහු යමක් තාර්කිකව දකින, පැහැදිලි දැක්මක් ඇති පුද්ගලයෙක්. ඔයා ඇත්තටම දන්නවද ලේඛකයෙක් වෙනවා කියන්නේ මොකක්ද කියලා?”

කාටද දැන ගන්න ඕනෙ ලේඛකයෙක් වෙනව කියන්නේ මොකක්ද කියලා? එහෙම දැනගෙන ලේඛකයෙක් වෙන්න පුළුවන්ද? පාවුලෝට ඒ කිසිම දෙයක් අදාළ වුණේ නැහැ. එන්න එන්නම ඔහුගේ හැසිරීම් රටාව අසාමාන්‍ය වෙන්න පටන් ගත්තා. අසම්මත වෙන්න පටන් ගත්තා කියල කිව්වත් හරි මං හිතන්නේ. එකෙ ප්‍රතිඵලයක් විදියට අවසානයේ සිද්ධ වෙන්න නියමිත වෙලා තිබුණ දේ ඒ විදියටම සිද්ධ වුණා.

තමන්ගෙ පුතාගේ මේ සම්ප්‍රදායෙන් බැහැර, අසම්මත හැසිරීම් රටාව නිසා කොයියෝ යුවළ තීරණය කරනවා ඔහුව මානසික රෝහලකට ඇතුළත් කරන්න. සමාජය ඉස්සරහ මුල්ම වතාවට පාවුලෝ පිස්සෙක් විදියට හංවඩු ගැහෙන්නෙ එහෙමයි. අවුරුදු දාහතේ දී මානසික රෝහලට ඇතුළත් කෙරෙන පාවුලෝට අවුරුදු විස්ස වෙනකම් ඒකෙ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්න සිද්ධ වෙනවා. ඒ අවුරුදු තුන ඇතුළත ඔහු තුන් වතාවක්ම රෝහලෙන් පැන ගොස් තිබුණා. පිස්සෙකුගෙ හිතේ ඇති වෙන නිදහස් සිතුවිලිවලට සීමා දාලා කොටු කරන්න මානසික රෝහලක හතර මායිම්වලට පුළුවන්ද? පස්සෙ කාලෙක තමා සම්බන්ධව තමන්ගෙ මවුපියන් ගත්ත තීරණය ගැන පාවුලෝ කියන්නෙ මේ වගේ අදහසක්.

“ඔවුන්ට මාව රිදවන්න වුවමනා වුණේ නැහැ. නමුත් එයාලත් දැනගෙන හිටියෙ නැහැ කුමක් කළ යුතුද කියලා.”
කොහොම වුණත් මානසික රෝහලෙන් නිදහස් වෙලා ගෙදර ආවට පස්සෙ පාවුලෝ තීරණය කරනවා තමන්ගෙ තාත්තගෙ අදහසටත් ටිකක් ඉඩ දෙන්න. ඒ අනුව ඔහු නීති විද්‍යාලයට ඇතුළත් වෙලා ඉන් වසර කීපයකට පස්සෙ නීතිඥයෙක් වශයෙන් දිවුරුම් දෙනවා. එදා නම් කොයියෝ මහත්මයා තමන්ගෙ පුතා ගැන ඔහුගේ කෝණයෙන් බොහොම ආඩම්බර වෙන්න ඇති. සතුටු වෙන්නත් ඇති. නමුත් තාත්තගෙ සතුට රැඳිලා තිබුණෙ බොහොම ටික කාලයයි. දළ වශයෙන් අවුරුද්දක් විතර!

නම්බුකාර නීතිඥ ජීවිතේ කළු කබාය පැත්තකට වීසි කරන පාවුලෝ හිපියෙක් විදියට ජීවිතේ ගත කරන්න පටන් ගන්නවා. ඒ කාලෙ අතරතුර තමයි ඔහු උතුරු ඇමෙරිකාවේ, දකුණු ඇමෙරිකාවේ, මෙක්සිකෝවේ සහ යුරෝපයේ දීර්ඝ සංචාරවල නිරත වෙන්නෙ. ඒ වගේම ඔහු ඒ කාලෙ – මේ කියන්නේ එක්දහස් නවසිය හැට ගණන් ගැන – ඉතාම තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමත් කැපී පෙනුණා.
කොහොම හරි තමන්ගෙ දීර්ඝ සංචාර අවසන් කරල පෙරළා බ්‍රසීලයට පැමිණෙන පාවුලෝ ගීත රචකයෙක් විදියට ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ඊට අමතරව නළුවෙක්, මාධ්‍යවේදියෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදියටත් කටයුතු කරනවා. නමුත් මේ කිසි දෙයක් ඒ තරම් සාර්ථක වෙන්නෙ නැහැ. ඒ වෙද්දි ඔහුගේ අර අසම්මත ජීවිතයේ ඒ තරම් වෙනසක් වෙලා තිබුණෙත් නැහැ. ඒ නිසාම 1974 දී පාවුලෝට හමුදා පාලනය යටතේ අත්අඩංගුවට පත්වෙන්න පවා සිද්ධ වෙනවා. ඔහුට එරෙහිව එල්ල වන චෝදනාව තමයි කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා සම්බන්ධ වීම. මේ වෙනකොට තමන්ගෙ ජීවිතේ ගමන් කරමින් තියෙන්නෙ මොන අතටද කියල කිසිම පැහැදිලි වැටහීමක් පාවුලෝ තුළ තිබුණෙ නැහැ. ඇත්තටම ඉතින් මිනිහෙකුට එහෙම වැටහීමක් තියෙන්න ඕනත් නැහැනේ!
ඔහොම ගිහින් ගිහින් 1986 තමයි පාවුලෝට තමන්ගෙ ජීවිතේ තීරණාත්මක අවුරුද්ද බවට පත් වෙන්නෙ. අසූ හයේ දී ඔහු තීරණය කරනවා තමන්ගෙ මේ නිශ්චිත නවාතැන් පොළක් නැති නන්නත්තාර ජීවිතේ තවත් එක අලුත් සංචාරයක් ආරම්භ කරන්න. මඟ ලකුණු වැටෙන්නෙ වයඹදිග ස්පාඤ්ඤයේ මයිල 500කට වඩා වැඩි දුරක් හරහා. ඒ සංචාරය ඔහුට බෙහෙවින්ම තෘප්තිමත් එකක් වුණා වගේම ජීවිතේ තීරණාත්මක සන්ධිස්ථානයකුත් වුණ බව පසු කාලෙක පාවුලෝ ඒ සම්බන්ධව කළ නොයෙක් ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා.
“මම මං කළ දේවල් ගැන ඉතාම සතුටු වුණා. ඒ දේවල් මට ආහාර සහ ජලය වගේ වුණා.”

“ඒ වගේම මම වැඩ කළා. මට මං ආදරය කළ කෙනා හිටියා. මට සල්ලි තිබුණා. නමුත් මම මගේ සිහිනය සැබෑ කරගෙන නොවෙයි හිටියේ. මගේ සිහිනය වුණේ, අදටත් මගේ සිහිනය වන්නේ ලේඛකයෙක් වෙන එක.”

පස්සෙ කාලයක ගීත රචනය අත හැර දමන පාවුලෝ තමන්ගෙ මුළු ශක්තිය සහ ජවය ඒ සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් වැය කරන්න තීරණය කරනවා. ඔහු අතින් මුලින්ම ප්‍රකාශයට පත් වෙන්නෙ Hell Archives නම් කෘතියක්. නමුත් එය ඒ තරම් සාර්ථකත්වයක් පෙන්නුම් කළේ නැහැ. ඒ පොතේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පාවුලෝ පහු කාලෙක මොන තරම් කලකිරීමට පත් වුණාද කිව්වොත් ඔහු උත්සාහ කළා පොත පොත් සාප්පුවල රාක්කවලින් ඉවත් කරගන්න.

The Alchemist කෘතිය පාවුලෝ අතින් ලියැවෙන්නේ ඉන් අනතුරුව. බ්‍රසීලයේ කුඩා ප්‍රකාශන ආයතනයක් මඟින් ප්‍රකාශයට පත් කරපු The Alchemist කෘතිය මුද්‍රණය වුණේ පිටපත් 900ක් විතරයි. ඒ පිටපත් 900වත් හරියට අලෙවි වුණේ නැහැ. ප්‍රකාශන සමාගම තීරණය කළා නැවත පොත මුද්‍රණය නොකර ඉන්න. 1994 දී ඇමෙරිකාවේ දැවැන්තම පොත් ප්‍රකාශන සමාගමක් වුණ Harper Collings සමාගම The Alchemist නැවත ප්‍රකාශනයට පත් කරන්න භාර ගන්නවා. පොත නැවත මුද්‍රණය කරලා එළියට දැම්ම විතරයි, ඔන්න පාවුලෝගෙ බඹරේ වැල්ලෙත් කැරකෙන කාලෙ උදාවෙනවා. මුලින්ම The Alchemist බ්‍රසීලය තුළ වැඩිම අලෙවියක් සිදු වුණ කෘතිය ලෙස වාර්තා අතරට එකතු වුණා. ඉන් අනතුරුව එය ලෝකය පුරාම ශීඝ්‍රයෙන් අලෙවි වෙන්න පටන් ගත්තෙ හරියටම උන්මාදයක් වගේ. පොත භාෂා 80කට අධික ප්‍රමාණයකට පරිවර්තනය වුණා. එය සිංහලයට පරිවර්තනය වුණේ සන්තියාගෝ නම් සැරිසරන්නා නමින්. කර්තෘ ජීවතුන් අතර සිටිය දී ඔහුගේ පොතක් වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වීමේ වාර්තාවත් පාවුලෝ නමට හිමි වුණා. විල් ස්මිත්, මැඩෝනා වගේ කලා ලෝකයේ සුප්‍රසිද්ධ චරිත වගේම හිටපු ඇමෙරිකා ජනාධිපති බිල් ක්ලින්ටනුත් The Alchemist තමන්ගේ ප්‍රියතම නවකතාව ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළා. ඔන්න ඔහොමයි වැඬේ පත්තු වුණේ!

ඉන් පසුව පාවුලෝ අතින් රචනා වුණ Veronika Decides to Die” The Fifth Mountain” The Devil and Miss Prym” Eleven Minutes” Like the Flowing River ආදී කෘති ලොව පුරා අතිශයින් ජනාදරයට පත් වුණා. ඒ අතුරින් Veronika Decides to Die මම පෞද්ගලිකවත් ඉතාම කැමැතියි. අපි හැමෝම ඇතුළෙ එක එක ජාතියෙ පිස්සො ඉන්නවා. පාවුලෝ තමන් තුළ ඉන්න පිස්සා වගේම තමා අවුරුදු තුනක් මානසික රෝහලක ගත කළ අත්දැකීමුත් හරිම අපූරුවට වෙරෝනිකා හරහා එළියට දානවා. වෙරෝනිකා මැරෙන්න තීරණය කරද්දී අපිට නොමැරී ජීවත් වෙන්න හිතෙන්නෙ ඒකයි. ඒ වගේම The Alchemist හි සන්තියාගෝ නමින් පෙනී සිටිමින් පොත පුරා සැරිසරන්නෙත් පාවුලෝ ම බව කියවන්නෙකුට දැනුණොත් ඒක ඒ තරම් ලොකු අරුමයක් නෙවෙයි.

ඉතින් කලබැගෑනි ගොඩකට පස්සෙ සහ කලබැගෑනි ගොඩක් අස්සෙ පාවුලෝ තවමත් ලියමින් ඉන්නවා. ඔහුගේ හැසිරීමෙන් සහ කතා බහෙන් ඔහු තවමත් තමාගේ සිහිනය වෙත ළඟා වුණ බවක් පෙනෙන්නට නැහැ. ඇත්ත! තමාගේ ලියැවිලි පිළිබඳ අතෘප්තිමත් නොවී කිසිම මිනිහෙකුට තෘප්තිමත් ලේඛකයෙක් වෙන්න බැහැ. කොහොම වුණත් කොයියෝ මහත්මයා දැන් තමන්ගේ පුතා ගැන සෑහෙන තරම් ආඩම්බර සහ සතුටු වෙන බවට නම් මට කිසිම සැකයක් නැහැ. නීතිඥයෙක් වෙනව වගේද ලේඛකයෙක් වෙන එක!
මේ හැම දෙයක්ම අතරේ පාවුලෝ තමන්ගෙ ජීවිතයෙන් අපේ ජීවිත ආමන්ත්‍රණය කරල කියන කතාවක් තියෙනවා. බොහොම සැකෙවින්, ඔහු වෙනුවෙන් මම ඒ කතාව මෙන්න මෙහෙම ඔබට කියන්නම්.

ඔබට අවශ්‍ය ලේඛකයෙක් වෙන්නද? හොඳයි! එහෙම නම් ලියන්න ඔබ ගැන, ඔබේ ජීවිතය ගැන. හොඳට මතක තියා ගන්න, වෙන කිසිම දෙයක් ගැන නෙවෙයි. ලියන්න ඔබ සහ ඔබේ ජීවිතය ගැන!!!

කසුන් සමරතුංග

Leave A Reply

Your email address will not be published.

eleven + 14 =